UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රට දැය සමය එකලු කළ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

රට දැය සමය එකලු කළ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

මෙරට ඉංගී‍්‍රසි කියවන පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත ඩේලිනිව්ස් පුවත්පත මේ වසරේ දී සියවන සංවත්සරය සැමරීම ද ඓතිහාසික කරුණක් වනු ඇත

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙවන ලංකා ගමනයෙන් පාදස්පර්ශය ලද කැලණි රජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය ඉදිකරන ලද්දේ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. එහි අභිනව චිත්‍ර කර්මාන්තය සෝලියස් මැන්දිස් මහතා ලවා කරවා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සමස්ත සැදැහැ සිත් වඩවන රමණීය විහාර මන්දිරයක් බවට කළේත්, ලෝවැසි සිතුවම් කලා රසික හදවත්හි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට පත් කළේත් හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි.

හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ පුත් ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, දැයේ උන්නතිය උදෙසාත් ගෙන ඇති පියවර ඓතිහාසික ය.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දුර දක්නා නුවණින් ආරම්භ කළ ලේක්හවුස් ආයතනය දැයට සෙවණ සලසන මහ වනස්පතියක් බඳු ය. ශත වර්ෂයකට අධික කාලයක් පුරා ලේක්හවුස් ආයතනය තුළත්, ආයතනයෙන් බාහිරවත් සේවය කළ පිරිස ලක්ෂ සංඛ්‍යාත ය.

ආයතනයතුළ පමණක් නොව රට පුරා විසිරී පැතිරී පවතින ලේක්හවුස් අලෙවි නියෝජිතවරුන්, දහස් සංඛ්‍යාත පිරිස මෙන් ම ඔවුන්ගේ මාර්ගයෙන් ගම පුරා නිවසක් පාසා පාපැදියෙන් දුර කතර ගෙවමින් ලේක්හවුස් පුවත්පත් බෙදාහරිමින් අපේ රටේ ජනතාවගේ නැණ පහන් දල්වන්නට ඉටුකරනුයේ මහඟු මෙහෙවරකි. එමඟින් ජීවිතය සරුකර ගන්නෝ ගණනින් අසීමිත ය.

අපේ ආදි කර්තෘතුමන්ගේ ඒ සදානුස්මරණීය මෙහෙවර නිසා ම අද පවා ලේක්හවුස් ආයතනයේ කළගුණ සලකන සියලු සේවක සේවිකාවෝ දෛනික රාජකාරි සඳහා ලේක්හවුස් මන්දිරයට ඇතුළුවනවාත් සමඟ ඩී.ආර්.විජයවර්ධන ශී‍්‍රමතාණන්ගේ උඩුකය පිළිරුව වෙත දෑත් එකතුකොට නළල මත තබා හිස නමා ගෞරවෝපහාර දක්වනු දක්නට ලැබීම අප ආයතනයට සුවිශේෂ වු සිරිතක් බවට පත්ව ඇත. සිය රාජකාරි අවසන් කර ආයතනයෙන් බැහැරට යන මොහොතේ ද බොහෝ පිරිස් ආදි කර්තෘතුමන් වෙත ඒ ආකාරයෙන් ගෞරව උපහාර දැක්වීම අගය කළ යුතු ය.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ චරිතය පිළිබඳ එච්.ඒ.ජේ.හුළුගල්ල මහතා සහ පී. නිශ්ශංක මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි 1 වන පිටුවෙහි ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන් ගැන මෙසේ සදහන් වේ.

ජනතාවතුළ දේශමාමක හැගීම් ජනිත කරවීමෙන් රට ස්වතන්ත්‍ර පාලනයක් කරා යොමු කරවමින් සිටි සර් ජේමිස් පීරිස්, සර් ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ජේ.සමරවික්‍රම, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඩබ්ලිව්. ඒ.ද. සිල්වා, ප්‍රැන්සිස් ද සොයිසා, ඇෆ් .ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක ආදි ස්වජන හිතෛෂී කණ්ඩායමකට විජයවර්ධන මහතා ද ඇතුළත් විය.

අනික් බොහෝ දෙනා සභා රැස්වීම් ආදියට යමින් එමින් වේදිකාවල කථා පැවැත්වීමාදියෙන් ප්‍රසිද්ධියේ තම සේවය කළ අතර විජයවර්ධන මහතා සිංහල,දෙමළ ,ඉංගී‍්‍රසි යන භාෂාත්‍රයයෙන් පළවූ තම පුවත්පත් මගින් එතෙක් අන් කිසිවකුගෙන් සිදු නොවු අන්දමේ උදාර සේවයක් රට දැය දෙකට කළේ ය.

එහි තවදුරටත් මෙසේ ද සඳහන් ය.

1914 දී ඔහු වැඩි පාඨක සංඛ්‍යාවක් නොසිටි අමාරුවෙන් පවත්වාගෙන ආ දිනමිණ පත්‍රය එහි අයිතිකාරයාගෙන් මිලට ගෙන අවුරුදු කීපයක දී එය රටේ නොයෙක් දිශාභාගවල දස දහස් සංඛ්‍යාත ජනතාවක් දිනපතා කියවූ පුවත්පතක් බවට පත් කළේ ය.

1918 දී ඔහු සිලනීස් නම් වූ ඉංගී‍්‍රසි පත්‍රය මිලට ගෙන එය ඩේලිනිව්ස් නමින් පළකරවන්නට විය.අනූ අවුරුදු කාලයක් මෙරට යුරෝපීයයන් සතුව පැවැති ඔබ්සවර් පත්‍රයද 1923 දී ඔහු මිලට ගත්තේය. පසුව මුළු ආයියාවේ ම ප්‍රවෘත්ති පත්‍ර අතර ඉතා විශාල පිටපත් සංඛ්‍යාවක් විකිණෙන සිළුමිණ පත්‍රය ද ඔහු විසින් ආරම්භ කරන ලදී. මෙතෙක් ඔහුගේ පුවත්පත් නොකියවු මේ රටෙහි සිටි ජන කොටස නම් දෙමළ කියවන ජනයා ය. ඔවුන් සඳහා ද ඔහු ද්‍රවිඩ භාෂාවෙන් පළවන දිනපතා පුවත්පතක් වූ තිනකරන් පත්‍රය ආරම්භ කළේ ය.

මේ පුවත්පත්වල කර්තෘ මණ්ඩලවලත්, වෙනත් අංශවලත්, සේවය කරන්නවුන් හා යන්ත්‍රෝපකරණ ආදියත් එක්තැන්කොට එකම ගොඩනැගිල්ලක්තුළට ගෙන ඒම සඳහා ඔහු විසින් කොළඹ කොටුවෙහි විශාලවූත්, දර්ශනීයවූත්, රමණීයවූත් ලේක්හවුස් මන්දිරය ඉදිකරවන ලදී. යනුවෙන් සඳහන් වේ.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර මෙහෙවර ඉහත දැක්වූ කෙටි වදන් පෙළෙන් මැනවින් පැහැදිලි වන්නකි.

ඩී.ආර්.විජයවර්ධන ශී‍්‍රමතාණන් මුලික අධ්‍යාපනය කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය හදාරා අධිනීතිඥවරයෙකු ලෙස 1912 දී නැවත මෙරට ට පැමිණියේ ය. කොළඹ අධිකරණයේ දී කටයුතු කිරීමට පටන් ගත් ඩී.ආර්.විජයවර්ධන ශී‍්‍රමතාණන් වැඩිකල් නොගොස්ම අලුත්කඩේ නීතිඥවරු අතර පි‍්‍රයශීලි තැනැත්තෙක් විය.

විජයවර්ධන ශ්‍රීමතාණන් නීතිඥ කටයුතු අතහැර පුවත්පත් අයිතිකරුවෙකු වූ නමුත් ඔහු නීතිඥ වෘත්තිය හා සමීප සබඳතාවය නිරතුරුව ම තබා ගත්තේ ය.

පුවත්පත් බෙදා හැරීම සඳහා මේ රටෙහි පළමුවරට වෑන් රථයක් යෙදවූයේ ඩී.ආර්.විජයවර්ධන මහතා ය. වෑන් රියේ පැතිවල කහපාට වර්ණය යොදා ඒ මත ලොකු කළු වර්ණයෙන් දිනමිණ, ඩේලිනිව්ස් යන නම් ලියා තිබුණේ ය.

දිනමිණට, සිළුමිණත් එක්වීම සිංහල පුවත්පත් කලාවේ ඓතිහාසික සිද්ධියක් වන තරමට වැදගත් විය. සිළුමිණට පෙර මෙරට අංග සම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොතිබුණේ ය.

ඔබ්සවර් පත්‍රය ඇරඹීමෙන් මෙරට ප්‍රථම ඉරිදා ඉංගි‍්‍රසි පත්‍රයක් ඇති කළ විජයවර්ධන මහතා ප්‍රථම ඉරිදා සිංහල පුවත්පත ලෙස සිළුමිණ ආරම්භ කළේ එමගින් සිංහල පාඨකයන්ට කළ හැකි සේවය ගැන වූ අවබෝධය නිසා ය. සිළුමිණ ප්‍රථම කතුවරයා ලෙස පත් කරන ලද්දේ පියසේන නිශ්ශංක මහතා ය. එම පත්‍රය රටවැසියා පිළිගන්නා ලද්දේ ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ය.

මෙරට ඉංගී‍්‍රසි කියවන පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත ඩේලිනිව්ස් පුවත්පත මේ වසරේ දී සියවන සංවත්සරය සැමරීම ද ඓතිහාසික කරුණක් වනු ඇත.

ඩී.ආර්.විජයවර්ධන ශී‍්‍රමතාණන් ස්වකීය ධනය ආගම, දහම වෙනුවෙන් ද වැය කළේ ය. කොළඹ ගංගාරාමය, බම්බලපිටියේ වජිරාරාම ය ආදී විහාරස්ථානයන්හි ප්‍රධාන දායකත්වයක් දරා ඇත. බම්බලපිටිය වජිරාරාමයට එතුමා විසින් “මේ වජිරාරාමයෙහි දකුණු කෙළවර බද පර්චස් 37 ක පමණ වූ බිම් කොටස ඩී.ආර්.විජයවර්ධන අධිනීතිඥ තුමන් සඟ සතු කොට පුදමි. 1941 මාර්තු 01 යනුවෙන් ශෛලමය ස්තම්භයක සනිටුහන් කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ප්‍රබල සහායක් මෙන් ම අනුබලයක් සැපයූ ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන්ගේ එම සේවය සිහිපත් කරමින් ඩී.ආර්.විජයවර්ධන ශාලාව නම් කර ඇත.

එම විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සඳහා සංඝාරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ ය.

මෙරට බෞද්ධ ජනතාවට ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් ද අතිශය වැදගත් පොසොන් පොහොය ශී‍්‍ර සද්ධර්මය රැගෙන අනුබුදු මිහිඳු මා හිමියන් මිහින්තලා පුදබිමට වැඩම කළ උතුම් දවස ය. ඒ උතුම් ලංකාගමනය සිදු වු ඓතිහාසික පූජා භූමිය වන මිහින්තලා පුදබිමේ දී පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පොසොන් සමයේ දී 56 වන වතාවටත් අඛණ්ඩව පවත්වා ගෙන යාම ඉතිහාසගත වන කාර්යයකි.

ප්‍රථමයෙන්ම මිස්සක පව්ව ආලෝකවත් කිරීමේ කාර්ය ඉටුකරන ලද්දේ ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන් ය. එතුමන්ගේ අභිමතාර්ථය මස්තකප්‍රාප්ත කරමින් 1963 දී ලේක්හවුස් සභාපති පදවියට පත් රංජිත් විජයවර්ධන මැතිතුමන් විසින් මිහින්තලා පුදබිම විදුලි ජනක යන්ත්‍රානුසාරයෙන් ආලෝකවත් කිරීම ආරම්භ කෙරිණි.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]