UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේශයට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

දේශයට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

කොළඹ නවම් මහා පෙරහර ආරම්භ කර මෙම වසරට හතළිස් වසරක් සපිරේ. ඊටත් කලකට පෙර කොළඹ ගංගාරාමය මගින් ඇසළ පෙරහර නමින් පෙරහක් පවත්වා ඇත.

අපේ රටේ වෙනත් පෙරහරක් නොපැවති මාසයක කොළඹ නවම් මහා පෙරහර ආරම්භ කෙරිණි. ගංගාරාමයේ නවම් මහා පෙරහර ආරම්භ වූයේ තෙරුවන් උදෙසා පවත්වනු ලබන ගෞරවෝපහාරයක් ලෙසිනි. සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත වැඩමකරවීමත්, බුදුරජාණන් වහන්සේගේ සුවාසුහාර දහසක් ධර්මස්කන්ධය සිහියට නංවමින් ධර්ම පුස්තක වැඩම කරවීම සහ සිය ගණනක් මහ සඟරුවන වැඩම කරවීම ද කොළඹ නවම් මහා පෙරහරට ආවේණික වේ.


ගල්බොඩ ඤාණිස්සර නා හිමි (ගංගාරාමයේ පොඩිහාමුදුරවෝ )


ආචාර්ය
කිරින්දේ අස්සජි හිමි
 

කොළඹ නගරයට නවම් මහා පෙරහර අලංකාරයක් පමණක් නොව අපේ රටට මහත් ගෞරවයක් නිරන්තරයෙන් එමගින් හිමිවන අතර වෙසෙසින් ම ලොව බොහෝ රටවලින් එම නවම් මහා පෙරහර නැරඹීම සඳහා ම විදේශිකයන් ද වැඩි වශයෙන් අපේ රටට පැමිණෙන කාලයක් බවටද පත්වී ඇත.

නවම් මහා පෙරහර ආරම්භවීමට මත්තෙන් සතිපිරිත් දේශනාවක්, මල්පෙරහර හතක්ද පවත්වා වාර්ෂික නවම් පෙරහර මංගල්‍යයට සූදානම්වීමද පැසසිය යුතුය.

ගංගාරාමයේ වත්මන් විහාරාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ගිහි පැවිදි බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ” යන ගෞරවනීය නාමයෙනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ තවත් සුවිශේෂී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වන පොඩි හාමුදුරුවෝ ගංගාරාමයේ ඓතිහාසික නවෝදයේ නිර්මාතෘන් වහන්සේ ය.

උන් වහන්සේ සමාජ ප්‍රගමනය සඳහා නායකත්වය, මූලිකත්වය දරයි. නායකත්වය අවබෝධ කර ගැනීමට භික්ෂූන් වහන්සේ ප්‍රබල දායකත්වයක් අතීතයේ සිට ලබා දී ඇත. පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් මෙතෙක් ඉටුකළ හා දැනුදු ඉටු කරනු ලබන ආගමික, ශාසනික, සාමාජික යහපත උන්වහන්සේගේ යතිවර ජීවිතයේ නොනිමි මෙහෙවර අගය කළ යුතුය. පොදු ජනයාගේ සුවහසක් ගැටලුවලට භෞතික හා අධ්‍යාත්මික පිහිටක් පන්සලෙන් ලබාදීම පොඩි හාමුදුරුවන් වහන්සේ සතු දර්ශනය වේ.

ගංගාරාමයේ දී දිනපතා පැවැත්වෙන ආගමික වතාවත්වලට මාර්ගෝපදේශකත්වය හා අනුශාසකත්වය නො අඩුව ලබාදෙන පොඩි හාමුදුරුවෝ මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතයට අර්ථදායී සුවයත්, භෞතික ජීවිතයට ක්‍රියාකාරි සුවයත් ලබා දෙන ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

සැමට සේවය කිරීම පරමාර්ථය වන හෙයින් ජාති, ආගම් ආදීි භේදයකින් තොරව නිදහස් මනසකින් මනුෂ්‍යත්වය දෙස බලමින් නිර්ලෝභීව ක්‍රියාකරන පොඩි හාමුදුරුවෝ ගංගාරාමයෙන් යම් උපකාරයක් අපේක්ෂා කරන්නේ ද එය නොමිලයේ ලබාදීම ද අගය කළ යුතු ය.

කිව යුතු දේ කියන, කියන දේ කරන උන්වහන්සේ සියලු ආගමික නායකයන් සමඟ සුහද ඇසුරක් පවත්වනු ලබන අද්විතීය චරිතයකට හිමිකම් කියන සංඝ පීතෘන් වහන්සේ නමකි.

ගංගාරාමය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට පාත්‍රවී ඇති පුණ්‍ය භූමියකි. ලොව බොහෝ රටවල වටිනා පූජනීය වස්තු තැන්පත් කර ඇති ඓතිහාසික කෞතුකාගාරයෙහි පැය ගණනක් පුරා නැරඹිය හැකි වටිනා කෞතුක භාණ්ඩ ද තැන්පත් කර තිබේ.

පටුවාද භේද ඉවතලා ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන් සියලු ආගමිකයන් කොළඹ නවම් මහා පෙරහරට ඒකරාශි වේ. පෙරහරට ආහාරපාන සැපයීම පවා කලක සිට සිංහල, මුස්ලිම් ජනතාව ඒකරාශි වී සිදුකරනු ලැබේ. ද්‍රවිඩ සිංහල ජනතාව ඒකරාශි වී සියලු කටයුතු සිදු කෙරේ.

නවම් මහා පෙරහරේ දී ශී‍්‍ර ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ගේ මූලිකත්වය ගන්නා සංවිධාන ශක්තිය එම තරුණ දරුවන්ගේ සංවිධාන ශක්තිය ද විදහා දක්වයි. ජිනරතන කාර්මික විද්‍යාලයේ සියලු ජාතීන්ට අයත් දරුවන් අධ්‍යාපනය ලබන අතර ඒ සියලු දරුවන්ගේ නවම් පෙරහරට ඇති කැපවීම පැසසිය යුතු ය.

කොළඹ නවම් මහා පෙරහරට දායකත්වය ලබා දෙන ආයතන අතර මෙවරද ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වේ. එසේ සහභාගි වන සියලු දෙනා ද ගංගාරාමයේ අරමුණු මුදුන්පත් කිරීමට ඔවුන්ගේ ශක්ති පමණින් දෙන සහාය අගය කළ යුතුව ඇත. නවම් මහා පෙරහර වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන සියලු දෙනාට ආශිර්වාද සිදු කිරීමද ගංගාරාමයෙන් නොඅඩුව ඉටුවේ.

පෙරහර යනු සංස්කෘතියක සුවිශේෂි අංග ප්‍රදර්ශනය කෙරෙන අනන්‍යතාවය තහවුරු කෙරෙන සුවිශේෂි අවස්ථාවකි. අපගේ සංස්කෘතිකාංගයන් ආරක්ෂා කිරීම වගකීමක් වේ. එබඳු උදාර සංස්කෘතිකාංග මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර නොදුනහොත් ඒවා ගිලිහී යාමට ඉඩහසර ලබාදුනහොත් අනාගත පරපුර අතීතයට දොස් පවරනු ඇත. හේවිසි වාදනය කිරීම, වෙස් නැටුම ආදිය ඇතැම් විට සාමාන්‍ය පින්කමකදී වුවද දැක බලා ගැනීමට අවස්ථාව ඇත. එහෙත් පෙරහරකට ම පමණක් ආවේණික වු සංස්කෘතිකාංග පෙරහර නොපැවතියහොත් පරිහානියට පත්වීම රහසක් නොවනු ඇත. එබැවින් පෙරහරට ලබා දෙන දායකත්වය ඇතැම් විට අපේ රටේ කලාකරුවන්ට ලබා දෙන ශක්තියක් හා ධෛර්යයක් ද වනු ඇත.

නර්තන ශිල්පීන් සඳහා වේතන ලබා දෙන අතර ඊට වඩා යමක් ඔවුන් වෙත ලබා දෙනු ඇත.පෙරහරට සහභාගි වන අලි ඇතුන් බාරව බලා ගන්නා සේවකයන් වෙත පාපැදිය, රූපවාහිනි යන්ත්‍රය, මහන මැෂිම්, රන්පවුම ලබා දුන්නේ කොළඹ නවම් පෙරහර මගින් බව සිහිපත් කළ යුතුව ඇත.

ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය සෙවිලි තහඩු ද පිරිනමන ලදී. නර්තන ශිල්පීන්ට අවශ්‍ය ඇඳුම් ආදිය අඩුපාඩු වුවහොත් ඒවා ද ලබාදීමට පියවර ගැනිණි.

දෙස් විදෙස් සුපතල කොළඹ නවම් මහා පෙරහර මගින් මෙරට සංස්කෘතිය ලොවට ප්‍රචලිත වන අතර සංස්කෘතික ප්‍රබෝධයටද එය මහඟු අත්වැලක් වනු ඇත.

කොළඹ නවම් මහ පෙරහර කොම්පඤ්ඤවීදිය සම්පත් බැංකුව අසලින් පෙළ ගැසී ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතෙන් ඩබ්ලිව් ඩී. රාමනායක මාවතෙන් හුණුපිටිය ලේක්පාරෙන් නැවත ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට ගෙවදිනු ඇත.

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 28 සහ මාර්තු 01 වනදා වීථි සංචාරය කෙරේ.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]