UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තාරුණ්‍යයට වගකිව යුතු වැඩිහිටි පරපුර

තාරුණ්‍යයට වගකිව යුතු වැඩිහිටි පරපුර

ජීවිතයෙහි යාම තුනක් ඇති බවට බණ පොතේ සඳහන් වෙයි. බාල අවධිය , තරුණ අවධිය , මහලු අවධිය වශයෙන් එම අවස්ථා තුන හඳුනාගත හැකිි යි. තමා තමාට ආදරේ නම්,තමා තමාට හිතවත් නම්,තමා තමාගේ ජීවිතයේ අනාගත දියුණුව,සැනසිල්ල, අභිවෘද්ධිය පිළිබඳ ව සිතා කටයුතු කර,කායික, මානසික, සාමාජික වශයෙන් පුද්ගලයෙකු ජීවිතයෙහි එක් අවධියකදීවත් ශක්තිමත් විය යුතුයි. ළමා කාලය අපොහොසත් වූවා නම්, තරුණ වයසේ දී හෝ වැඩිහිටි වයසේ දී හෝ එම තත්ත්වයට පත්විය යුතුයි.

ජීවිතයෙහි අවධි තුනෙන් ඉතා ප්‍රබෝධමත්,කායික ,මානසික වශයෙන් ශක්තිමත් වූ වැදගත් අවධිය තරුණ අවධිය යි.අපේ රටේ තරුණ පිරිස සියයට සියයක් ම විශාල ආගාධයකට පත්ව,සියලු දෙනා ම මත් උවදුරට ගොදුරුව , සියලු දෙනා ම මානසික රෝගීන් ව අසහනයෙන් පීඩා විඳින බවට ප්‍රකාශ කළ නොහැකියි. ඉතාම කාර්යශූර, ප්‍රබෝධයෙන් ,උද්‍යෝගයෙන් කටයුතු කරන යෞවන පිරිස් ඕනෑතරම් දැක ගත හැකියි. ඇතැම් තරුණයන් රජයේ හා පෞද්ගලික ආයතන ඉතාම හොඳින් ඵලදායක ආකාරයෙන් කළමනාකරණය කරමින් කටයුතු කරයි.

ඒ අතර යෞවන මදයෙන් මත් ව විකෘති ආකාරයෙන් කටයුතු කරන ඇතැම් පිරිස් ද දැකිය හැකියි. තාරුණ්‍යයේ දී යෞවනයෙන් මත්වීමත් එම වයසෙහි ආඩම්බරකමත් වැඩි වශයෙන් පවතී. තමාගේ හැඩරුව ප්‍රදර්ශනය කිරීමට විශේෂ කැමැත්තක් දක්ව යි. තමන් සියලු දේ දැනුවත් බවට සිතයි.

තාරුණ්‍යයේ මත්වීමත් සමඟ තරුණ සිතේ ශක්තිමත් බවත්, දෑතේ ශක්තිමත් බවත්, අතිපණ්ඩිතකමත්, හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරීමත් , නිසා සියලු සීමාවන් බිඳගෙන යාමට උත්සාහ කරයි. ධර්මානුගත ව ඇසූ පිරූ තැන් නැති තරුණයන් සිතින්, කයෙන්, වචනයෙන් වැරැදි කිරීමට පෙළඹෙයි. වැරැදි මාර්ගය, නිවැරැදි මාර්ගය ලෙස දකින්නට උත්සාහ කරයි. චරිතය සුචරිතය ලෙස දකී. සාර දේ අසාර දේ ලෙස දකී. වැරැදි මාර්ගය නිවැරැදි මාර්ගය ලෙස තර්ක ගොඩනඟමින් වැරැදි මාර්ගයෙහි ම ගමන් කරයි.තමන්ගේ මතයෙහි ම එල්බ ගනී.

බුද්ධ කාලයේ එක්තරා ධනවත් සිටුවරයෙකුගේ පුත්‍රයෙක් මද්‍යසාර භාවිතයට පෙළඹීමත් සමඟ පරම්පරාගත වස්තුව විනාශ කරගනිමින් මහපාරට වැටෙන තැනට පත්ව ඇත.

තරුණ බව වටිනාකම ප්‍රකාශ කළ නොහැකි තරම් වටිනා දේපළක් බවත්, සුචරිතයෙහි නොහැසිරීමෙන් තමාගේ කායික මානසික ශක්තිය පිරිහී එම තරුණයා විනාශ වූූ බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. පැහැදිලි ව ජලය පිරී තිබුණ විලක මාළු පිරී සිටියත් ,ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන පොකුණ හිඳී ගියවිට පොකුණ ළඟ හිඳ කල්පනා කළාට කොකාට ඇති ඵලක් නැත.

තරුණ අවධියෙහි ලැබිය යුතු ආර්ථික සාමාජික සම්පත් රැ්ස්කර නොගෙන තරුණකම නමැති ධනය විනාශ කරගනිමින් පොකුණ දෙස බලගෙන සුසුම් ලන කණ කොකාමෙන් තරුණ අවධිය අකාලයේ ගතකරමින් යෞවන මදයෙන් මත්ව කණ කොකාගේ තත්ත්වයට පත්ව සිටීමට හේතුව කුමක් ද? සමාජ ප්‍රශ්න ඇති වීමට හේතු ප්‍රත්‍ය,සමාජ අසහනය ඇති වීමට හේතු ප්‍රත්‍ය සොයමින් ඒවාට විසඳුම් සෙවීමට වැඩිහිටියන් ක්‍රියා කළ යුතු ය. තරුණ පිරිස් අතර යම් අසහනයක් , පිරිහීමක් ,පසුබෑමක් ඇති වී ඇත්නම්, එයට වැඩිහිටි පරපුර වගකිව යුතුයි.

තරුණ සමාජය යම් ආකාරයකින් සංවර්ධනය වී ඇත්නම්, එහි ගෞරවයත් ආර්ථිකය, අධ්‍යාපනය, සමාජය මෙහෙයවන , වැඩිහිටි පරපුරට හිමිවිය යුතුය. ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය සමාජීය කරුණු වැඩිහිටියන් විසින් සම්පාදනය කළ යුතුය. දේශපාන, ආර්ථික, සැලසුම්වල දුර්වලතාවයන් කලක සිට පවතිනවා නම්, රටේ හොර මැරකම්,වැඩිවීම වැළැක්විය නොහැකියි. සාරාධර්ම කේන්ද්‍රකොටගත් අධ්‍යාපනයක් ගොඩනැඟිය යුතු ය.

අම්මා තාත්තා වැඩිහිටියා නොහඳුනන තරුණ පරපුරක් ගොඩනැගීමෙන් අති ඵලක් නැත. ඒ සඳහා වගකිව යුත්තේ ද වැඩිහිටි පරපුරයි. හිරි ඔතප් දෙක පුද්ගල සංවර්ධනයට බෙහෙවින් අත්‍යවශ්‍ය කාරණා වෙයි. තරුණ පි්රිස් යම් ආකාරයේ අසහනයකට පත්ව සිටිනවා නම්, දුසිරිත්වලට යොමු වී සිටිනවා නම්, ඒ සඳහා අධ්‍යාපනය ද වගකිව යුතු ය. චරිත සංවර්ධනය සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක විය යුතු ය.

රටේ සංවර්ධනය ගොඩනැගීමට අත්‍යවශ්‍ය තරුණ පිරිසට නිවැරැදි මග පෙන්වීමක් අවශ්‍ය වෙයි. තරුණයන්ගේ යහපත අභිවෘද්ධිය සංවර්ධනය සඳහා ආගමික මැදිහත් වීමත් තිබිය යුතු ය. ධර්මය ඇසුර කරන ධාර්මික තරුණයන් විශාල පිරිසක් වර්තමානය තුළ බොහෝ සෙයින් දක්නට ලැබුණත් , තරුණ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආගම දහමේ බලපෑම ද තවදුරටත් ප්‍රමාණවත් ව ලැබිය යුතු ය.

සිද්ධාර්ථ කුමාරයාද තරුණ වයසේ දී සත්‍ය සොයාගෙන යාමට තීරණය කර ඇත. සැරියුත්, මුගලන් , වැනි තරුණ සඝ සමාජයක පුරෝගාමියෙකු ලෙස බුදුරජාණන් වහන්සේ කටයුතු කර ඇත. ගුණ නුවණින් අගතැන්පත් අද්විතීය තරුණ සංවිධානයක් බුදුරජාණන් වහන්සේ ගොඩනගන ලදී.

දැවැන්ත තරුණ ස්වේච්ජා සංවිධානයක් ලෙස තරුණ සංඝ සමාජය දැක්විය හැකියි. සාම්ප්‍රදායික ගතානුගතිකත්වයට වහල් නොවී විචාරපූර්වක ව කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

වැඩිහිටියන් අවවාදයට වඩා ආදර්ශයෙන් බාල පරපුරට මග පෙන්විය යුතු ය . පවින් වළැක්විය යුතු ය. වැඩිහිට්ි පරපුර ඉතා ඕනෑකමින් අවංකව කටයුතු කිරීමෙන් තරුණ පරපුර අසහනයෙන් මුදවා ගතහැකි යි. එහි වගකීම ද වැඩිහිටි පරපුර සතු ය.

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]