UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන තැවෙන පාපය

දැවෙන තැවෙන පාපය

අපායගාමී වන පාපකාරීන්ට එයින් ගොඩ ඒම ලෙහෙසි පහසු නැහැ. එහි සා පිපාසාදී දුක, ඇඟ පත දැවෙන, තැවෙන, පිළිස්සෙන ස්වභාවය, වේදනාවෙන් විලාප නඟන හඬ සීමාවක් නැහැ. ගිනි ජාලාවන් මධ්‍යයේ වෙසෙන නිරි සතුන්ට තමන් පමණක් සිටිනා බව පෙනෙයි. අපායේ නිරි සතුන් කෑකෝ ගසන, විලාප නඟන හඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙයි. එය පසුගිය කාලයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වුණා. එක්තරා මැෂින් එකක් පොළොව යටට කිඳා බැස්සවූ විට, එහි විළාප නඟන හඬ සටහන් වුණා. ඒ අපායේ කෑ කෝ ගසන හඬයි. ඒ නිසා මේවා හොඳින් දැන කියාගෙන අපායට බියෙන් පාපයෙන් වැළකිය යුතුයි. අනේ! මින් මතු නම්, කිසිදු පාපයක් නොකරන බවට තමන් තමන්ගේ සිතට ම එබී බලා වැරැදි නිවැරැදි කරගත යුතු යි.

ඔසුපත් නරකයන් අතර අද අප සඳහන් කරන්නේ නවවන අපාය වන කුණ්ඩරීක නරකය පිළිබඳව යි. එහි සත්ත්වයන් විඳින දුක අසීමිත යි. ඔවුහු කායික, මානසික වශයෙන් අපමණ දුක් පීඩා විඳිති. එහි නිරි සතුන්ට ඇත්තේ ගිනිගෙන දැවෙන සිරුරු ය. එහි කෑගසන, විලාප නඟන හඬ නොනවත්වා ම ඇසෙයි. පව කෙතරම් බලවත් දැ’යි සඳහන් කළොත්, නිරි සතුන් කෙතරම් පිළුස්සුණත් මිය නොය යි. ඔවුන් ගිනිගෙන දැවෙන අවි ආයුධ වලින් පහර ලබයි. තමන් අතින් ද ගිනි ගෙන දැවෙන ශරීර ලෙස පිළිස්සී යයි. එය එතරම් ම භයානක අපායකි.

සඟ සතු ඉඩ කඩම්, සඟ සතු දේ විනාශ කළ පාපී පුද්ගලයන් මේ අපායේ දුක් විඳියි. පුරාතනයේ මුතුන් මිත්තන් පන්සලෙන් පිටතට වැලි ඇටයක්වත් ගෙනාවේ නැහැ. ඔවුන් පන්සලෙන් පිටතට පැමිණියේ පය පවා ගසා දැමීමෙනි. තුනුරුවන් සතු කිසිවක් තමා සන්තක කර ගන්නට හොඳ නැහැ. තුනුරුවන් සතු දේ ගිහියන් පරිහරණය නොකළ යුතු යි. ඒවා සැදැහැ සිතින් පූජා කර ඇත්තේ තුනුරුවන්ට පමණ යි. රාජ රාජ මහා මාත්‍යාදීන් පූජා කළ ඉඩ කඩම්, බොහෝ දෙනෙක් පරිශීලනය කර ඔවුන් කුණ්ඩරීක නරකයේ උපත ලැබුවා. අද වුව ද වෙහෙර විහාර සතු දේ පරිහරණය කරන්නන් සඟ සතු දේ අනුභව කරනවා නම්, ඒ අයත් උපත ලබන්නේ කුණ්ඩරීක නරකයේ ය. යම් දෙයක් ශාසනයෙන් ගත්තා නම් එවැනි දෙයක් විහාරයට පූජා කර සමාව ගත යුතු යි. එසේනම්, හොඳට මතක තබා ගන්න තුනුරුවන්ට පූජා කළ කිසිම දෙයක් පරිහරණය කරන්නට එපා.

සුචිරෝම, කරරෝම යක්ෂයන් වී උපත ලැබුවේ ද, ඉදි කටු වැනි සිරුරු ඇත්තෝ ද සඟ සතු දේ පරිහරණය කරන්නෝ ය. එසේනම්, මතක තබා ගන්න හැම ගමක ම වෙහෙර විහාර තිබෙනවා. ඒ විහාර භූමියෙන් පොල් ගෙඩියක්, දර කැබැල්ලක්වත් ඇහිඳා ගන්නට එපා.

මල් අත්තක්වත් කඩා ගන්නට එපා. එසේනම්, පුණ්ඩරීක නරකයට වැටී විඳින දුක දැන කියාගෙන එයින් නිදහස් වීමට තුනුරුවන්ට ගෞරව බහුමාන කළ යුතු යි. තුනුරුවන්ගේ ගුණ පැවසිය යුතු යි. තුනුරුවන් උදෙසා පූජා සත්කාර පැවැත්විය යුතු යි. ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න වගන්ති නිබඳව ම පැවැසිය යුතු යි. එවිට පුණ්ඩරීක නරකයෙන් නිදහස් විය හැකියි.

දහවන නරකය පදුම නරකය යි. එහි දිගු කලක් දුක් විඳින සත්ත්ව කොට්ඨාශ සිටිති. ලේ කිරි කර පොවා හැදූ වැඩූ පෙම්බර මෑණියන්ට, දෑතේ සවියෙන් ඇති දැඩි කළ පියාණන්ට කරදර කරන, පහර දෙන, නින්දා අපහාස කරන, තර්ජන ගර්ජන කරන්නන් උපත ලබන්නේ පදුම නරකයේ ය. එවැනි දරුවන්ට මරණ මංචකයේ දී ගිනි දැල් මැවී පෙනෙයි. අපායේ දී පවා අපමණ දුක් විඳියි. එසේනම්, හදා වඩාගත් මව්පියන්ට දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කළ යුතු යි. උපස්ථාන කළ යුතු යි, ආහාර පාන සපයා දිය යුතු යි. බෙහෙත් හේත් ආදිය සැපයිය යුතුයි. තම ආදර බර මව්පියන් දෙස කිසි විටකත් රවා බලන්නට එපා. එසේ කරන්නන්ගේ දෑස් අන්ධ වෙයි. මව් පියන් ඝාතනය කරන පාපතරයන් අවීචි මහා නරකයේ උපත ලබා දුක් විඳියි. අද ජන සමාජයේ බොහෝ දූ දරුවන් තම මව් පියන්ට කෑකෝ ගසමින් විවිධාකාර නුසුදුසු මාර්ග ඔස්සේ ගමන් කරයි. මව් පියන් සතු දේ පැහැර ගනියි. ඒ දරුවන්ට පරලොව පමණක් නොව මෙලොවත් දුක් ගෙන දෙයි. එසේනම්,සසර වසන තුරා මව් පියන්ට ඇප උපස්ථාන කළ යුතු යි. දිනපතා මව් පියන් නැමැඳිය යුතුයි. මිය ගිය මව් පියන්ට පින් දිය යුතු යි. තුනුරුවන්ට, මවට පියාට,ගුරුවරුන්ට සලකන පින ම තමන්ට නිවන් දකිනා තුරු සුගතියක උපත ලබන්නට හේතු වාසනා වේවි.

උදේ සවස තුනුරුවන් වැඳ නමස්කාර කර මල් පහන් පිදිය යුතුයි. තුනුරුවන් ගුණ නිබඳව ම පැවසිය යුතු යි. ලොවුතුරා බුදු දහමේ ඇති සත්‍ය, බලය තේරුම් ගෙන බුදු සසුනෙන් ලබාගත යුතු ගුණ සම්පත් ජීවිතයට සම්බන්ධ කරගෙන, මහා මංගල සූත්‍රයේ මංගල ධර්ම, දැන කියාගෙන එයට අනුකූලව කටයුතු කළ යුතු යි. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් සේ කරණීය ධර්ම දියුණු කළ යුතු යි. අනුන්ට උදව් පදව් කරමින්, සංසාර ගමන සුවපත් කරගෙන ඉතා ඉක්මන් භවයකදී ම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවන් සුව සලසා ගත යුතු යි.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]