UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන - 14: සසරේ අවසන් භවයෙත් කර්මය විපාක දෙයි

සුගති ගමන - 14:

සසරේ අවසන් භවයෙත් කර්මය විපාක දෙයි

කර්මයන් දෙස බලද්දී තථාගතයන් වහන්සේට පවා විපාක දුන් කර්මයන් ඇතැම් දේශනාවලින් පෙන්වා වදාළා. බුදු කෙනෙක් යනු භාග්‍යවන්ත ම උත්තමයන් වහන්සේ යි. ලෝකයේ අසම සම වූ පින්වන්ත ම ශාස්තෘවරයාණන් වහන්සේ යි. අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරො පුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධො, භගවා ආදී සියලු ගුණ දරා ගන්නට තරම් ලොවේ පහළ වුණ භාග්‍යවන්ත ම උත්තමයාණන් වහන්සේ යි. බුද්ධත්වය ම අරමුණු කරගෙන , සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ ලා විසි හතර නමකගෙන් විවරණ ලබමින්, සම්මා සම්බුද්ධත්වය පිණිස, දස පාරමී පරිපූර්ණ කළ උත්තමයන් වහන්සේ යි. හැබැයි, උන්වහන්සේ, සම්මා සම්බුද්ධත්වය ලැබූ ආත්මයෙත්, පෙර කර්මයන්ගේ ඇතැම් කොටස් විපාක දුන් බව සඳහන් වෙනවා.

සමහර අවස්ථාවල බුදුන් වහන්සේ ම දේශනා කරනවා. උන් වහන්සේට බලවත් කොන්දේ අමාරුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ගණනාවක ම බණ කියාගෙන යන අවස්ථාවල මෙලෙස අහනවා. කෝ මේ සාරිපුත්ත ඉන්නවද? කෝ , ආනන්දයන් වහන්සේ ඉන්නව ද? මගේ කොන්ද ගොඩක් රිදෙනවා කියනවා. සාරිපුත්ත, දේශනාවේ ඉතිරි ටික ඔබ වහන්සේ පවත්වන්නැ’යි, බුදුන් වහන්සේ සිංහ ස්‍යෙයාවෙන් ඇලවී, දේශනාව හොඳින් අසාගෙන ඉන්නවා. එයට හේතුව, බුදුරජාණන් වහන්සේ ඉඳගන්නා ඉරියව්වෙන් සිටින විට, කොන්දේ වේදනාව වැඩිවන නිස යි. බුදුරජාණන් වහන්සේ සිංහ ස්‍යොවෙන් සැතපී දේශනාවට කන් දී ගෙන ඉන්නවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාධුකාර දී අනුමෝදන් වෙනවා. සාධු! සාධු! මගේ දේශනාව සාරිපුත්ථයන් වහන්සේ, ඒ ලෙස ම පැවැත්වූවා. තථාගතයන් වහන්සේ මේ දේශනාව වදාළා නම්, එලෙස ම වදාරන බව වදාළා.

බුදුුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූව ද විටින් විට බලවත් වූ කොන්දේ අමාරුවට හේතුව අටුවාවේ මෙලෙස සඳහන් වෙනවා. උන් වහන්සේ පෙර පාරමී පුරාගෙන එන ආත්මයක මල්ලව පොර ශූරයෙක්. එදා තරගයක දී තමන්ගේ ප්‍රතිවාදියා උස්සා, පොළොවේ ගසද්දී කොදු ඇට පෙළ බිඳුණා. ඒ නිසා, ඔහු ජීවිත කාලය ම එක්තැන් වුණා. මේ කර්මයේ කොටසක් ලෙසට බොහෝ ආත්ම භාවවල කොන්දේ අමාරුව ම බලවත් වෙවී , කොදු ඇට පේළිය ම වේදනා ඇතිව උන් වහන්සේ, සසරේ බොහෝ ආත්මවල සිටි බව සඳහන් වෙනවා. බුද්ධත්වය ලැබූ ආත්මයෙත්, පෙර අකුසලයේ කොටසක් හැටියට කොන්දේ වේදනාවෙන් පෙළෙන බව බුදුන් වහන්සේ වදාළා.

ඒ අනුව අපට පෙනෙන්නේ, මේ සංසාරයේ සමහර කර්ම, බුදු වුණත්, ඇතැම් රහතන් වහන්සේලා රහත් වුණත්, පිරිනිවන් පාන මොහොත දක්වා ම විපාක දෙන කර්ම වන බව යි. තව ද තථාගතයන් වහන්සේට දරුණු හිසේ කැක්කුමක් තිබූ බව සඳහන් වෙනවා. උන් වහන්සේ ම දේශනා කරනවා, තමන් වහන්සේට විටින් විට බලවත් වූ මේ හිසේ කැක්කුම පෙර කර්ම විපාකයක් ලෙස. බුදුන් වහන්සේ පෙර කල්ප ගණනාවකට පෙර එක්තරා ආත්මයක තරුණ පිරිසක් මසුන් අල්ලද්දී, ඒ දෙස බලා, අන්න හරි ලොකු එකෙක් අහුවුණා, ආන් හරි තවත් එකෙක් අහුවුණා යනුවෙන් එය අනුමෝදන් වුණා කියනවා, ඒකට සතුටු වුණ බව සඳහන් වෙනවා.

ඇතැම් විට කෙනෙක් කියන්න පුළුවන්, මා කළේ නැහැ. හැබැයි, තව කෙනෙක් කරන දිහා බලාගෙන සතුටු වෙනවා. අනුමෝදන් වෙනවා. එවිට කෙනෙක් ප්‍රාණාඝාත ආදී අකුසලයක් කරනවා බලා එය සතුටු වීමේ විපාකයෙන් උන් වහන්සේගේ හිසේ කැක්කුම විටින් විට බලවත් වුණ බව සඳහන් වෙනවා. ඒ අනුව, අපට පෙනෙන්නේ බුද්ධත්වයට පත් වුණත් බලවත් වූ කර්ම විපාකවල ස්වභාවය යි. එපමණක් නොවේ, පෙර බුදුවරුන් පාරමී පිරූ සමයේ, සුවිසි බුදුරජාණන් වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ, උන් වහන්සේලා දුෂ්කර ක්‍රිියා කළ කාලය, ආදී විවිධාකර තොරතුරු ඔබ පොත පතින් දන්නවා ඇති.

පෙර පහළ වුණ බොහෝ බුදුරජාණන් වහන්සේලාට දීර්ඝ ආයුෂ තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ, අල්ප ආයුෂ ඇති බුදුවරයෙක් ලෙස යි. හැබැයි, පෙර දහස් ගණන් ආයුෂ තිබූ කාලවල පහළ වූ බුදුරජාණන් වහන්සේලා දුෂ්කර ක්‍රියා කර තිබෙන්නේ සතිය යි. සමහරු මාසය යි. සමහරු මාස තුන යි. උපරිම මාස හය යි. එවිට මේ වගේ පෙර බුදුරජාණන් වහන්සේලා අවුරුදු දහස් ගණන්, දස දහස් ගණන්, අවුරුදු අසූ දහස් ගණන්, හැත්තෑ දහස, හැට දහස, මෙලෙස පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගැන දේශනාවල සඳහන් වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ අල්ප ආයුෂ ඇති බුදු කෙනෙක් ලෙස හඳුන්වනවා. මිනිසුන්ගේ ආයුෂ අඩු ම කාලයක අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණා. උන් වහන්සේ බුද්ධත්වය ලබා වැඩ සිටියෙත් අවුරුදු හතළිස් පහ යි. උන් වහන්සේගේ ජීවිත කාලය අවුරුදු අසූ එකක් වැනි කාලයක්. බුද්ධත්වයට පත් වෙන්න අවුරුදු හයකට ආසන්න කාලයක් ශරීරයට අනේකවිධ දුක් පීඩා ලබාදී පුදුමාකාර දුෂ්කර ක්‍රියා කරන්නට සිද්ධ වුණා. එයට ද හේතුවක් තිබෙන බව බුදුන් වහන්සේ පෙන්වා වදාළා.

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]