UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපතින් වහන්සේ ලෙස අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි මහා නා හිමියෝ පත්වූහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙසැම්බර් 29 වන දා පැවැති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රමුඛ නියෝජිත සංඝ සභාවේ දී මෙසේ පත්වූහ.

කෑගල්ල දිසාවේ ගන්තුන ග්‍රාමයේ බෞද්ධ මහෝපාසික දම්පතින්ගේ පුත්රුවනක් ලෙස 1942 දී මෙලොව උපත ලැබීය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා 1956 නොවැම්බර් 12 වන දා අලපලාවල මහින්දඤාණ තිස්ස අනු නා හිමියන්ගේ සහ මඩවල ආනන්ද ඤාණතිස්ස නා හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස එම කුමරුවා පැවිදිබිමට පත් විය.

මූලික බණ දහම් හදාළ උන්වහන්සේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනින් සහ හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගත්හ. එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ලැබූ උන්වහන්සේ තමන් වහන්සේ ලත් ධර්ම ශාස්ත්‍රීය ඤාණය අනාගත පරපුරට ප්‍රදානය කරමින් පාසල් ආචාර්යවරයකු සහ කථිකාචාර්යවරයකු ලෙස උදාර මෙහෙවරක් සැලසූහ. ඒ අතර කඳුරට මහා විද්‍යාලයේ සහ මීරිගම බෞද්ධ ගුරු විදුහලේ කථිකාචාර්යවරකු ලෙස ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස ද උදාර ශාස්ත්‍රීය මෙහෙවරක් සිදු කළහ.

ඉතා සරල බසින් දහම් දෙසීමෙහි වාසනා ගුණයෙන් යුක්ත ගන්තුනේ අස්සජි මහා නාහිමියන් වහන්සේ ග්‍රන්ථ රැසක් ද සම්පාදනය කර ඇත. දහම් පාසල් විෂයමාලා සංවර්ධනය කරමින් පාඨ ග්‍රන්ථ සම්පාදනය කිරීම ආදී විවිධ ක්ෂේත්‍ර මඟින් අස්සජි මහා නාහිමියන් ආදර්ශවත් මෙහෙවරක් දැනුදු සිදු කරමින් සිටී.

ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බහුශ්‍රැත ධර්ම විනයධර මහ තෙරනමක් ලෙස ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදයට පාත්‍රව වැඩ වෙසෙන සංඝ පීතෘන් වහන්සේ නමකි. මහා නා හිමියන් විවිධ ආයතනවල විවිධ සංවිධානයන්හි විවිධ නිලතල හොබවමින් නිහඬව මහ මෙහෙවරක් සලසන යතීන්ද්‍රයන් වහන්සේ නමක් ද වේ.

දුටුවන් පහදවන අපූර්ව වාසනා ගුණයකින් හෙබි ගන්තුනේ අස්සජි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ චිරස්ථිතියටත් පෝෂණයටත් දශක ගණනාවක් පුරා මෙසේ නිහඬ මෙහෙවරක් සිදු කර ඇත.

සම්බුදු සසුන් කෙත බබළවමින් තව තවත් ලෝ සසුන් වැඩ සලසන්නට අභිනව සභාපති ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවා.

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]