UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිස්බව පිරිහෙන කෙලෙස්මළ

මිනිස්බව පිරිහෙන කෙලෙස්මළ

ක්‍රියාව කැඩපතකි. මනසේ ප්‍රතිබිම්භයකි. මිනිස් ක්‍රියාව ප්‍රභල වුවකි. යහපත් සිතුවිලි යහපත් ක්‍රියාවන් ද, අයහපත් සිතුවිලි අයහපත් ක්‍රියාවන්ටද මුලික වේ. පිරිසිදු සිත පිරිසුදු රෙදි කැබල්ලක් මෙන් පැහැදිලි ය, ප්‍රියමනාප ය. පිරිසුදු සිතක් ඇත්තා කුසල්ම වඩයි. අවසන සුගතියේ උපත ලබයි. අපිරිසුදු සිතැත්තෝ මරණින් මතු නිරයේ උපදී. කිලිටි වූ වස්ත්‍රයකට කෙතරම් සායම් වත්කළ ද ඵලක් නැත. සායමේ සුන්දරත්වය ද මැකීය යි.

අපිරිසුදු සිතද අපිරිසුදු වස්ත්‍රයක් මෙන් ය. මිනිස් සිත කිලිටි කරන උපක්ලේශයන් පිළිබඳ බුදුදහමේ සඳහන් ය. මජ්ක්‍ධිම නිකායේ ‘වත්ථුප සුත්‍රයේ’ සිත කිලිටි කරවන ක්ලේශධර්මයන් මනාව විස්තර කර තිබේ. අන්සතු වස්තුන්ට ලොල්වීම ක්ලේශධර්මයකි. මිනිසා භවයෙන් භවය සැරිසරන්නේ ආශාවන් නිසාවෙනි. ආශාවන්ගේ කෙළවරක් නැත. භායානකම වන්නේ අන්සතු ධනයට,සැපතට ලොබ බැඳීම යි. ලොබ බැ¼දීම ඉහළ මට්ටමේ නැතිනම් සාර්ව මට්ටමේ මෙන්ම ශූද්‍ර මට්ටමේ නැතිනම් පහළ මට්ටමේ ද හමුවේ. අසල්වැසියාගේ දියුණුවට ලොල් ව ආරවුල් ඇති කර ගන්නා අවස්ථා සමාජයේ සුලභය. ජීවයක් නො මැති පැල ඉනිවැටක් වෙනුවෙන් වටිනා මිනිස් ජීවිත බිලිදෙන අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. සියලු දෙයට හේතුව අන් සැපතට ලොබ බැඳීම ය. පැල ඉනිවැටට, දඬු මායිමට අරගල කරන මිනිසුන් පසුව රටවල් අල්ලා ගැනීමේ ලෝභයෙන් යුධ වදියි. ඒ අන් සැපතට ලොබ බැඳීමේ ක්ලේශය උපරිමව වර්ධනය වූ විටය.

නුතන අර්ථයෙන් ලෝකයේ හමුවන නව යටත් විජීතවාදයත්, සීතල යුද්ධයන් ද ඇතිවන්නේ අන් සැපතට ලොල්වීමෙනී. සිත අපිරිසුදු කරන සිතුවිලි අතර තරහව ප්‍රභල ය. ක්ෂණිකව ඇතිවන හදිසි කෝපය තරහව යි. කෙතරම් යහපත් පුද්ගලයකු වුවද තරහව අභියස විනාශයට පත් වේ. අධිරජ ධර්මාශෝක රජු මරණින් මතු පිඹුරෙකුව දින සතක් ඉපිද සිටියේ තරහව නිසා ය. තරහ සිතුවිල්ලේ වර්ධනීය අවස්ථාව ක්‍රෝධය යි. එය විනාශකාරී ය. කුඩා අංකුරයක් ව සිට මහා වෘක්ෂයක් මෙන් ක්‍රෝධය දලුලා වැඩේ. අවසන මහත් වූ විනාශයක් ම සිදුකෙරේ.

ක්‍රෝධයේ අවසානය බද්ධ වෛරය යි. තරහාවෙන් ආරම්භව ක්‍රෝධය ලෙස වර්ධනය වී බද්ධ වෛරයකට එළඹි සිතෙන් කිසිවකුට ඵලක් නැත. එවන් සිත දුඟද හමන කසල ගොඩකි. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ සිදුවන බරපතල අපරාධයන් පිටුපස සැඟව ඇත්තේ බද්ධ වෛරය යි. අන්අයගේ ගුණ මැකීම ද මනස කිලිටි කරන්නකි. දරුණු අකුසලයකි. ගුණවන්තයින්ගේ ගුණ වර්ණනා නො කර නුගුණ පතුරුවන්නේ අපිරිසිදු සිත් ඇත්තවුන් ය. කිලිටි වු සිතක් ඇතිවිට කළ නොහැකි දෙයක් නැත. මිනිස් චිත්තය අපිරිසුදු කරන අකුසල මින් නිම නැත. කෙනෙක් කළ වරදකට නැවත නැවත ප්‍රතිචාර දැක්වීම ද බරපතල අකුසලයකි. මහත් වූ විනාශයක ඇරඹිමකි. පවුල් සංස්ථාවේ මෙන් ම සෙසු සමාජ ස්ථරයන් හි ද එකට එක කිරීමේ අකුසලය සිදුවේ.

සිත් තුළ වෛරය,තරහව වර්ධනය වේ. අකුසලම සිදුකෙරේ. එකට එක කිරීම නැතිනම් අයහපත් ප්‍රතිචාර දැක්වීමේ අනෙක් පියවර ඊර්ෂ්‍යාවයි. ඇතමුන් කෙනෙකුගේ දියුණුව දැක සතුටුවීම වෙනුවට ඊර්ෂ්‍යා කරති. අවසන අකුසල් රැස් කර ගනිති. මිනිස් සිත කිලිටි කරන උපක්ලේශයන් අතර කපටිකම ද ප්‍රමුඛව සැළකේ. කෙනෙකු තවත් කෙනෙකු කූට අන්දමින් රවටවාගැනීම වරදකි. මිනිසුන් මනසින් උසස් වූ නිසාවෙන් මිනිස් නාමය ලැබී ය. මානව ගතිගුණවල අඩු ලුහුඬුකම් ක්ලේශයන්ගෙන් හට ගනී. භවයේ කළ පින් බලයෙන් ලැබු මිනිස්බව දුර්ලභ ය. සිතට ඇතුළුවන අකුසලයන්ගෙන් මිනිස්කම කිලිටු විය හැකි ය. මිනිසෙකු ව උපත ලබා නියම මිනිසෙකු ලෙස මිහිදන්වීමට බුදුදහමේ ඉගැන්වෙන ඉගැන්විම් අපරිමිත ය.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]