UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2017 : ආදර්ශ ප්‍රශ්න පත්‍ර - බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2017 :

ආදර්ශ ප්‍රශ්න පත්‍ර - බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

අභ්‍යාස අංක - 2

රචනා ප්‍රශ්නය

මහායාන බුදු දහමෙහි දැක්වෙන පාරමිතා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

ථේරවාදී බෞද්ධයෝ බුද්ධ කාරක ධර්ම යනුවෙන් පාරමිතාවන් හඳුන්වති. මහායාන බුදු සමයේ මුල් යුගයේ පාරමිතා හයක් තිබුණ අතර, පසුව ඒවා දහයක් බවට වර්ධනය විය .මහායාන පොත්පත්වල සඳහන් වන පාරමිතා දහය මෙසේ ය. දාන පාරමිතා, ශීල පාරමිතා, ශාන්ති පාරමිතා , වීර්ය පාරමිතා, ධ්‍යාන පාරමිතා,ප්‍රඥා පාරමිතා ,උපාය කෞෂල්‍ය පාරමිතා, පණීධාන පාරමිතා, බල පාරමිතා, ඥාන පාරමිතා යනු එම දහය යි.

මෙම පාරමිතාවන්ගෙන් ද ප්‍රධාන වන්නේ ප්‍රඥා පාරමිතාව යි.මෙහි ශ්‍රේෂ්ඨත්ව විදහා පෑම සඳහා ලියන ලද ප්‍රඥා පාරමිතාව නමින් වූ විශාල ධර්ම සාහිත්‍යයක් ද වේ. බුදු බව ලැබීමට අනිවාර්යයෙන් ම ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කළ යුතුම වේ.

මහායාන බුදු දහමෙහි දැක්වෙන පුද්ගල සංකල්ප නම් කුමක් ද?

වාත්සි පුත්‍ර නම් භික්ෂුවගේ නව මතය පුද්ගල සංකල්පය වේ. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු ඇත යන්න උන්වහන්සේ ගේ මතය විය. ධර්මධර මහා ථෙරවරු මේ මතය ප්‍රතික්ෂේප කරති. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු නො මැති බවට ධර්මධර තෙරවරු කථාවත්ථු ප්‍රකරණයෙහිලා කරුණු ඉදිරිපත් කළහ. එසේවුවද වාත්සිපුත්‍ර හිමියන්ගේ අදහස පිළිගත් පිරිසක් ද වූහ. මහායාන බුදු දහමෙහි පුද්ගල සංකල්ප පිළිබඳව දක්වා ඇත්තේ මේ ආකාරයෙන් ය.

බුරුම රටට බුදුදහම ලැබුණු අයුරු දක්වන්න

වර්තමානයේ මියන්මාර් යනුවෙන් ද බුදුදහම ලැබුණු අවධියේ ස්වර්ණභූමි යනුවෙන් ද බුරුම රට හඳුන්වා ඇත. බුරුම රටට බුදුදහම ලැබීම පිළිබඳව විවිධ මත පවතී. ඒ මත අතර

1.තුන්වන ධර්ම සංඝායනාවෙන් පසුව අශෝක රජු දවස සෝණ සහ උත්තර යන දෙදෙනාම ස්වර්ණ භූමියට වැඩම කොට බුදුදහම ලබා දුන් බව.

2. බුරුමයේ එන පාරම්පරික ජනප්‍රවාදයන්ට අනුව එරටට බුදුදහම ලැබුණේ බුදුරදුන් ජීවත්ව සිටිය දීම ය. බුදුරදුන්ට ප්‍රථම දානය පූජා කළ තපස්සු, භල්ලුක වෙළෙඳුන් බුදුන්ගෙන් ලැබුණු කේශ ධාතු රැගෙන යමින් සිංගුත්තර කඳු මුදුනෙහි දා ගැබක තැම්පත් කළ බව මෙම ජනප්‍රවාදයෙහි එයි. දැනට ‘ස්වේදගෝන්’ ස්තූපය නමින් මෙය දක්නට ඇත.

3. දකුණු ඉන්දියාවේ නාගර්ජුන කොන්ඩයේ ඇති ශිලා ලේඛනයක ප්‍රදේශයේ භික්ෂු පිරිසක් කාශ්මීර, ගන්ධාර, විලාත යන රටවල ධර්මය ප්‍රචාරය කළ බවත්, එහි සඳහන් ‘විලාත’ යන්න බුරුමය බවත් හඳුනා ගෙන ඇත.

බුරුමයේ ශාසන ඉතිහාසයේ හා බැඳී පවතින කාලපරිච්ඡේද තුන නම් කරන්න.

1. ආරම්භයේ සිට ක්‍රි.ව. දහවන සියවස දක්වා වූ පුරාතන යුගය

2. එකොළොස්වන සියවසේ සිට පහළොස්වන සියවස දක්වා වු මධ්‍යතන යුගය

3. දහවන සියවස සිට මේ දක්වා වූ නූතන යුගය නමිනි.

අනවරත රජු, ධම්මචේතිය රජු, මෙත්දුන් රජු යන බුරුම රජවරුන්ගේ එරට බුදු දහමෙහි ව්‍යාප්තියට සිදු වූ සේවාවන් ගෙනහැර දක්වන්න.

ඉතිහාස ගත කරුණු අනුව බුරුම රටේ බුදු දහම ස්ථිරව පිහිටියේ ක්‍රි.ව. එකොළොස්වන සියවසේ දී පමණ ය. පගාන් නුවර කේන්ද්‍රස්ථානය කරගෙන අනවරත රජු හෙවත් අනුරුද්ධ රජතුමා පාලනය ගෙන ගියහ. ඔහුගේ කාලයේ බුදු සමය පිරිහීමට පත්ව තිබුණි.මේ වන විට ප්‍රාදේශීය පාලකයෙකු වූ මනෝරි නම් රජ් වෙත සර්වඥ ධාතු හා ත්‍රිපිටක ග්‍රන්ථ රැසක්ම පැවති අතර, එම පොත්පත් ආදිය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ෂින් අරහන්ත භික්ෂුව රජුගෙන් ඉල්ලා සිටියහ. රට පුරා අලංකාර දාගැබ් (පැගෝඩා) ඉදි කළහ. උත්තරජ් හා චප්පට යන භික්ෂූන් ලංකාවට එවා ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙසින් අධ්‍යයනය කරනු ලැබීය. මෙම භික්ෂූන්ගේ මැදිහත්වීමෙන් සීහල සංඝ නමින් භික්ෂු පරපුරක් ද ආරම්භ කළහ.

අනවරත රජු මෙන්ම බුරුමයේ ක්‍රි.ව. පහළොස්වන සියවසේ මැද භාගයේ දී පමණ රාජ්‍යත්වයට පත් ධම්මචේතිය රජු බුදු සමයේ උන්නතියට ක්‍රියා කළ අයෙකි. බුරුම රටේ උපසම්පදා භික්ෂූන් නො වූයෙන් එවකට ලක්දිව පාලකයා වූ කෝට්ටේ හතරවන බුවනෙක බාහු රජුගේ අනුග්‍රහයෙන් බුරුමයෙන් පැමිණි භික්ෂු පිරිසක් උපසම්පදාව ලබා එරටට ගොස් කල්‍යාණි සීමා යනුවෙන් පොහොය ගෙයක් කරවා බුරුම භික්ෂූන් එහිදී උපසම්පදා කරනු ලැබීය.

මෙන්ඩූන් රජුගේ රාජ්‍ය සමය ද වැදගත් කාල පරිච්ඡේදයකි. බුරුම බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ද මෙම කාලය හඳුන්වනු ලැබේ. හතරවන සංගායනාව ඔහුගේ කාලයේදී පවත්වන ලදී. සංශෝධිත ත්‍රිපිටකය කිරිගරුඬ පුවරු හත්සිය විසිතුනක කොටවා ලෝක සාරජ් ස්ථූප වටා තැම්පත් කරවීය. මෙම රජවරුන්ගෙන් බුරුම බෞද්ධ ඉතිහාසයට මෙවැනි සේවාවක් ඉටු වී ඇත.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]