UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කායගතා සති භාවනාව: මත්ථලුංග පංචකය

කායගතා සති භාවනාව:

මත්ථලුංග පංචකය

කායගතා සති භාවනාව එක් අයකුට දෙදෙනකුට අයිති දෙයක් නොවේ. සැවොම පුරුදු පුහුණු කළ යුතු, පුරුදු පුහුණු විය යුතු භාවනා ක්‍රමයක්. එය අමා මෑණී බුදුපියාණෝ ද මහා සතිපට්ඨාන සුත්‍රයෙන්, ගිරිමානන්ද ආදී සූත්‍ර දේශනා මඟින් වදාළා.

කායගතා සති භාවනාවෙන් සිරුරේ කොටස් තිස් දෙකක් පෙන්නුම් කරයි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් තච පංචකය ද මංසං, නහරු, අට්ඨි, අට්ඨි මිඤ්ජං, වක්කං යනුවෙන් වක්ඛ පංචකය ද හදයං, යකනං, කිලොමකං, පිහකං, පප්ඵාසං, යනුවෙන් පප්ඵාස පංචකය ද පෙර ලිපිවල සඳහන් කළා. අද අපි ඉතිරි කොටස් ගැන සඳහන් කරමු.

අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්ථ ලුංගං යනුවෙන් සඳහන් වන්නේ මත්ථ ලුංග පංචකය යි. පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සෙදෝ, මෙදො, යනුවෙන් සඳහන් වන්නේ මෙද චක්ඛය යි. අසසු වසා, ඛෙලො, සිංඝානිකා, ලසිකා, මුත්තං යනුවෙන් සඳහන් වන්නේ මුත්ත චක්ඛය යි.

මෙලෙස පංචක සහ චක්‍ර ක්‍රම දෙයාකාර වෙයි. මේ සෑම කොටසක ම ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු සතර යි. ඒ සතර මහා ධාතුවෙන් දෙතිස් කුණුපය සැකසී තිබෙයි. එය ධාතු වශයෙන් සැලකීම ධාතු මනසිකාරය වේ.

මත්ථලුංග පංචකය සඳහන් කිරීමේ දී අන්තං (මහ බඩවැල), අන්ත ගුණං(අතුණු බහන් – කුඩා බඩවැල), උදරියං (නොපැසුණු ආහාර නොහොත් දිරා නොගිය ආහාර ඇත්තේ ආමාශ ගතව යි.), කරීසං (පැසුණු ආහාර නොහොත් දිරා ගිය ආහාර - මළ),මත්ථලුංගං (හිස් මොළය) කරුණු පහ යි. මේ කරුණු පහ මේ සතියේ දී මෙනෙහි කරන්න. පෙර ලිපිවල සඳහන් කළා සේ කරුණු පහ ම මෙලෙස සම්බන්ධ කර ගන්න. (මේ කයෙහි බඩවැල වර්ණයෙන් පිළිකුල් ය, සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය... ) එය දවසට එක බැගින් මෙනෙහි කිරීමේ දී ලැබෙන දැනුම ඉමහත්.

තවත් ගැඹුරු ක්‍රමයක් තිබෙනවා. එය මෙනෙහි කළ යුත්තේ තේරුම් බේරුම් ඇති දැනුම ඇත්තන් පමණ යි. මේ කයෙහි බඩවැල සත්ත්වයෙක් නොවේ, ජීවියෙක් නොවේ, ආත්මයක් නොවේ, නිසත්ත්ව වූ, නිජීව වූ , ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. මේ කයෙහි බඩවැල අනිත්‍යයයි, දුකයි, අනාත්ම යි. මේ සැලැස්මට අනුව මත්ථලුංග පංචකයේ අනිත් කරුණු ද මෙනෙහි කරන්න.

මේ නිසා තමන් යා යුතු නිසි මඟ හොඳින් දැනුම්වත් වෙයි. කුමන දෙයකින්වත් කරදර , පීඩා, බාධක මතු නොවී කරන කියන කටයුතු සාර්ථක වෙයි. සිහි කල්පනාව දියුණු වන බැවින් සෑම කෙනෙකුට ම භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

මේ සෑම දෙයක් ම ඇත්ත ඇති සැටියෙන් නුවණින් බැලිය යුතු යි. අප කුමන දෙයක් කළත් බොරුවක් නේ, අපට ඇත්තේ ගඳ ගසන ශරීරයක් නේ විනාශ වී යන ශරීරයක් නේ යනුවෙන් තමන්ට ම එය වැටහෙන්නට පටන් ගනියි. මෙය ඉතාමත් ම වැදගත්.

මේ මඟින් සති, සමාධි, ඥාන හොඳින් වැඩෙයි. භාවනා ක්‍රමය හරි අවබෝධයෙන් මෙනෙහි කළ යුතු යි. ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු යි. එවිට තමාට ලැබෙන ශක්තිය ඉමහත්. අනිත්‍යතාව පෙන්වන්නේ බුදු දහමින් පමණ යි. කොළයක සටහන් තබා හෝ සෑම කෙනෙක් ම භාවනාව ගැන දැනුමක් ලබා ගන්න. නිබඳව ම පාඩම් කර ඉන්පසුව සිතෙන් මෙනෙහි කරන්න. මේ සියල්ල මතක තබා ගන්න අපහසුනම් ටිකෙන් ටික හෝ මෙනෙහි කිරීම ඉතා වැදගත් වෙයි. අපේ සිරුරෙහි ඇති පිළිකුල් සහගත දේ මෙනෙහි කරද්දී ලැබෙන අනුසස් රන් රුවන් වගෙයි. තමන්ගේ ජීවිතය අනියත බව මරණය නියත බව හොඳින් වටහා ගත හැකියි.

බුද්ධ ශාසනය පිළිබඳ හොඳ දැනීමක්, හොඳ වැටහීමක් ඇති කරගන්නට සමත් වෙයි. මෙලෙස මෙනෙහි කිරීමේ දී ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, විමංසා ඍද්ධිපාද ආදී සතර ඍද්ධිපාදයෝ හොඳින් වැඩෙයි. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය හොඳින් වැඩෙයි. එවිට උත්කර්ශවත් උසස් කුසල් බවට පත් වෙයි.

මේවා හරි හැටි දියුණු කළොත් ප්‍රතිඵලය තමන්ටම යි. අස්ථිර බව හොඳින් වටහා ගන්නට පුළුවන්කම තිබෙයි. මේ ජීවිතය ස්ථීර බව කොතැනකවත් සඳහන් කරන්නේ නැහැ. සෑම තැන ම ඇත්තේ අස්ථිර බව යි. නිර්වාණය හැර සෑම දෙයක් ම අස්ථිර යි. ඉර, හඳ, තාරකා, ගස්, ගල්, පර්වත, මහ සාගරය, ගංඟා, ඇළ දොළ, දෙවි, මිනිසුන් සියල්ල ම විනාශ වන වස්තූන් ය. ඒ නිසා මේ සෑම දෙයක ම ඇත්තේ වෙනස්වන ස්වභාවය යි. මේ වෙනස් වන ලක්ෂණ තමන් වටහා ගත්විට එය හොඳින් තේරුම් බේරුම් කර ගැනීමේ ශක්තිය වටහා ගන්නට හැකි වෙයි. කායික මානසික සුවපත් භාවය හොඳින් සකසා ගැනීමට සමත් වෙයි.

කියවීමට, ශ්‍රවණය කිරීමට මෙන් ම මෙනෙහි කිරීමටත්, සජ්ඣායනා කිරීමටත් හැකිතාත් පුරුදු පුහුණු වන්න. එසේ ම සිතෙන් මෙනෙහි කරන්නත් පුරුදු පුහුණු වන්න. එවිට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ඡ, විචිකිච්ඡා, අවිඡ්ජා නීවරණයෝ සන්සිඳුවා ගත හැකියි. අලෝභ, අදෝශ, අමෝහ උසස් චේතනාවන් පහළ කරගන්නට පුළුවන්.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ අපමණ දේශනවන් වදාළා. පිරිසට ගැළපෙන අනුශාසනාවන් වදාළා. ඒ නිසා සැදැහැවත් සැවොම බුදු දහම පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගෙන භාවනා ක්‍රම පිළිබඳ ඉගෙන ගෙන ඒවා මෙනෙහි කිරීමෙන් දැනුම දියුණුවෙන් කටයුතු කිරීම වැදගත්. මෙලෙස මුල සිටම අග දක්වා ම සඳහන් කළ කරුණු ටික එකින් එක මෙනෙහි කරන්නට පුරුදු වෙන්න. ඒ මඟින් තමාට ලැබෙන්නේ විශාල ශක්තියක්. මේ ක්‍රම ටික ඉගෙන ගත්තොත් කායගතා සතියට අයත් කරුණු විස්සක් ගැනම දැනුම්වත් වූවා වෙයි. පිළිකුල් ක්‍රම පහත් (සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ...) එකක් පාසා මෙනෙහි කරගෙන එන්න. එවිට කෙතරම් දැනුමක් දැ’යි බලන්න? කෙතරම් නුවණෙහි දියුණුවීමක් දැ’යි තමන් ම කල්පනාකර බැලීම වටියි. ඒ නිසා මේ ගැන හොඳ දැනීමක් ඇති කරගෙන කටයුතු කරගත යුතු යි.

මේ භාවනාව කියවීමෙන්, සජ්ඣායනා කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් ලැබෙන පින ඔබ, අප සැමට ම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා නිවී සැනසුණු දුක්ඛ, සමුද, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිදුවන ශාන්ති ලක්ෂණ අමා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා!

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]