UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපතට හේතුවන උතුම් කරුණු

යහපතට හේතුවන උතුම් කරුණු

නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ගය වන ආකංඛ වර්ගයට අයත් ඉතාම උදාර වටිනා සූත්‍රයක්. ඒ තමයි "ඉට්ඨ ධම්ම" සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කර වදාළ මේ සූත්‍රයෙන් කියවෙන්නේ සිතට පි‍්‍රය වූ දේ ගැනයි.

උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි,

භෝග සම්පත්තිය

කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණක්.

මනා පැහැපත් බව

ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ රූපය ලස්සනට තියෙනවා නම් කැමතියි. මනා පැහැපත් නම්, ආකර්ෂණීය නම් කවුරුත් ඒකට කැමතියි. ඒක දුර්ලභ කරුණක්.

නිරෝගිකම

හැම කෙනෙක්ම කැමැතියි නිරෝගිව ඉන්න. කවුරුත් කැමැති නැහැ ලෙඩ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ ආරෝග්‍යා පරමා ලාභා’ කියලා. නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. ඒක ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.

දැන් බලන්න, පූතිගත්තතිස්ස තෙරුණ්ට මොනතරම් දරුණු සමේ රෝගයක් වැළඳුණාද? හැබැයි බක්කුල මහරහතන් වහන්සේට නිරෝගි මහරහතන් වහන්සේ අතර අග්‍රස්ථානය හිමිවුණා.

සීලය

කෙනෙකුට සිල්වත් වී සිටිය හැකි නම් එය ඉතාම පි‍්‍රය වූ මනාප වූ දුර්ලභ කරුණක්. අපේ බෝධිසත්වයෝ සීලය පාරමිතාවක් විදියටත් පිරුවා. වර්තමාන කාලයේ බහුතරයක් පිරිසකට සීලය රැකීම තරම් අකමැති දෙයක් තවත් නැහැ වගෙයි පෙනෙන්නේ. සිල්වතුන්ට ගරහනවා. සිල් රකින්නට දෙන්නේ නැහැ. ජීවමාන ලෝකයේ සිල් රකින අයට නොපෙනෙන ලෝකයෙනුත් බාධා පමුණුවනවා.

බ්‍රහ්මචාරී බව

බ්‍රහ්මචාරි වෙනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. බ්‍රහ්මචාරිව ඉන්න පුළුවන්නම් ඒක හිතාගන්නවත් බැරි තරම් දෙයක්. දැන් බලන්න. ඒ කාලයේ හිටපු නකුල මාතා නකුල පිතා වැනි අඹුසැමියන් සිතකින්වත් වෙනත් කාන්තාවක් ගැන පිරිමියෙක් ගැන සිතුවේ නැහැ. ඒ නිසා ඒ අය තුළ පුදුමාකාර සතුටක් තිබුණා. ඔවුන් ඒ සතුට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අභිමානයෙන් ප්‍රකාශ කළා. බෝධිසත්ව අවධියේදී අපේ බෝසත්තුමා කොපමණ වාර ගණනක් බ්‍රහ්මචාරිව හිටිය ද කියල විස්තර කරන්න බැහැ. ඒ නිසා තමයි දෙදෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ ප්‍රධාන දිව්‍යාංගනාවක් වන සුධර්මා දිව්‍යාංගනාවට වඩා අභිරූප සම්පත්තියෙන් යුක්ත වු යසෝදරාව අතහැර අභිනිෂ්ක්‍රමණය කිරීමට තරම් ප්‍රභල චිත්ත ශක්තියක් අපේ මහ බෝසතාණන්ට ලැබුණේ.

කලණ මිතුරු ඇසුර

වර්තමානයේ මේ වාක්‍ය තරම් වැරදි විදියට විග්‍රහ කරන වෙනත් වචනයක් නැති තරම්. සැබැවින්ම කල්‍යාණ මිත්‍රයා කියන්නේ සීලයට සමාධියට, ප්‍රඥාවට උපකාර කරන කෙනාටයි. නිවන් මගට යොමු කරන කෙනාටයි. මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණයට පත්වෙන්න ලැබනෙවා නම් ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබෙනවා නම් එය සිතට පි‍්‍රය වූ, කාන්ත වූ, මනාප වු , උතුම් වූ දුර්ලභ කරුණක්.

බහුශ්‍රැත බව

ධර්මය පිළිබඳ දැනගැනීම මෙහිදී අදහස් කෙරෙනවා. හැම කෙනෙකුටම ධර්ම ඥානය නැහැ. යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ දැනීමක් තියෙනවානම් එය සිතට පි‍්‍රය වු මනාප වූ දුර්ලභ වූ කරුණක්. ලංකාවේ ඉන්න සමහරුන්ට ඒ කියන්නේ කෝටියකට වැඩි බෞද්ධ පිරිසගෙන් බහුතරයකට බුදුරජාණන් වහනසේගේ නව අරහාදී බුදුගුණවත් සිංහලෙන් කියන්න බැහැ. එහෙමනම් මේ අයට 18,000 ට අධික වු සූත්‍ර පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් තියෙනවා කියල හිතන්නවත් බැහැ. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ දින 16450 ක් වැනි කාලයක් තුළ දේශනා කළ සූත්‍ර ප්‍රමාණය ගණනින් කියන්නවත් දන්නේ කී දෙනාද?

ප්‍රඥාව

යථාර්ථය දැනගැනීම ප්‍රඥාවයි. විශේෂයෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පංච උපාධානස්කන්ධය , පටිච්ච සමුප්පාදය ආදි ධර්ම කරුණු අවබෝධ කරගෙන පරිසමාප්ත අර්ථයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීම ප්‍රඥාවේ කෙළවරයි. බුද්ධිය යනු ප්‍රඥාව නොවේ. ඇතැමුන්ට ගණන් සැදීමට, බටහිර විද්‍යාත්මක පර්යේෂණ කිරීමට, වෙනත් විෂය කරුණු විග්‍රහ කිරීමට දැනුමක් තිබිය හැකියි. නමුත් ඔවුන්ට මේ ලෝකයේ ස්වභාවය ත්‍රිලක්ෂණයට අනුව තේරුම් ගන්නට බැහැ. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම සදාකාලික ධර්මතා බව තේරුම් ගන්නට බැහැ.

ධර්මය

අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය සිතට පි‍්‍රය වූ, කාන්ත වු මනාප වු දුර්ලභ කරුණක්. ශ්‍රී සද්ධර්මය තරම් කර්ණ රසායන වු වෙනත් දෙයක් ලෝකයේ නැහැ.

හත්ථි පේන සමං ලෝකේ
අඤ්ඤං සෝත රසායනං

සුගතිය

හැම කෙනෙක්ම කැමතියි දුගතියට යන්නේ නැතිව සුගතියට යන්න. මේ නිසා සුගතියට යාම දුර්ලභ වූ කරුණක්.

පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු දහයට අනතුරු ඇතිවන කරුණු දහයක් ද තියෙනවා කියලා.

ඒවා නම් මිල මුදල් , බවභෝග සම්පත් තිබීමට අනතුර තමයි කම්මැලිකම, නැතිනම් උත්සාහයෙන් හැගී නොසිටීම. බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ලෞකික දියුණුවට කිසිසේත්ම බාධා කළේ නැහැ. සිඟාලෝවාද සූත්‍රය ඇතුළුව සූත්‍ර කිහිපයකදීම දේශනා කළේ දාඩිය මහන්සියෙන්, බාහු බලයෙන්, ධාර්මිකව මිල මුදල් උපයාගන්න කියලයි. දැන් අපට පෙනෙනවා පළමුවන ලෝකයේ දෙවන ලෝකයේ මෙන්ම මෑතදී නවීකරණය වූ තායිවානය, සිංගප්පූරුව, කොරියාව ආදි රටවල් අද මොනතරම් දියුණු වෙලාද? කියලා. ඒ රටවල භාවිත කරන්නේ බෞද්ධ ප්‍රතිපත්ති, අපේ සමහර අය ඒවා පැත්තකට දාලා මිත්‍යා දෘෂ්ඨික වෙලා ඉන්නවා. දැන්නම් ශීතලයි දැන්නම් රස්නෙයි දැන්නම් බඩගිනියි කියලා වැඩ කල් දමනවා. ඒ නිසා අපි තවමත් තුන්වැනි ලෝකයේ.

ලස්සනට සැරසෙන්නේ නැතිනම්, ආභරණ පළඳින්නේ නැතිනම් ඒක පැහැපත් භාවයට අනතුරක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න පින්වත්නි, උන්වහන්සේ මොනතරම් ප්‍රායෝගිකද කියලා. ඒ නිසා ලස්සනට සැරසෙනවාට ආභරණ පළඳිනවාට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඒ නිසයි සෝතාපන්න උපාසිකාවක් වූ විශාඛාව නව කෝටියක් වටිනා මහලතාපසාදිනී ආභරණය පැළඳුවේ.

ඊළඟට නිරෝගිකමට තියෙන අනතුර තමයි සෞඛ්‍යයට හිතකර ක්‍රියාවලින් බැහැරවීම. උෂ්ණාධික, ශීතාධික, ආහාර ගැනීම,රාත්‍රියට නෑම වැනි ක්‍රියාවන් සෞඛ්‍යයට අහිතකරයි. මේනිසා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා.

සීලයට අනතුර පාප මිත්‍රයන් ඇසුරු කිරීමයි. සිල් රකින්නට බාධා කරන්නේ පාප මිත්‍රයායි. ඔබ සතුන් මැරීමට, සොරකම් කිරීමට, වැරදි කාම සේවනයට, බොරුකීමට, මත්ද්‍රව්‍ය පානයට යොමු වුණානම් ඒ සියල්ලේ කෙළවර පාප මිත්‍රයෙක් නැද්ද කියලා හිතලා බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියලා. (නභජේ පාපකේ මිත්තේ)

ඉන්ද්‍රිය අසංවරවීම බ්‍රහ්මචාරිබවට අනතුරයි. අපේ, ඇස, කන, නාසය, දිව, ශරීරය අසංවර වුණාම බ්‍රහ්මචාරීබව පවත්වන්න බැහැ. ඔබ පාරේ ගමන් කරන විට දකින රූප දෙස බලන්න ගියොත් ඒ රූපයට ඇලෙනවා. ශබ්ද අහන්න ගියොත් ශබ්දයට ඇලෙනවා. මේ විදියට ඒ ඒ ඉන්ද්‍රියන් පිනවන්න ගියොත් අපට බ්‍රහ්මචාරිබව පවත්වාගෙන යන්නට බැරි වෙනවා.

මිතුරු බවට අනතුර තමයි වාද විවාද හටගැනීම. විවිධ අවස්ථාවලදී නොයෙකුත් මාතෘකා මුල්කරගෙන මිතුරන් වාද විවාද කරගන්නවා .අවසානයේදී සමගිය බිඳ වැටිලා සදාකාලික වෛරී තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වජ්ජින්ට දේශනා කළේ සමගිව රැස්වෙන්න, සමගිව කටයුතු කරන්න, සමගිව විසිර යන්න කියලා.

බහුශ්‍රැතභාවයට අනතුර තමයි නිතර සජ්ක්‍ධායනා නොකිරීම, නිතර මෙනෙහි කලේ නැතිනම් අපට බුදුගුණ ටිකවත් මතක හිටින්නේ නැහැ. සූත්‍ර දේශනා වගේම ඉගෙන ගන්නා ධර්ම කරුණු නිතර සජ්ක්‍ධායනා කළ යුතුයි. වචනයෙන් පුරුදු කරන්නට ඕන. (වචසා පරිචිතා)

ප්‍රඥාවට අනතුර තමයි හොදින් සවන් නොදීම සහ නොදන්නා දේ විමසන්නේ නැතිවීමයි.

ධර්මයට අනතුර මිත්‍යා ප්‍රතිපදාවයි. බොහෝ පිරිස් මිත්‍යා දෘෂ්ඨිය තුළමයි ඉන්නේ. තිසරණයවත් නැහැ. කේන්දර නැකැත් ග්‍රහයෝ ආදි මෙකි නොකී සියලු මිත්‍යා ප්‍රතිපදාව සුගතියට අනතුරක්.

මෙම දුර්ලභ කරුණු හොඳින් ඉගෙන ගෙන ඒවාට තියෙන අනතුරු දැනගෙන ඒ අනතුරු බැහැර කරගෙන කටයුතු කළොත් අපට මෙලොව ජීවිතය යහපත් කරගන්න පුළුවන්. පරලොවත් සුගතිගාමී වී උතුම් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබ සියලු දෙනාට ඒ භාග්‍ය වාසනාව උදාවේවා.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]