UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කනංකේ විමලඤාණ හිමි

කනංකේ රාජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව, ශ්‍රී විජයාරාමය යන විහාරත්‍රයාධිපති කනංකේ රාජමහා විහාර පරිවේණාධ්‍යක්ෂක ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ මාහිමිපාණන් වහන්සේට අසූ එක් විය සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට ආශීර්වාද කිරීමේ පින්කම් මාලාවක් ඔක්තෝම්බර් මස 2 වන දින සිට 6 වන දින දක්වා නිමලව ශ්‍රී විජයාරාමයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මාතර දිසාවේ වැලිගම් කෝරළයට අයත් කනංකේ ගම නිජබිම කරගෙන 1936 ඔක්තෝබර් 06 වන දින ජන්ම ලාභය ලැබූ මෙම පින්වත් කුමරු අගලකඩ සඟ පරපුරට අයත් කනංකේ රාජමහා විහාරස්ථානයේ දී 1949 මාර්තු 10 වන දින කනංකේ විමලඤාණ නමින් සසුන් ගත විය. එවකට කනංකේ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේ හා පැනෑටියන ශ්‍රී චේතියාරාමාධිපති පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විමලඤාණ හිමියන්ගේ පැවිදි ගුරු හිමිවරු වූහ. ශාසනික ජීවිතයට අවශ්‍ය මූලික අධ්‍යාපනය තම ගුරු හිමිවරුන්ගෙන් ලබා ගත් විමලඤාණ හිමියෝ අකුරැස්ස ගොඩපිටිය ජේතවන මහා පිරිවන මඟින් ධර්ම විනය හා භාෂා ශාස්ත්‍ර පිළිබඳ දැනුම ලබාගෙන 1957 ජූනි 05 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ගත්හ. 1958 දී කළුතර කටුකුරුන්ද ගුරු විද්‍යාලයට තේරී පුහුණු ගුරුවරයෙකු ලෙස අහංගම නාපිරිත්තගොඩ සමාගම් පාසලෙන් ගුරු සේවයට ඇතුළත්ව අම්පාර කැප්පිටිපොල මහ විදුහල, අම්පාර මහ විදුහල, කොස්ගම සාලාව අකරවිට මහ විදුහල, ජයවර්ධන පුරකෝට්ටේ පිරිමි විදුහල, කොළඹ ලුම්බිණි විදුහල, ඉමදූව බටේමුල්ල ජාතික පාසල ආදී විදුහල් කීපයකම ගුරුවරයෙකු වශයෙන් කර ඇති අධ්‍යාපන සේවාව සුළු පටු නොවේ. ගුරු සේවයේ යෙදී සිටියදී ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද හිමිකර ගත්හ. තම ගුරු හිමිවරුන්ගේ අපවත්වීමෙන් පසු විහාරස්ථාන කිහිපයකම විහාරාධිපති ධූරයට පත් වූ විමලඤාණ හිමියෝ එම විහාරස්ථානවලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කළහ. පෞරාණික වටිනාකමට හානියක් නොවන ලෙස කනංකේ රාජමහා විහාරස්ථානය රමණීය පින් බිමක් බවට පත් කිරීමට උන්වහන්සේ සමත් වූහ. කනංකේ ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදුව කලක් අක්‍රියව පැවැති කනංකේ රාජමහා විහාර පිරිවෙන 1992 සැප්තැම්බර් 02 වන දින නැවත ආරම්භ කළ අතර එය අද වන විට ප්‍රදේශයට ඉමහත් සේවාවක් සපයන කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත්ව ඇත.

කනංකේ රාජමහා විහාරයට අයත් වන පැනෑටියන ශ්‍රී චේතියාරාමය හා නිමලව ශ්‍රී විජයාරාමයද අභාවයට යාමට නොදී සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබීම ද අගය කළ යුත්තකි. විහාරස්ථානවල ආරම්භ කරන ලද දහම් පාසල් මගින් ප්‍රදේශයේ දරු දැරියන්ට විපුල සේවාවක් සිදුවෙයි. ශාසනයේ උන්නතිය වෙනුවෙන් උගත් ක්‍රියාශීලී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප නමක් ම විමලඤාණ හිමි විසින් ශාසනයට දායාද කර ඇත. කනංකේ විමලඤාණ මාහිමිපාණන් වහන්සේගේ ශාසනික ජීවිතය ඉතා ආදර්ශ සම්පන්නය. ගැඹුරු දහම් කරුණු ඉතා සරල ලෙස දේශනා කිරීමේ විශේෂ හැකියාවක් ඇති අතර ඉතිහාසයේ සුවිශේෂ අවස්ථා හා පුද්ගලයන් පිළිබඳ විමලඤාණ හිමිපාණන් වහන්සේ තුළ පවතින මතකය ද පුදුම සහගතය. විහාරස්ථාන හා දායක දායිකාවන්ගේ බොහෝ වගකීම් තම ශිෂ්‍ය හිමිවරුන්ට පවරා දැනට විවේක සුවයෙන් වැඩ සිටින කනංකේ විමලඤාණ මාහිමිපාණන් වහන්සේට සෙත් පැතීම හා අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම නිමිති කරගෙන ලබන මස 02 වන දින සිට 06 වන දින දක්වා කනංකේ නිමලව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වෙයි. වීරපානේ චන්දානන්ද, අගලියේ සද්ධාසීල, දහම්පහළ බුද්ධ සිරි හිමි ප්‍රධාන විහාරවාසී හිමිවරුන්ගෙන් ද දායක දායිකාවන්ගේ ද සහයෝගයෙන් නිමලව ශ්‍රී විජයාරාමාධිකාරී කනංකේ සරණ හිමියන් විසින් මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

කනංකේ විමලඤාණ මාහිමිපාණන් වහන්සේට දිගාසිරි හා නීරෝගී සුව පතමි.

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]