UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

‘මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.

මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.

සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.

මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ලෙස මනස දෙවිධියකින් දියුණුකරගත හැකි ය. තණ්හාව, ආශාව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මාන්නය වැනි හැඟීම් ඉවත්කර ගැනීමට, අඩුකරගැනීමට උත්සාහ කිරීම මනස දියුණු කර ගැනීමේ එක් පැතිකඩයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිතිවිලි දියුණු කර ගැනීම අනෙක් පැතිකඩයි. මේ දෙකම එකිනෙකට සම්බන්ධ ය. එක් අංශයක් දියුණුවනවා සඳහා අනෙක් අංශයෙන් දියුණුව කරා ගමන් කිරීමයි.

ඉහත කී අයුරින් මානසික දියුණුව ලබන්නා ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය ලබයි. ඔහු ප්‍රශ්නයක් ඉදිරියේ සැලෙන, චංචල වන අයෙකු නොවනු ඇත.

මෙලෙස දියුණු මනසක් ඇතිකරගත් තැනැත්තාට එම චිත්ත ශක්තිය තමන්ගේ නිරෝගී පැවැත්ම සඳහා ද යොදා ගත හැකි ය.

බටහිර රටවල අලුතෙන් යම් ඖෂධයක් නිෂ්පාදනය කළ විට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම ඒ සඳහා තත්ත්ව පාලන සහතිකයක් ලබාගත යුතු වේ. එම නිෂ්පාදිත ඖෂධයේ ඇති නිරවද්‍යතාව පෙන්නුම් කළ යුතු වේ. මේ සඳහා එම ඖෂධයට සමාන හැඩරුව ඇති, එම සුවඳම ඇති බෙහෙත් නොවන දෙයක් ද සකස් කළ යුතු යි. මේ ඖෂධය අවශ්‍ය රෝගීන් කණ්ඩායමක් කොටස් දෙකකට බෙදා එක් කණ්ඩායමකට අදාළ නියම ඖෂධය අනෙක් කණ්ඩායමට ඒ හා සමානව සැකසූ ඖෂධයක් නොවන ව්‍යාජ බෙහෙතත් දෙනු ඇත. එහෙත් ඔවුන්ට ඒ බව හඟවන්නේ නැත. ඔවුහු එය තමන්ට අදාළ නියමිත බෙහෙත ලෙස සලකති. බෙහෙත් ගැනීමේ නියමිත කාලය අවසන් වූ පසු පෙනී යන්නේ ව්‍යාජ ඖෂධය ප්‍රයෝජනයට ගත් රෝගීන්ගෙන් අඩක් පමණ සුවය ලබා ඇති බව ය. මෙයට හේතුව කුමක් ද? ‘අසනීපය සුවවේ’ යන සිතිවිලිවලින් යුතුව එම ඖෂධය ගැනීමයි.

නියමිත කාලය පුරාම හැඟීමකින් යුතුව එම ව්‍යාජ ඖෂධය ගැනීමයි. රෝගීන් සුවපත් වීම සඳහා මානසික සිතිවිලිවල බලපෑම එක්තරා මට්ටමකට සිදුවන බව මෙවැනි පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මෛත්‍රී සිතිවිලි යොදා ගනිමින් අන් අය අපට අවනත කර ගත හැකි බව ද විවිධ පරීක්ෂණ මඟින් පෙන්වා දී ඇත. ඔබ සමඟ විරුද්ධ කෙනෙකුගේ රූපය සිතින් මවාගෙන ඔහු කෙරෙහි ඇති ක්‍රෝධ සිතිවිලිවලින් ඉවත් ව අවංකව ම සමාධිගත සිතින් ඔහු වෙත මෛත්‍රී සිතිවිලි යොමු කරන්න. සෑම දිනක ම මිනිත්තු දහයක් පමණ මේ සඳහා යොමුවන්න. දවස් දහයක්, පහළොවක් ගතවන විට එහි ප්‍රතිඵල ඔබටම දැකගන්නට ලැබෙනු ඇත. ඔබ වෙත මෙතෙක් නුරුස්නා බැල්මක් පෑ ඒ තැනැත්තා ටිකෙන් ටික ඔබ සමඟ සුහදශීලී වන අයුරු ඔබටම දැකගත හැකි වේවි. මෙහි දී මෛත්‍රී හැඟීම් වෙනස් නොවන අයුරින් පවත්වා ගැනීම වැදගත්වනු ඇත. ඔහු කෙරෙහි ද්වේෂයක් ඇති නොවන අයුරින් සිත පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය ය. හදවතින් ම මෛත්‍රී සහගත සිතිවිලි ක්‍රියාත්මක වීම මත ඔහුගේ පි‍්‍රයශීලී දැක්ම වර්ධනය වනු ඇත.

කිසියම් කෙනෙකුගෙන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය නම්, එහිදී ද ඉහත සඳහන් ලෙස අදාළ තැනැත්තා වෙත මෛත්‍රී සිතිවිලි යොමු කරලීමෙන් තමන්ට අවනත වන අයුරින් මානසික වෙනසක් ඇතිකිරීමට අවස්ථාව උදාකර ගත හැකි ය. මෙහි දී අප බලාපොරොත්තුවන දේ නිවැරැදි, අවංක, සාධාරණ ඉල්ලීමක් විය යුතු වේ.

කිසියම් කෙනෙකුට අප උදව්වක්, උපකාරයක් කරනවිට එය කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන්, ආත්මාර්ථකාමී හැඟීමෙන්, ප්‍රදර්ශනාත්මක අයුරින්, කීර්තිය, ගෞරවය පිළිබඳ හැඟීමෙන් කරන්නේ නම්, එහි ප්‍රතිඵලය එතරම් සතුටුදායක නැත. අප කරන උදව්ව, උපකාරය, පරිත්‍යාගය, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්නක් විය යුතු ය.

නිරපේක්ෂව කරන උපකාරයතුළින් දෙපාර්ශවයතුළ ම ප්‍රබල මානසික ශක්තියක් නිර්මාණය වනු ඇත. මෙහි දී උපකාරය ලබන්නාතුළ ඇතිවන මානසික ප්‍රසාදය වෙනස් වන්නක් නොවේ. බුද්ධ දේශනාව ම රැඳී පවතින්නේ සිත මත ය. ඒ සිත ආශ්චර්යවත් ය. එයින් කළ හැකි වැඩ බොහෝ ය. ඒ පුදුම සහගත සිතින්, වටිනා සිතින් අප ලබන ප්‍රයෝජනය නම්, ඉතා අල්ප ය.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]