UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

රටේ පිනට මෙන් පහළ වූ අනගාරික ධර්මපාලතුමා ස්වකීය මුළු දිවිය ම විජාතිකයන්ගේ ව්‍යසනයෙන් ලක් දෙරණ බේරාගැනීම සඳහා කැප කළේ ය. 1864 සැප්තැම්බර් මස 17 වන දින රුහුණේ ප්‍රභූ පවුලක සාමාජිකයෙකු වශයෙන් ජන්ම ලාභය ලැබූ මෙතුමාගේ ජන්ම නාමය වූයේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ යි.

හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා පියා වූ අතර, මව ශ්‍රීමති මල්ලිකා හේවාවිතාරණ වූවා ය. සමකාලීන සාමාජීය තත්ත්වය නිසා ධර්මපාලතුමාට ළමා අවදියේ අධ්‍යාපනය ලබන්නට සිදුවූයේ මිෂනාරී පාසල්වලිනි. එතුමාට බෞද්ධ අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හා හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙදෙනාගේ සෙවණෙහි ය.

බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ හා රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිනියගේ ආශ්‍රය ලැබුණේ ස්වකීය මවු පාර්ශ්වයේ පරිත්‍යාගයක් වූ භූමියක ඉදිවූ විද්‍යෝදය පිරිවෙනෙහිදී ය. ධර්මපාලතුමාගේ සිත්හි ජාතික, ආගමික හැඟීම් දළු ලා වැඩුණේ මේ කාලයෙහි ය. 1883 දී අධ්‍යාපන කටයුතු නිමා කර කනිෂ්ඨ ලිපිකරුවෙකු වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බැඳුණු නමුත් 1886 දී රාජ්‍ය සේවයට සමුදුන්නේ ඕල්කට්තුමා හා එක්වී ‘පරමවිඥානාර්ථ’ බෞද්ධ සමාගමේ කටයුතුවල ආසක්තව බෞද්ධ පුනර්ජීවනය සඳහා සිය පූර්ණ කාලය කැපකරනු පිණිස ය. එතෙක් භාවිත දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නම ද වෙනස්කර එතුමා අනගාරික ධර්මපාල යන සිංහල නාමය භාවිතයට ගත්තේ ය.

ධර්මපාලතුමාගේ ජාතික, ආගමික, සාමාජීය, සංස්කෘතික සේවාවන් අතර ඉන්දියාවේ බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා කළ කැපවීමට අදටත් ලාංකික බෞද්ධ අපි ණය ගැති වෙමු. 1890 දෙසැම්බර් මස ඉන්දියාවේ බුද්ධගයා බෝ මැඩට ගිය ධර්මපාලතුමා එහි වජ්‍රාසනය මත හිස තබා බුද්ධගයාව බෞද්ධයන් සතුකර ගැනීම පිණිස දැඩි අධිෂ්ඨානයක් කර ගත්හ. එයින් පසු වර්ෂයෙහි ජනවාරි මස 20 වන දින බරණැස ඉසිපතනාරාමයට ගිය ඔහු බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩි සිතින් මූලගන්ධකුටි විහාරයේ ආකෘතියට සමාන නව විහාරයක් තැනවීමට අදහස් කළ අතර පසු කලෙක මෙකී අභිලාෂයන් ද්වය ම සැබෑවක් බවට පත්විය. ඒ මේ තරුණයා තුළ පැවැති නොපසුබස්නා අධිෂ්ඨානය හා කාර්යශුරත්වය නිසා වෙනි. 1891 මැයි 31 දින බුද්ධගයා මහාබෝධි සමාගම පිහිටුවන ලද්දේ ද පූර්වෝක්ත කාර්යයන් සඵල කරගනු පිණිස ය. එදා මෙතුමා ඇරැඹූ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ මුල් පිටුවේ ඉහළ දෙ කෙළවරේ ලොකු අකුරින් මුද්‍රිත ප්‍රධාන තේමා දෙකක් විය. එනම්

“සිංහලයනි, නැගිටිවු! බුද්ධගයාව බේරාගනිවු!” සහ “මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නො වන්නේ ය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම වන්නේ ය. – දුටුගැමුණු රජතුමා” යන්නයි.

අනගාරික ධර්මපාලතුමා සිදුකළ පරාර්ථ චර්යාවේ පරමාධ්‍යාශය කෙබඳු වූවක් දැයි වටහා ගන්නට ඉහත උද්ධෘත දෙක වුව ද ප්‍රමාණවත් ය. දඹදිව ශාසනික සේවය මෙහෙයවීම සඳහා තෝරා ගත්තේ කල්කටාවේ ධර්මරාජික විහාරය යි. තව ද ඇමෙරිකාව, ජපානය, චීනය, තායිලන්තය, එංගලන්තය ආදි රටවල් ඇතුළත් ජාත්‍යන්තර ධර්මදූත සේවාව ද ධර්මපාලතුමන්ගේ තවත් අගනා ශාසනික මෙහෙවරකි.

1893 සැප්තැම්බර් මාසයෙහි චිකාගෝ නුවර පැවැති ‘දෘෂ්ටි සම්මේලනයේ දී’ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කළ කතාව එතුමාටත් අප රටටත් ජාත්‍යන්තර කීර්තිය අත්කර දෙන්නට සමත්විය. දේශීය කර්මාන්ත අරඹා සිංහල බෞද්ධයා අදීන ජාතියක් බවට පත්කිරීම එතුමාගේ තවත් එක ප්‍රධාන අභිප්‍රායයක් විය. ‘ශෝභන මාලිගාව‘ නමින් හැඳින්වුණු රථයක නැගී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල චාරිකා කරමින් දේශනා පවත්වමින් නිද්‍රෝපගත හෙළයා අවදිකර දේශීය චාරිත්‍ර වාරිත්‍රවලට හුරුකිරීමට, ජාත්‍යාලය, ආගමික ආලය, දේශානුරාගය පුබුදු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරුවේ ය. විටෙක සිංහලයාගේ උදාසීනකම් දැක කම්පාවට පත් මේ අසහාය ජාතික වීරවරයා රළු වචනයෙන් ඇමතුවේ හුදෙක් ද්වේෂය නිසා නොව අප වෙත පැවැති අව්‍යාජ සානුකම්පිත බව නිසාවෙනි.

‘සඳරැස’ නමින් සිංහල පුවත්පතක් ද ‘බුඩිස්ට්’ නමින් ඉංග්‍රීසි පුවත්පතක් ද ‘සිංහල බෞද්ධයා’ නමින් පත්‍රයක් ද ජනයාගේ දෛනික ජීවිතයට වැදගත් කරුණු ඇතුළත් ‘දැනගත යුතු කරුණු’ යන නමින් ප්‍රකාශිත පත්‍රයක් ද මුද්‍රණය කර බෙදා දෙමින් ස්වකීය මෙහෙවර සඳහා දෘෂ්‍ය මාධ්‍යය ද සහාය කර ගත්තේ ය.

මහාබෝධි විද්‍යාලය, හිනිදුම බෞද්ධ පාසල, රාජගිරියේ බෞද්ධ පාසල යන ත්‍රිත්වය ධර්මපාල අධ්‍යාපනික සේවාවේ අනර්ඝ ඵලයන් ලෙස දැක්විය හැකි ය. අමද්‍යප ව්‍යාපාරයේ ද පුරෝගාමියා විය. 1931 වර්ෂයෙහි ඉන්දියාවේ දී ධර්මපාලතුමා සාමණේර ප්‍රව්‍රජ්‍යාව ලැබ 1933 දී උපසම්පදාව ලැබුහ. එම වසරේ අප්‍රේල් මස 29 වන දා ලක්දෙරණේ පිනට උපන් මේ ජාතික වීරවර සිරි දේවමිත්ත ධර්මපාල හිමියෝ බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය අසල දී අපවත් වූහ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජාතික වීරවරයා අවශේෂ නායකයන්ගෙන් අතිශයින් දූරස්ථ වූ දුර්ලභ නේතෘවරයාණන් කෙනෙකි. එයට හේතුව නම් එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරාර්ථචර්යාවේ ප්‍රතිමූර්තියක් වූ බැවිනි. ස්වීය ආත්ම වර්ණනා, කීර්ති ප්‍රශංසා මුළුමනින් ම පිටුදැක්කේ ය. දශක ගණනක් ඉක්ම ගොස් ඇතත් අද දවස දක්වා ධර්මපාල ශ්‍රී නාමය ජීවමානව ඇත්තේ එතුමන් ගිය ගමන් පථය අද්‍යතන අවදියටත් සර්වසාධාරණ වන බැවිනි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]