UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නවම් පුර පසළොස්වක 2018.01.31

ගුණ දහම් නැවතත් ...

මිනිසෙක් වීම නිසා ලද වටිනාකම් බොහෝ වුව අද නිරන්තරයෙන් කතා බහට ලක් වන්නේ මේ සමාජයෙන්, ඒ වටිනාකම් නොවටිනාකම් ලෙස බැහැර වී යන බවටය. කාර්යාලයේ, වැඩබිමේ, ගොවිබිමේ, බස්රියේ, දුම්රියේ මේ සෑම තැනක ම, බහුල ලෙස ඇසෙන්නේ එවැනි චෝදනාවන් ම ය. කෙටියෙන් කියනවා නම් අනුන්ගෙන් වන අඩුපාඩුවට, නොහැකියාවට, වරදට නඟන චෝදනාවන් ය.

මේ අසුබවාදී දැක්ම අපේ හෙට දවසට සුබවාදී නොවේ. නොවටිනාකම් ඉස්මතු කර අනුන්ට චෝදනා නඟනවා වෙනුවට එක් මානුෂීය වටිනාකමක් හෝ දැනෙන් නට, ඉස්මතු කරන්නට, අගය කරන්නට හැකි නම් තවත් කෙනෙකුට නිවැරැදි වන්නට, හොඳ දෙයක් කරන්නට එය උත්තේජනයක් විය හැකි ය.

නොසැලකුම්, නොහැදියාවන්, අයුතුකම්, කො කටයුතුකම් ගැන කවුරුන් කෙසේ කීව ද, අප අතර වටිනාකම් ද තවමත් රැකී තිබේ. ඒවා නොපෙනේනේ, නොවැටහෙන්නේ නොපෙණුනා සේ සිටීම නිසා ය. පසුගියදාක එවැනි දුලබ දසුනක් නෙත ගැටුණි. ඒ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී ය. දුම්රිය වේදිකාවේ කුඩා පුස්තකාලයකි. පොත් රාක්ක මත පිළිවෙළට පොත් පත් අසුරා තිබුණි. කුඩා දරුවන් කිහිපදෙනෙක්, වැඩිහිටියන් කිහිප දෙනෙක් වේදිකාවේ හිඳ පොත් කියවමින් සිටියහ.

දුම්රිය පැමිණෙනතුරු නිරපරාදේ කල් නොමරා පොතක් කියවන්නට, පුවත්පතක් බලන්නට සැලසීම වෙසෙසින් කාලයේ හැටියට මා හැඟි අවස්ථාවකි.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනු කියමනකි. ‘ පොත් පත් අපේ මිතුරෝ ය’ යනු තවත් කියමනකි. අද බොහෝ දෙනෙක් තුළින් විශේෂයෙන් අපගේ සමහර පාසල් දරුවන්තුළින් පවා අසම්පූර්ණ බවක් හැඟෙන්නේ කියවන්නට පුරුද්දක් නැති නිසා වීමට පුළුවන. ආගමික පොතපත, සාහිත්‍ය කෘති පරිශීලනය අතීතයට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පවතින්නේ ය.

අවුරුදු තුන හතරක තරම් මෑත කාලයේ දුම්රියක දී බස්රියකදී නෙත ගැටුණේ පොතක් කියවන, පුවත්පතක් බලන ගැහැනුන්, මිනිසුන් ය. ඒත් අද ඒ තැන සිටින්නේ ජංගම දුරකථනය ය. ඊට වැඩිහිටි තරුණ මහලු භේදයක් ද නැත. යහපත් දේට පරිහරණය කරන්නේ නම්, එය අගනේ ය. ඒත් සිදුවනු පෙනෙන්නේ එය නොවේ.

පාළුව, තනිකම, හිස්බව ඇති තැන ඔවුන් එය පුරවා ගන්නේ බොහෝවිට සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීමෙනි. ඇතැම් කුඩා දරුවන්ට පවා අද ෆේස්බුක් ගිණුම් තිබේ. එහි වරද මග නොදැන යන ගමනක් වීම ය. බොහෝ දෙනෙක් මේවා පරිහරණය කරන්නේ වැරැදි ලෙස ය. මේවායේ පළවන බොහෝ දේ අසත්‍යය විය හැකි ය. විවිධ අනර්ථයන්ට ඇබ්බැහි කරවන දේ විය හැකි ය. එහෙත් ඒවාට වග කියන්නට කෙනෙක් නැත.

මේ ගැන මවුපිය, වැඩිහිටි, තරුණ, බාල සැම වහ වහ ාම හොඳ අවබෝධයකට පැමිණිය යුතුව තිබේ.

අපට විවේකය ගත කරන්නට, දැනුම උකහා ගන්නට, රස විඳින්නට, මානසික සුවය ලබන්නට හොඳ පොතපත ඕනෑතරම් තිබේ. උපන්දා සිට මිය යන තුරුම ජීවිතයේ විවිධ වූ ප්‍රශ්නවලට, ගැටලුවලට මුහුණ දෙන්නට අපට සිදුවේ. ඒ ලෝක ස්වභාවයයි. එය වෙනස් කරන්නට අපට නොහැකි ය. ඒත් පසුගාමී නොවී, ජීවිතයෙන් පලා නොගොස් ඒවා විසඳා ගන්නට ශක්තිමත් මනසක් ගොඩනඟා ගත හැකි ය. ඒ සඳහා පොතපතතුළින් ලැබෙන ආදර්ශය සුළුපටු නොවේ.

හොඳ චරිත කතාවකින් කියැවෙන ගුණ නැණ, මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය, හොඳ නරකතුළ වන දෝලනය, නරක පැරදීම, හොඳ ජය ගැනීම, වීරත්වය, මනුස්සකම, සංවේදී බව, යුතු අයුතුකම්, ජීවිතයට මුහුණදීම, වීරත්වය, ධෛර්ය, උත්සාහය, කැපවීම කියවන්නා නොදැනුවත්ව ම තමන්ගේ ජීවිතයට ද ආදේශ කර ගන්නේ ය.

බෞද්ධයන් ලෙස නම්, අපට මාහැඟි බෞද්ධ සාහිත්‍යයක් තිබේ. කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධයින් දක්වා ම, මිය යන මොහොත දක්වා ම ගත හැකි ආදර්ශ අපමණ එහි තිබේ. වෙසෙසින් ජාතක කතා පොත් වහන්සේ තුළ අන්තර්ගත කතාවලින් දෙන ජීවිතාදර්ශය, ජීවිතාවබෝධය අවුරුදු සිය ගණනක් ජීවත්වීමෙන් වුව අපට ලබාගත හැකි නොවේ.

මේ නිසා නැවත කියවීමට හුරු සමාජයක් බිහි කළ යුතුව තිබේ. එවිට සෝදා පාළුවට යන අපේ ගුණධර්ම නැවත ළං කර ගැන්ම අපහසු වන්නේ නැත. පෙර කී දුම්රිය ස්ථානයෙහි පුස්තකාලය එවැනි උත්සාහයක් යැයි සිතේ.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]