UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

උඳුවප් අමාවක 2017.12.17

දහමට සමීප වන්න

සුචරිත ධර්මයෙහි හැසිරීමට යුහුසුළු වියයුතු බවත්, සිත පවින් වළක්වා ගත යුතු බවත්, පින් කිරීමට පසුබට වන පුද්ගලයාගේ සිත පාපයෙහි ම ඇලෙන බවත් ධම්ම පදයේ පාප වග්ගයෙහි උගන්වා ඇත. බොහෝ වැරැදි දේ, අයහපත් දේ සිදුවන්නේ ඒ යුහුසුළු බව නොවන නිසා ය. මවුපියන් නොසලකාහැරීම, අඹු දරුවන්ට නොසැලකීම, වැඩිහිටියන් නොතැකීම, ඇතුළුකොට වූ පිරිහුණු ගුණ ධර්ම සමාජය පුරා ව්‍යාප්ත වන්නේ, ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාම සේවනය, බොරුව, සුරාව වැනි දුශ්චරිත සිදු වන්නේ සුචරිත ධර්මයෙහි ප්‍රමාද වීම නිසා ය. බුදුන්, දහම්, සඟුන් සරණ ගිය සමාජයක එවැනි දුශ්චරිත කිසිසේත් ම ඇස ගැටිය යුතු, අත් විඳිය යුතු දේ නොවේ.

එහෙත් එවැනි විපරීතකම් සමාජයෙන් නිරන්තර ඇස ගැටේ. ශ්‍රවණය ද වේ. බෞද්ධ සමාජයක සහනශීලීබව මිස අසහනය, අයහපත රජ විය යුතු නොවේ. හැදියාව, සංවරකම, බෞද්ධකම නාමයෙන් නොව ක්‍රියාවෙන් දර්ශනය විය යුතු වේ. ජාතියෙන්, කුලයෙන්, ධනයෙන් හෝ බලයෙන් මිනිස්කම නොමිනිය හැකි වේ. හැසිරීමෙන්, ක්‍රියාවෙන් ම මැනිය හැකි වේ. මිනිස්කම හඳුනන මිනිසා පව්කාර සිතිවිලි බැහැරලයි. සුචරිතයෙහි ම අනලස් වෙයි. පිනට මිස පවට බර නොවෙයි.

සුචරිත ධර්ම නම් යහපත් ගුණ ධර්මයි. තමන්ට යහපත ලබාදෙන, අනුන්ගේ ද යහපත සලසන දේ ම කිරීමයි. ඉදිරිය තීරණය කරන්නේ මේ යහපතෙහි හෝ අයහපතෙහි ඵලයයි. එනම්,

මේ ජීවිතයේත්, මරණින් මතු ජීවිතයේ ත් දුක හෝ සැප තීරණය කරන්නේ අප කරන කුසලා කුසල කර්මයි. බොහෝ අය වරදෙහි යොමු වන්නේ කර්ම ඵලය විශ්වාස නොකිරීම නිසා ය. එක්කෝ, ඒ ගැන තැකීමක්, සැලකීමක් නොකරන නිසා ය. දාන, ශීල භාවනා ආදියෙහි පල දීම මෙලොවට නොව, එලොවට පමණක් බව ඇතැම් අය කල්පනා කරන බව ඇසෙන පෙනෙන බොහෝ ක්‍රියාකාරකම් පෙන්වා දෙයි. අද කා බී, විනෝද වී හෙට මිය ගියත් කම් නැති බව තව කෙනෙක් සිතති. වැරැදිවලට පොළඹවන්නේ බොහෝවිට මෙවන් වූ වැරැදි ආකල්පයන් ය.

අපට ජීවිතය හසුරුවා ගන්නට, වැඩ දායක කර ගන්නට අපූර්ව ධර්ම මාවතක් බුදු දහම පෙන්වා දී තිබේ. ඒ දහම සදාකාලිකව ම යහපත් දේ සිතන්නට, යහපතෙහි ම යෙදෙන්නට උගන්වන දහමකි. තමන්ට විපතක් වන, අනුන්ට විපත් වන දේ එහි කිසිදු තැනක ඉගැන්වෙන්නේ නැත. අපට ඇවැසි එවැනි ජීවිතයක් ම නොවේ ද? සාමයෙන්, සතුටින්, නිදහසින් ජීවත්වීම අප හැමගේ ම ප්‍රාර්ථනාව ය. ඒ ප්‍රාර්ථනාව අර්ථවත් වන්නේ පෞද්ගලික වන තරමට නොව පොදු වූ ප්‍රමාණයටය. සියල්ලෝ ම දුකසේ නොව සැපසේ ජීවත් විය යුතු ය. සතුටින්, සහනයෙන් ජීවත්විය යුතු ය. එවැනි සමාජයක් නොවේ යැයි, මිනිස්සු විපරීත යැයි අනුන්ට දොස් පැවරීමෙන් හෝ ඇඟිල්ල දිගු කිරීමෙන් හෝ පශ්චත්තාප වීමෙන් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙයි. තම තමන් ඒ වෙනුවෙන් හැඩ ගැසිය යුතු වෙයි. පෞද්ගලිකව තම තමන් ගුණ ධර්මයන් හි හැසිරෙනවා නම්, තමන්ගේ පවුල තුළ ඉන් බැහැර ගම, රට තුළ නිසැකව ම ඒ පරිවර්තනය වනු ඇත.

මිනිසුන් වන අපගේ සිත නිතර සෙලවෙයි. විටෙක පවට බරවෙයි. පිනට ද බරවෙයි. විටෙක පින් සිත පරදා පව් සිත ජය ගනියි. පව් සිත පරදා පින් සිත ජය ගනියි. පවට බරවෙන සිත දමනය කර ගන්නා ආකාරය, ඒ සඳහා සිත දියුණු කර ගන්නා ආකාරය බුදු දහම අපට උගන්වයි. ඒ දහම් කරුණු දැන ඉගෙන ගන්නට නිරන්තර බණ දහම් ශ්‍රවණය කළ යුතු වෙයි. දහම් පොත පත පරිශීලනය කළ යුතු වෙයි. මනා වූ අවබෝධය ද එහි දී ඉතා වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිතිවිලි උපදින්නට උදවු කරන්නේ අපගේ ඇස, කන, නාසය, දිව ශරීරය ආදී වූ ඉන්ද්‍රියයන් හා ගැටෙන අරමුණු බව ය. ඒ අරමුණු දුර්වල නම්, අයහපත් නම් උපදින සිතිවිලි ද එවැනි ම ය. දැඩි රාගය, ද්වේශය, මෝහය අපගේ හැසිරීම වඩාත් පහත් තැනකට ඇද දමයි. අමනුෂ්‍යයන් බවට පත් කරයි. ශ්‍රී සද්ධර්මය, ඒ දුර්වල හැසිරීම් මග හරවා ගන්නට මග අපට වටහා දෙයි. ධර්මය ඇසුරු කොට, ධර්මයට සමීප වීමට උත්සාහ කරනවා නම් ගුණ යහපත් සමාජයක් උදාකරගැන්ම අසීරු වන්නේ නැත.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]