UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

මැදින් පුර අටවක 2018.02.23

පරම ධනය ලැබීමට...

සිත සතුටින් තබාගත් තරමට ජීවිතය සැනසිලිදායක ය. ජීවිතය පිළිබඳ වඩාත් නිවැරැදි තීරණ ගත හැකි වන්නේ ගිනිගත් සිතින් නොව නිවුණු සිතින් සිතන විටදී ය. අධ්‍යාපනය, රැකියාව, ගෘහ ජීවිතය, සමාජ ජීවිතය ආදී සෑම අවස්ථාවක් ම සාර්ථක වන්නේ සැනසීම, සතුට ඇතිවිටය. එහෙත් බොහෝ දෙනකුට නැත්තේ ද සතුටම ය. සැනසිල්ලමය. එහෙත් තෙරුවන් සරණ ගිය බෞද්ධයකුට එය කිසිසේත් අදාළ නොවිය යුතු ය. ‘සන්තුට්ඨි පරමං ධනං’ ජීවිතයේ පරම ධනය වන සතුට හිමි කරගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ අපට මනාව පෙන්වා වදාළහ.

සිතේ සතුට නොවේ නම්, එහි වරද කාගේවත් නොව තමන්ගේ ම ය. තමන් සිතන පතන ආකාරයේ ය. “තමන් හිසට තම අතම ය සෙවනැල්ල” යැයි කියමනක් ඇත. තමන්ගේ පිහිට ට තමන් ම මිස වෙන කෙනෙක් එන්නේ නැත. සිතේ සතුට ද තමන් විසින් ම ඇතිකර ගන්නවා මිස අනුන්ට එය ලබා දිය නොහැකි ය. බොහෝ දෙනෙක් සතුට යැයි සිතන්නේ අනුන්වෙතින් තමන් බලාපොරොත්තු වන දේ ඉටු වීම ය. වෙසෙසින් මවුපියෝ දරුවන් ගැන බොහෝ බලාපොරොත්තු තබති. ඔවුන් අධ්‍යාපනයෙන්, වඩාත් ඉහළට පැමිණ උසස් රැකියාවක් කරනු දැකීම වැඩි දෙනෙකුගේ ප්‍රාර්ථනය වන්නේ ය. තමන් කියන දේ ම අහන, කියන දේ ම කරන දරුවන් අපේක්ෂා කිරීම තවත් පැතිකඩක් පමණි. එහෙත් ඒ බලාපොරොත්තු ඉටු වන්නේ අල්ප දෙනෙකුගේ ය. වැඩි දෙනෙක් කඩ වූ බලාපොරොත්තු නිසා ගිනිගත් සිතින් ය. දුකින්ම කාලය ගෙවන්නේ ය. සතුටක සේයාවකදු නැත. එවැනි ජීවිතයකින් තමන්ට ද, දරුවන්ට ද සෙතක් නොවන්නේ ය. යහපත් දෙයකට, පිනට, කුසලයට යෙදිය යුතු සිත උදාසීනව, කළකිරීමට පත්වන්නේ ය. මේ නිසා තමන් සිතන ආකාරයේ වෙනසක් ඇතිකර ගැනීම වඩාත් ප්‍රායෝගික වන්නේ ය.

වැඩි පිරිසක් සතුට ඇතැයි සිතන්නේ බොහෝ දේ අත්පත් කර ගැනීම තුළ ය. ගොඩ ගසා ගත් තරමට සතුට අහිමි ය. ඇළෙන තරමට, බැඳෙන තරමට, ගැටෙන තරමට සතුට අහිමි ය. සමහර ජයග්‍රහණ හමුවේ කෙනෙක් මුළු ලෝකයක් අත්පත් වූවා සේ සිතති. සතුටින් උදම් වෙති. එහෙත් මේ ලොව තමන්ට තමන්වත් අයිති නොවේ. අයිති වූ දෙයක් වේද මොහොතකින් එය විනාශ වීමට, වෙනස් වීමට ඉඩ තිබේ. ඒ ලෝකයේ හැටි ය. අත්හළ තරමට සතුට ලැබෙන්නේ ඒ නිසා ය. ජීවිතයේ සියල්ල බාරගත යුතු වන්නේ අවබෝධයෙන් යුතුව ය. විශේෂයෙන් ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ ඉටු වන්නේ අල්ප ලෙසිනි. මවුපියන්ගෙන්, දූ දරුවන්ගෙන්, යහළු යෙහෙළියන්ගෙන්, සමාජයෙන් බලාපොරොත්තු වන දේ ඒ ආකාරයෙන් ම ලැබෙන්නේ නැත. අනෙක් සියලු අපේක්ෂාවන්හි ඇත්තේ ද ඒ අඩුවැඩිකම් ය. එය දරාගන්නට, උපේක්ෂාවෙන් බාර ගන්නට නොහැකි නම් ඇති වන්නේ දුක ය. ලද පමණින් සතුටුවීමට හැකි ලෙස සිත වර්ධනය කරගත යුතු මේ නිසා ය.

අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවීම අප සැමට පොදු ධර්මතාවකි. ඉන් මඟ හරින්නට කිසිවෙකුටත් නො හැකි ය. ලාබයේ දී සතුටුවනවා සේ ම එය මොහොතින් නැතිවිය හැකි බව, අවදිමත් සිතින් සිතනවා නම් අලාභයේ දී දරා ගැනීම අපහසු නොවන්නේ ය. අලාභය ඉවසාගත නොහැකි පුද්ගලයාගේ ද සිත ව්‍යාකූලය. දුක්ඛ සහගත ය. හොඳ නරක තෝරා ගන්නට අපහසු ය. අහිමි දේ හිමි කර ගන්නට අකටයුතු දෙයකට පෙළඹෙන්නට වුවද පුළුවන. එය මෙලොවට සේ ම පරලොවට ද සුබදායක නැත. සතුට සොයා දුක හඹායෑමක් ය. යස - අයස, නින්දා – ප්‍රශංසා, දුක - සැප, යන ධර්මතාවන්හි ස්වභාවය ද මෙවැනි ම ය. සතුට ළඟා කරගත හැකි වන්නේ තමන් මුහුණදෙන සියලු යහපත්, අයහපත් දේ ඉවසා දරාගන්නට, ඒවාට නොසැළී මුහුණ දෙන්නට හැකි ලෙස සිත වර්ධනය කරගත් පුද්ගලයාට ය.

ලෝභය, ද්වේශය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය තිබෙන තරමට අපිරිසුදු වන්නේ දුක්ඛදායක වන්නේ තමන්ගේ ම සිත ය. ගත වැකුණු කුණු දුහුවිලි සෝදා පවිත්‍ර නොකළේ නම් ඒ සිරුර මොනතරම් අපි‍්‍රය ජනක ද? පිළිකුල් ද? අපේ සිත ද එවැනි ය. සිත කිළිටි කාරක ධර්ම සෝදා පවිත්‍ර නොකළේ නම් ඒ සිතද පිළිකුල් ය. එමඟින් සිතන පතන දේ ද පිළිකුල් ය. සිත සෝදා ගත යුතු වන්නේ අලෝභ, අද්වේශ, අමෝහ සිතිවිලිවලිනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණයන්ගෙනි. එසේ පිරිසුදු කරගත් සිත සුපැහැදිලි ය. සතුටුදායක ය.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]