UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශවත් යුග මෙහෙවරක්

ආදර්ශවත් යුග මෙහෙවරක්

"පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සාමාජික මෙහෙවර පටු භේදාදියෙන් ඈත් වූ ආදර්ශවත් සේවාවකි. සාමය, සහජීවනය ලොවට අවශ්‍ය යුගයක ඒ සඳහා ආදර්ශවත් ක්‍රියාවෙන් දෙන නිහඬ ආදර්ශය සමාජයට මහත් ආශීර්වාදයකි. ආනන්ද නාහිමියන් විසින් මෙතෙක් ඉදිකරවා ඇති පාසල් ගොඩනැගිලිතුළ දිනකට පාසල් දරුවන් හාර පන්දහසක පිරිසක් සෙවණ ලබන අයුරු සිහි කිරීම පවා උන්වහන්සේ මහත් සතුටට පත් කරවති."

අද දුව පැන ඇවිදින කෙළි සෙල්ලමින් කාලය ගෙවන , පුංචි දරුවෝ හෙට වැඩිහිටියෝ බවට පත්වෙති. අනාගත වගකීම පැවරෙන්නේ ඔවුන්ටය. එම වගකීම් ඉසිලීමට තරම් සුදුස්සන්වීමට නම් නැණ ගුණවලින්, ඔවුන් පෝෂණය විය යුතු ය. නැණගුණ වඩන සිප්හලක් ඉදිකිරීම රටේ ජීවනාලිය බඳු අනාගත දරු පරපුර වෙනුවෙන් කරන මහඟු මෙහෙවරකි.

පොදු මහජන සේවා සියල්ල රජයකින් ඉටුවන තෙක් බලා නොසිට තම ශක්ති පමණින් පොදු සේවා ඉටු කිරීමට දායකවීම ද මහඟු අස්වැසිල්ලකි. එබඳු පොදු මෙහෙවර රැසක නිරත වීම සමාජයට මෙහෙයක් මෙන් ම ආදර්ශයක් ද සපයයි.

යුග ගණනක් පුරාවත් සම්පූර්ණ කළ නොහැකි සුවිසල් මෙහෙවර රැසක් වසර කිහිපයකින් නිම කළ හැකි වෙතොත් එය කෙතරම් වාසනාවක් ද? ඒ යුග මෙහෙවරෙහි නිරත ආදර්ශවත් මහ පහන්ටැඹ රටට සමාජයට ලොවට මහත් ආශීර්වාදයකි.

අත්තනගල්ල රජ මහා විහාරය ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමිපාණන් වහන්සේ සම්බුදු සසුනේ චිරස්ථිතියටත්, පෝෂණයටත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, සෞඛ්‍ය සේවයටත්, සමාජයටත් ඉටුකර ඇති සහ දැනුදු ඉටු කරනුයේ අමිල යුග මෙහෙවරකි. උන්වහන්සේ ත්‍රිපිටක දහමත්, විදේශීය භාෂා රැසක් ද හදාරා පෙර අපර දෙදිග රටවල ධර්මදූත මෙහෙවරෙහි යෙදෙන යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

අත්තනගල්ල රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙතෙක් සිදුකර ඇති මෙහෙවර බොහෝ ය. අත්තනගල්ල රජ මහා විහාරස්ථ ශ්‍රී පතිරාජ සාමණේර භික්ෂු පුහුණු ආයතනය අරඹා එමඟින් ත්‍රිපිටක දහම ප්‍රධාන ජාත්‍යන්තර භාෂා පුහුණු කරවමින් ආරාමික වත් පිළිවෙත් ආදියටද යොමු කරවා භික්ෂු ජීවිතය ආදර්ශවත් ජීවිතයක් ලෙස ගත කිරීමට සාමණේර හිමිවරුන්ට නිසි මාර්ගෝපදේශකත්වය උන්වහන්සේ විසින් සලසාදීම සසුනඹරට කෙරෙන මාහැඟි මෙහෙවරකි.

සුනාමි උවදුර පැමිණි අවස්ථාවේ දී ඒ විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය වූ මූලිකාංගයක් වූ නිවාස 350 ක් පමණ දකුණු පළාතේ විවිධ ප්‍රදේශවල ඉදිකරවා පිරිනමන ලද්දේ කරුණාධ්‍යාශයෙනි. එමෙන් ම අපේ රටට ස්වභාවික විපත් පැමිණි සෑම අවස්ථාවක දී ම ඒ ඒ ප්‍රදේශවල විපතට පත් ජනතාව සොයා ගොස් ඔවුන් වෙත අවශ්‍ය වූ බොහෝ උපකරණ ලක්ෂ ගණන් මුදල් වැය කර පිරිනැමූහ. රෝහල් ගොඩනැඟිලි, බුද්ධ මන්දිර, ධර්ම මන්දිර ආදිය විවිධ ප්‍රදේශවල ඉදි කරවා පිරිනැමූහ.

වෛද්‍ය පීඨ සිසු දරුවන් 60 දෙනෙකු ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් දරුවන් 800 දෙනෙකු වෙත මාසික ව අත්නගල්ල රජමහා විහාරයේ දී උන්වහන්සේගේ සුරතින් ම ශිෂ්‍යාධාර පිරිනමනුයේ දැනට වසර කීපයක සිට ය.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ වන විට තෙමහල් ගොඩනැගිලි පාසල් රැසක ඉදිකරවා සිසු අයිතියට පවරා ඇත. ඒ අනුව අත්තනගල්ල වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි කාමර විසිහතරකින් යුත් දානශාලාව, පුස්තකාලය සහිත ගොඩනැගිල්ල, කඹුරාගල්ල පන්නිල ශ්‍රී ආනන්ද මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල, දඹාන ආදිවාසී දරුවන් සඳහා දහම්පාසල් ගොඩනැගිල්ල, කිරිඳිවැල ශ්‍රී සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ කලා සෞන්දර්යය දෙමහල් පාසල් ගොඩනැගිල්ල, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි විද්‍යාගාර තෙමහල් ගොඩනැගිල්ල සහ ඉකුත් මස 17 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලද නිට්ටඹුව තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල මේ වන විට සිසු අයිතියට පත් කර ඇත.

නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල හා නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ පාසල් ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන 11 වන පාසල් ගොඩනැගිල්ල වන අලවල මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල මෙම මස 23 වන දා පෙරවරුවේ සිසු අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සාමාජික මෙහෙවර පටු භේදාදියෙන් ඈත් වූ ආදර්ශවත් සේවාවකි. සාමය, සහජීවනය ලොවට අවශ්‍ය යුගයක ඒ සඳහා ආදර්ශවත් ක්‍රියාවෙන් දෙන නිහඬ ආදර්ශය සමාජයට මහත් ආශීර්වාදයකි. ආනන්ද නාහිමියන් විසින් මෙතෙක් ඉදිකරවා ඇති පාසල් ගොඩනැගිලි තුළ දිනකට පාසල් දරුවන් හාර පන්දහසක පිරිසක් සෙවණ ලබන අයුරු සිහි කිරීම පවා උන්වහන්සේ මහත් සතුටට පත් කරවති.

උන්වහන්සේගේ විදේශීය මිතුරන්ගෙන් ලැබෙන ධන පරිත්‍යාග මගින් මෙබඳු මහ මෙහෙවරක් ඉටු කරන අතර කිසිදු පරිත්‍යාගශීලියෙකුගෙන් ආධාර ලබා දෙන්නැයි ඉල්ලා නොසිටීමද සුවිශේෂී ක්‍රියාවකි. පාසල් ගොඩනැගිලි ඉදි කරවීමේ ව්‍යාපෘතිය සඳහා පමණක් මේ වන විට උන්වහන්සේ වැය කර ඇති මුදල රුපියල් කෝටි 27 ක් පමණ වේ.

පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එම උදාර යුග මෙහෙවර යුග ගණනාවක් පුරා අපේ රටේ පාසල් දරුවන්ගේ නැණ පහන් දැල්වීමට මහඟු බලයක් වනු නියත ය.

සසුනඹරේ පහළ වූ මහ පහන් ටැඹක් වන පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් චිර ජීවනය පතමු.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]