UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

මැදින් පුර පසළොස්වක 2018.03.01

ජීවිතයට අර්ථයක්

තමන්ටත්, තමන් සමඟ ජීවත්වන අයටත්, සමාජයටත් කරදරකාරී නොවන, සාමකාමී, හිතකාමී ජීවිතයක් ගත කරමින් ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීම බෞද්ධයකුගේ පිළිවෙත විය යුතු ය. ඒ සඳහා වෙසෙස් අධ්‍යාත්මික මාර්ගයක් තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළහ. හැකි සෑම විටෙකම අවබෝධයකින් යුතුව ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම පුස්තක පරිශීලනයෙන් ඒ දහම් මාවත පිළිබඳ මනා වැටහීමක් ලද හැකි ය. එසේ අධ්‍යාත්මික සංවර්ධනය ඇතිකරගත් පුද්ගලයකු වීමතුළ සමාජයේ කිසිවෙකු ඉදිරියේ අප්‍රසාදයට, පිළිකුලට, අවඥාවට ලක්නොවී ඕනෑම ප්‍රශ්නයක දී නොසැලී ජීවත් වීමට ශක්තියත්, ධෛර්යයත් ලැබෙනු ඇත.

මොන දේ කළත් ජීවිතයේ සැනසීමක් නැතැයි අද බොහෝ දෙනා කියති. සැනසීමක් ලද නොහැකිවන්නේ මේ ජීවිතය ධර්මයෙන් දැකීමට තරම් ඕනෑකමක් ඉවසීමක් නැති නිසා ය.

ඉපදුණු දා පටන් මිය යන මොහොත දක්වාම අප බලාපොරොත්තු වන්නේ සතුට ය. ‘සන්තුට්ඨි පරමං ධනං’ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි ජීවිතයේ පරම ධනය වන්නේ ද සතුට ය. එහෙත් බොහෝ දෙනකු වරදවා වටහා ගන්නේ, සතුට ඇත්තේ භෞතික සැප සම්පත් තුළ බවටය. මොන දේ කළත් සැනසීමක් නැතැයි හැඟෙන්නේ ඒ භෞතික සම්පත් සෙවීමතුළ වු ඉවරයක් නොවන අසීමාන්තික බව නිසාම ය. බුදු දහමේ ඉගැන්වෙන ලෙස ආර්ථික වශයෙන්, භෞතික සැප සම්පතින් පමණක් දියුණුවන පුද්ගලයා එකැස් කණෙකි.

ඒ නිසාම වරද නිවරද පෙනෙන්නේ නැත. ඉඳුරන් පිනවන්නටම උත්සාහ ගනී. මිය යන තුරුම මේ පිනවීම අවසන් නොවන බව වටහා නො ගැනීම තුළ හොඳින් හෝ නරකින් ඒවා අත්පත් කර ගැනීමට යාම එවැනි අයගේ ස්වභාවය ය. තමන් ගැන පමණක් සිතා අනුන් ගැන නොසිතා, නො බලා ගන්නා තීන්දු තීරණ නිසා තමන් නොදැනීම ධර්මයෙන් දුරස් වේ. සමාජය ඉදිරියේ වරදකරුවන් වන්නේ, ආත්ම ගෞරවය ගිලිහී යන්නේ එවිට ය.

අධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරගත යුතු වන්නේ මේ නිසා ය. එහි දී මරණය කොයි මොහොතක තමන් වෙත ළගා වේදැයි සිතමින් පින් දහම්, කුසල් කරගැනීමට ද අවධානය යොමු කළ යුතුවේ.

තෙරුවන් සරණ ගිය පුද්ගලයාට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව එනම් අචල ප්‍රසාදයත්, නො සැලෙන විශ්වාසයත් තිබිය යුතු ය. ඔහු පවට, අකුසලයට ලජ්ජා , බිය වේ. පිනට කුසලයටම නැඹුරු වේ. මේ නිසා දැන උගත්කම් ඇති ගිහි බෞද්ධ පින්වතුන් ගමේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේගේ අනු දැනුම හා මාර්ගෝපදේශකත්ව ඇතිව එවැනි වටපිටාවක් තමන්ගේ ගමතුළ ඇති කරන්නටත්, ගමේ උපාසක උපාසිකාවන්ගේ චරිත සංවර්ධනයටත් අවශ්‍ය වැඩ පිළිවෙළක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් ව පවතී. එසේ පවසන්නේ බොහෝ දෙනෙක් තුළ අධ්‍යාත්මික සංවර්ධනය අවම මට්ටමක පවතින බව, සතුට ගිලිහී ගොස් ඇති බව සමහර අවස්ථාවන්හි ඇසෙන්නට, පෙනෙන්නට ඇති නිසා ය.

වෙහෙස මහන්සි වී කුඹුරක් කොටා, නියරබැඳ කල්යල් බලා වැපිරූ බීජ රෝපණයවී මතුවන පැළ ගොයම හැදී වැඩී පීදී කරලින් බර වන්නට නම් අවශ්‍ය මොහොතේ, අවශ්‍ය පමණින් ජලයද පොහොර ද ලබා දිය යුතු ම ය. නොවුණේ නම් ගොයමින් ලබන ඵලය නිසරු ය. අපගේ බාල පරම්පරාව ද ඇති දැඩි කළ යුතු එලෙස ය. ඔවුන් කවා පොවා පෝෂණය කරනවා සේ ම ගුණ දහමින් ද පෝෂණය නො කළේ නම් අනාගත පරපුරෙන් ලද හැකි ඵලය නිසරු ය. ඒ සඳහා නිවෙසේ ආගමානුකූල පරිසරය අත්‍යවශ්‍ය ය. දරුවන් අනුකරණය කරන්නේ දකින දේ ම මිස නො දකින දේ නොවන නිසා ය.

පුද්ගල චර්යාව හා ආකල්ප වර්ධනය ඇතිවන ලෙස කටයුතු කිරීමට වෙසෙස් වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකි. අපගේ මහා සංඝරත්නය විසින් දහම් පාසල මගින් එවැනි වැඩසටහන් රැසක් ආරම්භ කරනු ලැබ තිබීම ප්‍රශංසනීයහ. ඒ සඳහා පාසල් ගුරු භවතුන්ගේ ද අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. මිනිස්කම අර්ථවත් වන්නේ, බුද්ධිය ධර්මය සමඟ පෝෂණය වූ තරමට ය.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]