UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය සිතක ස්වභාවය

ආර්ය සිතක ස්වභාවය

මනාව හික්මවන ලද ඉඳුරන්ගෙන් අග්‍ර වූයේ නන්ද මහරහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තමන්වහන්සේ උපන් කිඹුල්වත් පුරයට වැඩමකළේ මැදින් පුර පසළොස්වක දිනයේ දී ය. තමන් වහන්සේ ජාත ග්‍රාමයේ ශාක්‍ය වංශිකයන්ට උදාර මෙහෙවරක් ඉෂ්ඨ කිරීමේ අධිෂ්ඨානය පෙරදැරිව ය. උන්වහන්සේ පිළිගැනීමට මග දෙපස වෘක්ෂයන්ගේ ළා දලු පත් මෙන් ම සුපුෂ්පිත පුෂ්පයෝ ද රක්ත වර්ණයෙන් බැබළෙමින් ස්වභාවදහම ද බුදුන් වහන්සේගේ වැඩමවීම පිළිගැනීමට සැරසුන හ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම වූ තෙවන දිනයේ දී නන්ද කුමරුගේ ගෘහ ප්‍රවේශය, මෞලි මංගල්‍යය සහ සරණ බන්ධනයෙන් මුලු මහත් මාලිගය ම උත්සව ශ්‍රීයෙන් ඔද තෙද වැටිණි. මේ සුවිශේෂි අවස්ථාවේ දී බුදුන්වහන්සේ නන්ද කුමරුගේ මාලිගයෙන් ප්‍රනීත වු දානය වළදා නන්ද කුමරුන් සමඟ විහාරයට වැඩම කළහ. බුදුන්වහන්සේ පිළිබඳ වූ අසීමිත බුද්ධ ගෞරවයත්, සාක්‍ය වංශික ඥාතිත්වයත් නිසා නන්ද කුමරු සම්බුදු සසුනේ ප්‍රවෘජ්‍යා භූමියට පත්විය.

එහෙත් ආලයේ ආශාව නන්ද කුමරුගේ හදවත පසාරු කොටගෙන තිබිණි. නන්ද තෙරණුවෝ සසුනේ වැඩසිටියේ දෙගිඩියාවෙනි. නන්ද කුමරුගේ උකටලීභාවයත්, උතුම් අරහත් භාවයට පත්වීමට තිබු පෙර සසර පූරණ ලද පින්බලයත් නිසා බුදුපියාණෝ නන්ද තෙරණුන් සමඟ සුන්දර වූ හිමාලය වෙත වැඩම කළහ. ඒ යන අතරමග දී නවදැලි හේනක පිළිස්සී වියළී ගිය වැඳිරියකගේ කුණු කයක් නන්ද තෙරුන්ගේ නෙත ගැටීමට සැලැස් වූ බුදුන් වහන්සේ හිමාලයට පිවිස එහි පිහිටි අසිරිමත් අනෝතප්ත විලත්, සුවිසල් සිව්මහා විල් ද පඤ්ච මහා ගංගාවන් ද දැකීමට සැලැස්වූහ.පසුව බුදුරදුන් දෙව් ලොවට පිවිසෙද්දී දෙවඟනන් පිරිවරාගත් සක් දෙවිඳු විරාජමානව පඬුපුල් ආසනයේ වැඩසිටියහ.

එහි දී බුදුරජාණන් වහන්සේ නන්ද ඔබට වඩා ලස්සන, පඤ්ච කල්‍යාණයෙන් අනූන වු ජනපද කල්‍යාණිය ද, දිව්‍යශ්‍රීයෙන් බබළන දෙව්ලොව දෙවඟනන් දැයි ද විමසූහ. ජනපද කල්‍යාණිය එන මග හමුවු නවදැලි හේනක පිළිස්සී වියළී ගිය වැඳිරිය හා සමාන ය. එහෙත් දෙව්ලොව දෙවඟනක් ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසී ය.

පුහුදුන් මනසක ස්වභාවය කැමැති අරමුණුවල ඇලීම හා අකැමැති අරමුණුවල ගැටීම ය. නන්ද තෙරණුවන්ගේ පුහුදුන් සිත දෙලොවක අතරමං විය. හොදින් මහණ දම් පුරන්නේ නම් දෙවඟනක් ලබා දීමට මම ඔබට ඇප වෙමි යි බුදුන්වහන්සේ නන්ද තෙරණුවන්ට පොරොන්දු වූහ. මෙහි දී නන්ද තෙරණුවෝ කාන්තාවක් පතා මහණදම් පුරතියි භික්ෂූන් අතර ප්‍රචලිත වූහ. මෙයින් ලජ්ජාවට පත් නන්ද තෙරණුවෝ කාන්තාවන් කෙරෙහි ඇතිවන සිතිවිලි යටපත් කොට වීර්යය වඩා විදසුන් මගෙහි පිහිටා සව් කෙලෙසුන් නසා උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.

නන්ද තෙරුණ් වහන්සේ රහත් වු බව නොදත් අනෙකුත් භික්ෂූහු ඔබ වහන්සේ දෙවඟනක් ලබාගන්නේ කවදාදැයි විමසූහ. එහිදී තමාට දෙවගණක් අවශ්‍ය නැතැයි නන්ද තෙරණුවෝ වදාළහ. එය නොපිළිගත් සද්ධි විහාරික භික්ෂූහු මෙම තෙරුන් මුසාබස් පවසන බව බුදුරදුන් හට දැන්වූහ.

එහෙත් එය මුසාවක් නොවන බවත් නන්ද තෙරුන් සියලු විදසුන් වඩා රහත් වූවා යැයි බුදුහිමියෝ වදාළහ.

ආර්ය සිතක ස්වභාවය පුහුදුන් මනසට දැකගත නොහැකි ය.එය දැනගත හැක්කේ ආර්යභාවයට පත්වූ උතුමන් වහන්සේ නමකට පමණි.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]