UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.

ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.

ඒ සංස්කෘතිය කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින්. ඉස්කෝලේ මහත්තයට, පන්සලේ හාමුදුරුවන්ට එදා ලබල දීපු තැන ඇතැම්විට පරිගණකයට රූපවාහිනියට ගිහින්.

අද තරුණ පරපුරේ දූ දරුවන් ආගම දහමින් ඈත්වෙලා. මේ නිසා ගුණ ධර්ම හැදියාව අපේ ම සංස්කෘතිය සෝදා පාළුවට ලක්වෙලා. අපේ අයගේ දැන් වීරයෝ රූපවාහිනියේ ඉන්න කාඩ්බෝඩ් වීරයන් පමණයි.

රූපවාහිනිය ඉතාම හොඳ තාක්ෂණික භාණ්ඩයක්. අධ්‍යාපනයට වගේම හැදියාව ඉහළ නංවාගන්න පුළුවන් වගේම හැදියාව ඉහළ නංවාගන්න පුළුවන් උපකරණයක්. ඒ වුණත් අපේ සමාජයට වෙලා තියෙන්නේ නුසුදුසු දේ ළං කර ගැනීමත් සුදුසු නැත්නම් හොඳ දේ ඈත් කිරීමත් යන වැරැදි මතය එල්ලා ගැනීමත්.

බුද්ධ කාලීන භාරතයේ මිථ්‍යා දෘෂ්ටීන්හි එල්ලී සිටි අය ගැනත් ඔවුන් කළ කී දේත් අප අසා තිබෙනවා. අද අපේ රටේ වැඩිි දෙනෙක් මිථ්‍යා දෘෂ්ටීන්හි එල්ලී තිබෙන්නේ ඔවුන්ට ලැබෙන ආදර්ශ වැරැදි මාර්ගයන්ට යොමු කරවන ඒවා වන නිසයි. රූපවාහිනි මාධ්‍ය මෙන්ම ගුවන්විදුලි මාධ්‍යයත් අප යොදා ගන්නේ දැනුම වර්ධනයට. විනෝදාස්වාදයටත් වඩා අනිසි ලෙස විනෝද වීමටත් එමඟින් අයුතු කටයුතු කර ගැනීමටත් බව අතැම්විට අපට පෙනෙනවා.

වර්තමානයේ රූපවාහිනි නාලිකා 15 ක් පමණ අපගේ දර්ශනයට යොමු කර තිබෙනවා. අන්තර්ජාලය අරගෙන බලන්න. එමගින් ලෝකයේ ඕනෑම දෙයක් පහසුවෙන් දැනගන්න අපිට හැකියාව තිබෙනවා. නමුත් වර්තමානයේ ෆේස්බුක් ඔස්සේ රැවටී තරුණියන් කී දෙනෙක් දිවි නැති කර ගත්තා ද? අප කුල්ල සහ නෑඹිලිය දෙකෙහි වෙනස ද වටහා ගත යුතු වෙනවා. කුල්ල සෑමවිට ම නුසුදුසු දේ ඉවත් කර (දහයියා වැනි දේ) හොඳ දේ සුරැකිව තබා ගන්නවා. නෑඹිලිය හොඳ දේ ඉවත් කර ගල් වැලි ආදි නුසුුදුසු දේ තමන් සතු කර ගන්නවා. අප බොහෝ දෙනෙක් තෝරා ගෙන ඇත්තේ නෑඹිලියේ ක්‍රියාකාරිත්වය යි. කුල්ලේ ක්‍රියාකාරිත්වය දෙස බලා හොඳ දේ පමණක් අපට ළංකර ගැනීමට කටයුතු කළහොත් අපේ රට යළි ධර්මද්වීපයක් කිරීම අපහසු නැහැ.

එමෙන් ම අපේ රටේ පාලනයට සුදුසු පුද්ගලයන් යොදා ගැනීම ඉතාම වැදගත්. මේ නිසා රටේ පාලකයන් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ යමක් කමක් ඇති, හැඟීමක් ඇති එමෙන් ම අධ්‍යාපන සුදුසුකම් ඇති අයයි.

අපේ රට සංවර්ධනය වූණේ එවන් නායකයන් රට කරපු නිසයි. යළිත් එවන් රටක් ඇති කළ යුතුවනවා.

පන්සල, පල්ලිය, කෝවිල මේ හැම ආගමික ස්ථානයක් ම මුල්කර ගත් සමාජයක් අප යළි ඇති කළ යුතුවනවා. මෙය පහසු කාර්යයක් නෙමෙයි. නමුත් කෙසේ හෝ ඒ සමාජය යළි බිහි කළ යුතුවනවා. බුදු දහම මෙන් ම භික්ෂූන් වහන්සේ අනුමත නොකළත් එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයකට ගෙන ආ යුතුයි. රටේ අපරාධ වර්ධනය වන්නේ හිරි ඔතප් (ලජ්ජා, බය) නොමැතිවීමනිසයි.

අපේ රටේ මෙන් දන්සල් සංස්කෘතියක් ලෝකයේ වෙනත් රටක දක්නට නැහැ. වෙසක්, පොසොන් කාලයට විදේශිකයෝ බොහොම උනන්දුවෙන් ඒ ගැන හොයනව, බලනවා. පින්තූර ගන්නවා. වීඩියෝ කරනවා. ඒ අයට මහා පුදුමයක්. මේ අයුරෙන් දන්සල් දෙන්නෙ කොහොමද කියලා.

බුදුදහමෙන් බෞද්ධ සංස්කෘතියෙන් ධාර්මික ප්‍රතිපත්ති ඔස්සේ ගම රට සංවර්ධනය කරා ගෙන යා යුතුවනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය දඬුවම් ක්‍රමවේදයට ආගම දහම පටලවා ගත යුතු නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිවිටක බුදු දහම රාජ්‍ය පාලනය හා ඈඳා ගත යුතුයැයි වදාරා නැහැ.

උන්වහන්සේ එසේ ක්‍රියා කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් සිදු කළේ දස සක්විති වත්, දස රාජධර්ම වැනි රාජ්‍ය පාලකයකු විසින් ක්‍රියා කළ යුතු ධර්මතා හඳුන්වාදීමයි.

සතර සංග්‍රහ වස්තු වැනි රාජ්‍ය පාලනයට මෙන් ම සමාජ පාලනයට ඉවහල් වන ධර්මතා උන්වහන්සේ විසින් දේශනා කර වදාළා. එමඟින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ සාමය අගයන ජනතාව නිවැරැදි මාර්ගයට යොමු කරන රාජ්‍ය පාලනයක් තිබීම වගේ ම මානුෂික හැඟීම ඇති සැමවිට ම අනන්‍යයන් ගැන සිතා මතා බලා කටයුතු කරන ජන සමාජයක් බිහි කිරීම ය.

අපේ රටේත් ඒ සංස්කෘතිය ඇති වී තිබුණා. පාරේ මිය ගිය සතකු දුටුවත් අසරණ වූ සතකු දුටුවත් කම්පා වී ඒ දෙස සොයා බලා කටයුතු කළ ලක්වාසීන් අද මහ මඟ මිනිසකු වැටී සිටියත් නො බලා යන තත්ත්වයකට පත්වෙලා.

ගැබිනි මවකට අසුනක් නොදෙන තරමට සමාජය පිරිහිලා තමන් හදා වඩා කවා පොවා ලොකු මහත් කළ මාපියන් මහ මඟ දමා යාමට තරම් කුරිරු වෙලා. අධ්‍යාපනය ලබා දී ගුණ දහම් ලබා නොදීමයි. මීට හේතුව වී ඇත්තේ, විෂයන් සියල්ලට ම ඉහළින් ම සම්මාන ගන්නා ඇතැම් දරුවකු මවට පියාට කතා කිරීමටවත් දන්නේ නැත්නම් එතැන යහගුණ පිරි සමාජයක් බිහිවන්නේ නැහැ.

මේ නිසා අප හෙට නොව අද ම කළ යුතු වන්නේ අපගේ දරුවන් පන්සලට, පල්ලියට හෝ තම ආගමික ස්ථානය හා ඉක්මනින් සම්බන්ධ කිරීමයි.

එසේ නොකළහොත් අනාගත සමාජය ක්‍රියා කරන ආකාරය ගැන අපට සිතා ගැනීමටවත් බැරි වන බව දැනටමත් පසක් වී හමාරයි.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]