UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසු පස එන කළ කම්

පසු පස එන කළ කම්

“මේ අප ලබා උපන් හැටි යැ” යි පසුතැවිලි වන්නෝ බොහෝ වෙති. මේ ලෝක වශයෙන් හෝ පරලෝක වශයෙන් දියුණුවට මෙන් ම අභ්‍යන්තර ගුණධර්ම දියුණුවට වෑයම් නො කරති. පෙර කර්මය මේ යැයි සිතා පසුතැවිලි වීම නුවණැත්තාගේ ක්‍රියාවක් නොවේ.

ඉපදෙමින් මියයන, නැවත ඉපදෙන කෙළවරක් නැති සංසාර ගමනේ දී සත්ත්වයා විසින් කරන ලද කුසල කර්ම අපමණ විය හැකි ය. ඒවා අළු යට පවතින ගිනි පුපුරු සේ යටපත් වී තිබේ. පෙර සිදු කරන ලද කුසල කර්මයන්හි විපාකයන් මතු කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයක් මෙන් ම ප්‍රඥාවක් අවශ්‍යය ය. සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන් කෙරෙන අකුසල කර්මවලින් වැළකී සුචරිතයෙහි පිහිටා ගුණ නුවණින් යුතුව උත්සාහයෙන් කටයුතු කරන්නේ නම් පෙර සසරේ කරන ලද කුසල කර්මවල ප්‍රතිඵල නෙළා ගැන්ම අසීරු වන්නේ නැත.

එදා බුදුරදුන් දවස භික්ෂූහු ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේ හා අසූ මහ සවුවන් දැක වැඳ පුදා චක්ඛුපාල තෙරුන් වහන්සේ දකින්නට යෑමට සූදානම් වූහ. එවේලේ මහ වැස්සක් ඇද හැළුණි. ඒ හේතුවෙන් භික්ෂූහු ඒ ගමන නවතා පසු දා චක්ඛුපාල තෙරුන් වහන්සේ බැහැ දැකීමට ගියහ. ඒ මොහොතෙහි චක්ඛුපාල තෙරුන් වහන්සේ සක්මන් භාවනාවෙහි යෙදී සිටියහ.

වැස්ස නිසා සක්මන් මළුව කුඩා පණුවන්ගෙන් ගහණ විය. මේ පණුවන් පාගමින් චක්ඛුපාල තෙරුන් සක්මන් කළහ. බොහෝ පණුවෝ ද මරණයට පත්වූහ. සක්මන් මළුවේ මළ පණුවන් දුටු භික්ෂුහු චක්ඛුපාල තෙරුන් වහන්සේ පණුවන් ම¼ඩිමින් සක්මන් කර බොහෝ පණුවන් මැරූ බව බුදුරජාණන් වහන්සේට සැළ කළහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ රහත් වූවනට මරණ චේතනා නැතැයි වදාළහ.

රහත් වන්නට නිසි පින් ඇතත් ඇස් අන්ධ වූයේ කුමන හේතුවකින් දැයි භික්ෂූහු විචාළහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ චක්ඛුපාල තෙරුන් වහන්සේ අතීතයේ දී කළ පාප කර්මය හෙළි කරමින් අතීත කතාව වදාළ සේක. පෙර බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙකු රජකම් කරන කල එක් වෛද්‍යවරයෙකු ගමින් ගමට ගොස් ඇස් රෝගවලින් පෙළෙන්නවුනට වෙදකම් කළේ ය. මේ ආකාරයෙන් වෙදකම් කරන කල්හි එක් දවසක් ඇස් රෝගයකින් පෙළෙන ස්ත්‍රියක දැක පොරොන්දුවක් පිට වෙදකම් කළහ. ‘මගේ ඇස් සුව කළ හොත් මේ දූදරුවන් සමග දාසියක් වන්නෙමි’යි ඇය කීවා ය. වෛද්‍යවරයාගේ එක බෙහෙතෙන් ම ඇගේ දෑස් සුව විය. වෛද්‍යවරයා පැමිණ ගුණාගුණ විචාළ කල්හි ස්ත්‍රිය පොරොන්දුව ඉටු කරන්නට සිදු වන නිසා බෙහෙත් ගැල්වූවාට පසු තමාගේ ඇස් පෙරටත් වඩා නරක යැයි පිළිතුරු දුන්නා ය. මේ ගැන දැනගත් වෛද්‍යවරයා ඇගේ ඇස් අන්ධ වීමට බෙහෙතක් දුන්නේ ය. බෙහෙත් ගැල්වූ පසු පහනක් නිවී ගියාක් මෙන් ඇගේ ඇස් අන්ධ විය. එදා වෛද්‍යවරයා නම් දැන් මේ චක්ඛුපාල තෙරුන් වහන්සේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සිත, කය, වචනය යන තුන් දොරින් යම් අකුසල කර්මයක් කෙරේ ද, ඒ කළා වූ අකුසල කර්මයෙහි විපාකය ගැල අදින්නා වූ ගොනුගේ පය අනුව ගමන් කරන කරත්ත රෝදය මෙන් ඒ අකුසල කර්මය කරන තැනැත්තාගේ පසුපස ගමන් කරන්නේ ය.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]