UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බිනර අව අටවක 2017.09.13

ආගමික හැදියාවෙන් ගත සිත යහපතට

අසරණයකුගේ කුස ගින්දර නිවන්නට බෙදාගත් බත්පත දී ඇල් වතුර කෝප්පයකින් තමන්ගේ කුසගිනි නිවා ගන්නට තරම් කරුණා දයාවෙන් පොහොසත් හදවත් ඇති සංවේදී මිනිසුන් අදටත් අපේ සමාජයේ විරල නොවේ. අනාදිමත් කාලයක සිට බුදු දහමින් පෝෂිත සංස්කෘතියක් උරුම කරගත් සමාජයක එවැනි සංවේදී දැකීම් පුදුමයට කරුණක් ද නොවේ.

ඈත දුර ගෙවාගෙන, දහදියෙන් තෙමුණු සිරුරින් මහ මඟ යන මගියාගේ පවස නිවන්නට ගෙදර වැට අද්දර පිරිසුදු පින්තාලියක් තබන්නට අපේ ආදි මුතුන් මිත්තෝ අමතක නො කළේ ත්, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මහා රැයක වුව සූ සැට භරණින් සැරසී තනිව මග ගිය අඟනකට නිරුපද්‍රිතව ගමන නිම කරන්නට හැකි තරමට සමාජ වටපිටාවක් නිර්මාණය වූයේත්, වගකීම් යුතුකම් හඳුනන ආච්චි අම්මා, සීයා මැදි කරගත් නිවහනක හිඟ නොවූ දරු මුනුපුරන්ගේ ආදරය, සෙනෙහස උතුරා ගියේත්, නගරයෙන් නගරය මහලු නිවාස, ළමා නිවාස ඉදි නොවුණේ ත් පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම ආගමට දහමට නැඹුරු වීමට ඇවැසි පරිසරය සිත හැදීමේ වැඩ පිළිවෙළ ගෙදරින් පමණක් නොව ගමේ විහාරස්ථායෙන් ද අඩුවක් නැතිව නිර්මාණය වූ නිසා ය.

සිත හදන්නට සේ ම සිත වඩන්නට ද හැකි එකම සත්ත්වයා මනුෂ්‍යයා ය. මනසින් උසස් වන්නේ මිනිසා බව බුදු දහමේ සඳහන් ය. එහි ඉගැන්වෙන්නේ මනස හැදීමේ වැඩ පිළිවෙළ ය. නරකට යොමු වන්නේ සිත නොහැදුණු තැන ය .හොඳ වැඩ කරන, යහපත් සිත් ඇත්තෝ බොහෝමයක් අතර එවන් නරක සිතැත්තෝ ද අතරින් පතර වෙති. පසුගිය දිනෙක පූජා භූමියක සිටි වියපත්, අසරණ මවක් බිය ගන්වා මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයකු පිළිබඳ වාර්තා වූයේ ඒ බව සිහිපත් කරවමිනි. ඇතැම්විට එහි තිබුණේ ඒ මවගේ ආහාරවේල සපයා ගන්නා මුදල විය හැකි ය. කුස ගින්දර පසෙක ලා හිතත් ගිනි අවුළුවන මෙවන් සිදුවීම් සුළු යැයි බැහැරලීම බොදු සමාජයකට තරම් නොවේ. මේ වැරැදි සිත නොහැදීමේ, නොවැඩීමේ වරදෙහි ඵල ය.

සිත හදන්නට මූලාරම්භය දිය යුතු වන්නේ කුඩා වියේ දී ම ය. අම්මාට, තාත්තාට, ගෙදර වැඩිහිටියන්ට එහි ප්‍රමුඛ වගකීම පැවරේ. කුස ගින්නේ සිටියත් අනුන්ගේ දෙයට අත නොතබන්නට, දරුවන්ගේ සිත ශක්තිමත් නොකරනවා නම් වැඩිහිටියන් වී ද අනුන්ගේ දේ උදුරා ගන්නට ,සොරකම් කරන්නට ඔවුන් ලජ්ජා බිය නොවනු ඇත. විභාග ශාලාවට රහසේ ගෙන ගිය තොරතුරු ඇසුරින් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන්නට ද නොපැකිළෙනු ඇත.

එතැනින් නොනැවතී තවත් දරුණු අපරාධ කරන්නට පෙළඹෙනු ඇත. බුද්ධ කාලයේ අංගුලිමාල බිහි වූයේ සිත නොවැඩි නිසා ය. අදටත් අවීචි මහා නරකාදියෙහි අපමණ දුක් විඳින දෙව්දත් වැනි අය තමන් විනාශ වී අනුන්ද විනාශ කර වූයේ සිත නොහදා ගත් නිසා ය. එවැනි රැවටිලිකාරයන්ට හසු වී පියා මරා ආනන්තරීය පාප කර්ම රැස් කරගන්නට අජාසත් වැනි තරුණයන් පසුබට නොවුයේ සිත යහපතට පුරුදු පුහුණු නො කළ නිසා ය. එවැනි අය අද සමාජයේ ද වෙති. වැඩිහිටියන්ගේ වගකීම තමන්ගේ බාල පරපුරට එවැනි ආගාධයකට වැටෙන්නට ඉඩ නොතැබීම ය.

අප තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ මිනිස් ලොව උපන් සියලු මනුෂ්‍යයන්ට බුද්ධාංකුර බවට පත්විය හැකි බව ය. ඒ තරමට මිනිස් සිත යහපතට දියුණු කළ හැකි ය. සෝවාන්, සකදාගාමී, අනාගාමී,අරහත්ඵල ලබන්නට හැකි වන්නේ ද මනුෂ්‍යයකුට ම ය.

මිනිස් සිත හදා ගැනීමේ වටිනාකම මිල කළ නොහැකි ය. මහා කළුගල් මෙත් කරුණා ගුණ වෑහෙන බුද්ධ ප්‍රතිමාවහන්සේ බවට පත් වන්නේ, වෙහෙර විහාර දාගැබ් ඉදිවන්නේ, විසල් කෙත්වතු සරු කරවන්නට දිය දෙන සාගරවන් වැව් ඉදිවන්නේ වර්ධනය කළ සිත් නිසා ය.

වැඩිහිටියන් තමන්ගේ දරුවන්ටද උපකාර කළ යුතු වන්නේ එවන් සිතක් හිමි කර දෙන්නට ය . හොඳ නරක කියාදීම, එය තහවුරු කරවන්නට ආදර්ශය දීම එහි දී ඉතා වැදගත් ය. පොත පතේ දැනුම තරමට ම අධ්‍යාත්මික දියුණුව ඇති නොකළේ නම් අපේ දරුවෝ අසංවේදී වීම වළක්වා ගත නොහැකිවනු ඇත. දහම්පාසල දරුවාගේ ගුණ දහම් පෝෂණය කරන තෝතැන්නකි. දරුවා,අකලට නොව, කලට දහම් පාසල් යැවීම කාලීන අවශ්‍යතාවකි. හැකි සෑම විටම විහාරස්ථානයට යාම, තෙරුවන් වන්දනා කිරීම, බණ භාවනා කිරීම, දහම් කරුණු ඉගෙනීම හෙට නොව අද ම කළ යුතු දේ ය. ධර්මය ඇසුරෙහි හැදෙන වැඩෙන විට සිත යහපතට හැරේ. ගුණදහම් වර්ධනය වේ. එවැනි සමාජයක වරදක් වීමට සුළු හෝ ඉඩක් නොවේ.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]