UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

වප් පුර අටවක 2017.09.28

වරදින්නට පෙර නිවැරැදි වීම...

ගැටලු නිරාකරණය කරගන්නට නම් යහපත් මානසිකත්වයක් ඇවැසි ය. ලෝ දහම හමුවේ මුහුණ දෙන්නට වන කරදර, බාධක, කම්කටොළු මැද සඵල ජීවිතයක් ගත කළ හැකි වන්නේ එවිට ය. ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ තමන් තුළ විනයක්, ශික්ෂණයක් ඇති කර ගැනීම ය. ඕනෑම දෙයක් පිළිබඳ සිතා මතා කටයුතු කරන්නේ එවැනි පුද්ගලයා ය.

බොහෝවිට අප වෙතින් වැරැදි සිදු වන්නේ දෙතුන් වතාවක් තබා එක් වරක් හෝ නොවිමසා කරන ක්‍රියාවන් නිසා ය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පළක් නොවන්නා සේ, වරදක් වන්නට පෙර නිවැරැදි නොවූයේ නම් මුහුණ දෙන්නට වන ප්‍රශ්න බොහෝ ය. මනුෂ්‍යයාට උසස් මනසක් ලැබී තිබෙන්නේ හොඳින් සිතා බලා කටයුතු කරන්නට ය. තමන්ට, අනුන්ට, ජීවත්වෙන පරිසරයට පහසුවක් ලැබෙන ලෙස, හානියක් කරදරයක් නොවන ලෙස හැසිරෙන්නට දන්නේ නැති නම් එතැන සදාචාරයක් වේ යැයි සිතිය නොහැකි ය. එවන් වූ අවිචාරවත් හැසිරීම් මනුෂ්‍යයකුට තරම් නොවේ. විනය, ශික්ෂණය සහ සිතාබලා කටයුතු කිරීම ගැන නිරන්තරයෙන් සිහිපත් කළ යුතුව ඇත්තේ එවන් යහපත් මිනිසුන් බොහෝ දෙනෙක් අතර තවමත්, තමන් ගැන පමණක් සිතා, නොදැනීම තමන්ට ද දැන අනුන්ට ද අනර්ථ කරන ස්වල්පයක් දෙනා ඇති බැවිනි.

කිරි කළයකට ගොම බිඳක් මුසු කළේ නම් කිරි කළය ම නිශ්ප්‍රයෝජන වන්නා සේ එවැනි සුළු පිරිසකගේ ක්‍රියා කලාප නිසා සමස්ත සමාජටම ආදීනව විඳින්නට වීම එහි ඇති අනර්ථයයි. වැසි පොදක් වැටුණු සැණින් තවමත් හිස ඔසවන ඩෙංගු රෝගය ඒ අවිචාරවත් බවේ එක් ප්‍රතිඵලයක් යැයි සිතීමට පුළුවන. සන්නිවේදන මාධ්‍ය දියුණු මේ තරම් කාලයක, මදුරු ගහණය වළක්වා ගත හැකි ක්‍රම ගැන තොරතුරු බෙදා හරින කාලයක ඒ ගැන ඇහැ කන පියාගෙන සිටිනවා පමණක් නොව මදුරු වර්ධනයට අවශ්‍ය වටපිටාව සැකසීම ද තවමත් ඇතැම් මිනිසුන් වෙතින් දැක ගන්නට ලැබීම අභාග්‍යයක් මිස අන් කවරක්දැයි සිතීමට නුපුළුවන.

මුළුතැන්ගෙයි ඉවතලන අනේක අප ද්‍රව්‍ය තවමත් ගම්බද මාර්ගයන් හි පවා තැනින් තැන ගොඩ ගසා තිබීම, දුර්ගන්ධය හමායාම ඊට සාක්ෂි දරයි. දිරන කසළ හා නොදිරන කසළ ලෙස වෙන් කොට නියමිත පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් රජය මගින් හඳුන්වා දී තිබීම වැදගත් පියවරකි. ඒ ගැන නිරන්තර දැනුම්වත් කිරීම් ද සිදු කෙරෙන්නේ ගොඩ ගැසෙන නොදිරන කසළ කඳු නිසා මිනිස් ප්‍රජාව ඇතුළු පරිසරයට වන හානිය ප්‍රමාණය කළ නො හැකි බැවිනි. එහෙත් පිරිසක් ඊට ද අනුගත වන බවක් නොපෙනේ. අද කුඩා දරුවෙකුට පවා ඒ අර්ථය වටහා ගන්නට අසීරු නොවුණ ද ඔවුන් ද අනුගමනය කරන්නේ ඇසෙන පෙනෙන දේ බව වැඩිහිටියන් මතකයට ගැනීම වැදගත් වේ.

දුම්රියක, බස්රියක ආහාරයට ගන්නා රටකජු දවටනය, කඩල දවටනය ඇතැම් වැඩිහිටියන් ජනෙල් කවුළුවෙන් ඉවතලන්නේ දරුවා ද බලා සිටිය දී ම ය. එක්කෝ එය ඉවතලන්නට දෙන්නේ දරුවාගේ අතටම ය. මෙසේ ඉවතලන දවටනය තුළ පවා එකතුවන ජල බිඳු කිහිපය වුව ඩෙංගු මදුරුවාට වර්ධනය වන්නට වාසස්ථානයක් වීමට පුළුවන. මාර්ගය අසල ජීවත්වන කාට හෝ ඒ මදුරුවා දෂ්ඨ කරන්නට ද පුළුවන. ඩෙංගු රෝගියෙක් වන්නට පුළුවන. පුංචි දරුවා ද, වැඩිහිටියා ද, මහල්ලා ද කියා එහි තෝරා ගැනීමක් නොවේ.

දැන් වැසි කාලය ආරම්භ වී තිබේ. තමන් තමන්ට අවංකව අවට පරිසරය, මතු නොව යන එන හැම තැනක ම පරිසරය ආරක්ෂා කර ගන්නට කැපවිය යුතු වේ. එවිට බොහෝ වසංගත රෝග වළක්වා ගැනීම අපහසු නොවනු ඇත.

අප ආහාර ද්‍රව්‍ය සමඟ ඉවතලන පොලිතින් වැනි දවටන සමඟ ගොඩ ගැසෙන කසළ කඳු අසල ආහාර සොයන අලි ඇතුන් ගේ සිට පරිසරය පිරිසුදු කරන්නට දායක වන කබරුන්, කපුටන් ගේ ජීවිත ද සිරුරට අහිතකර පොලිතින් වැනි දෑ නිසා විනාශයට පත්වීමට ඉඩ ඇත. ඒ ගැන ද සිතිය යුතු ය. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා යි මෛත්‍රී සිතිවිලි ඇති කර ගනිමින් ඊට අවශ්‍ය පරිසරය සැකසීම ද යුතුකමකි. ධම්මපදයේ බාල වග්ගයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ යමක් සිදු කොට එහි විපාක නැවත සිහි කිරීමේ දී සතුටුවිය නොහැකි නම් එවැනි චර්යාවත් නිවැරැදි නොවන බව ය. තමන්ට තමන් කරන සුළු දේ වුව හොඳින් සිතා බලා කරන්නට හැකි නම් වරදින් මිදීම අපහසු නොවනු ඇත. එවිට තමන්ගේ මනස නිරවුල් වන්නේ ය. ජීවිතය සඵල වන්නේ එවැනි පුද්ගලයන්ගේ ය.

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]