UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යුතුකම් කළයි සිතුවත් අධ්‍යාත්මය ගින්දරෙන් තැවෙනවා

යුතුකම් කළයි සිතුවත් අධ්‍යාත්මය ගින්දරෙන් තැවෙනවා

සැරියුත් මහ රහතන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් නැවතත් මෙසේ අසන ලදී. ධනංජානියනි, නුඹ කුමක් ද සිතන්නේ මේ ලෝකයේ යම් කෙනෙක් මවුපියන් නිසා අධර්මයේ හැසිරී, විෂමචාරී ලෙස ජීවිතයක් පවත්වනවාද? ඒ අධර්මචාරී හා විෂමචාරී හැසිරීම හේතුවෙන් මරණින් මතු නිරපල්ලන් විසින් නිරයට ඇදගෙන යන්නේ නම්, ඒ වෙලාවේදී මෙසේ පැවසිය හැකි වන්නේ ද?

එනම් මම අධර්මයට යොමු වුණේ අධර්මයේ හැසිරුණේ විෂමචාරී ලෙස වැරැදි දේවල් සිද්ධ කළේ මවුපියන් නිසාය. මේ නිසා නිරපල්ලනි, මා නිරයට ගෙනයන්නට එපා. ඒ වගේ ම ඔවුන්ගේ මවුපියෝත් මෙසේ පැවසුවත්, එනම් මේ අය අධර්මයේ හැසිරුණේ, විෂමචාරීව හැසිරුණේ අප නිසාය. නිරපල්ලනි, ඒ නිසා මේ දරුවා නිරයට ඇදගෙන යන්නට එපා. නිරපල්ලන්ගෙන් ගැලවීමක් ඒ අයට පවතීයි ද? මවුපියන්ගේ වචනයට ඇහුම්කන් දෙයි ද? ධනංජානි බමුණා මෙසේ සඳහන් කරනවා. සැරියුත් තෙරණුවනි, එය කවදාවත් ම වෙන දෙයක් නෙමෙයි. ඒ අධර්මයේ හැසිරුණු නරක විදිහට ජීවිතය පැවැත් වූ ඒ පුද්ගලයා මොනතරම් හැඬුවත්, කෑ ගැසුවත්, නිරපල්ලන් විසින් ඔහු නිරයට ම ඇදගෙන යනවා.

ධනංජානි බ්‍රාහ්මණයාණෙනි, මී ළඟට මේ ගැන නුඹට කුමක් ද සිතෙන්නෙ. මෙලොව යම් කිසි කෙනෙක් අඹු දරුවන් නිසා අධර්මයේ හැසිරෙනවා. විෂමචාරී වෙනවා. ඒ අධාර්මික බව විෂම හැසිරීම නිසා මරණය හා සමඟින් නිරපල්ලන් ඔහු නිරයට ඇදගෙන යනවා. ඒ වෙලාවේ ඒ නිරපල්ලන්ට මේ පුද්ගලයා මෙහෙම කියනවා. මම මේ අධර්මයේ හැසිරුණේ වැරැදි දේවල් සියල්ලම සිද්ධ කළේ අඹුදරුවන් නිසාය. ඒ නිසා නිරපල්ලනි, මා නිරයට ගන්නට එපා. ඔහුගේ අඹුදරුවෝත් මෙසේ කියනවා, මේ අය අප හේතුකොටගෙනයි මේ අධර්මයේ හැසිරුණේ. වැරැදි දේවල් සිද්ධ කළේ, ඒ නිසා ඔහු නිරයට ගන්නට එපා. ධනංජානි, ඔබ හිතනවාද නිරපල්ලන් විසින් ඔහු නිරයට ඇදගෙන යන එකක් නැහැ කියල, සැරියුත් තෙරණුවනි, එය එසේ වන්නේ නැහැ. මොනතරම් හැඬුවත්, කෑ ගැසුවත් නිරපල්ලන් විසින් ඔහු නිරයට ඇදගෙන යනවා.

මේ දහම් කතාව අප විසින් තවදුරටත් විවරණය කර ගත යුතුයි. බොහෝ කෙනෙක් පස් පව්, දස අකුසල්වලට යොමු වන්නේ අන් අය ගැන සඳහන් කරමිනුයි. යම් විටක පවසන්නේ, මම මේ සොරකම් කරන්නේ, අනුන්ගේ දේවල් ගන්නේ බඩගින්න නිසාය. මම දන්නවා මේ සොරකම් කිරීම, අන්සතු දේ පැහැර ගැනීම, අනුන්ට වංචා කිරීම වැරැද්දක් කියා. එනමුත් ජීවත්වෙන්නයි මම මේ දේ සිදු කළේ. මගේ මවුපියෝ දුක්විඳිනවා. ඒ අයට ඉන්න හිටින්න තැනක් නැහැ. ඒ අයට ආහාර නැහැ. ඒ අය ගිලන් වෙලා. ඒ අයට බෙහෙත් හේත් ගන්න මුදල් නැහැ. ඒ අයට ඇඳුමක් අරන් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ නිසයි මම මේ සොරකම් කළේ. සමහර විටක අන් අයට කරදර කළේ. එහෙම සොරකම් කරන්න ගිහිල්ලා මා විසින් අන් අය මරණයට පත් කළේ.

එසේ නැති නම් තවත් කෙනෙක් මේ ආකාරයට කියාවි. මම මේ සියල්ලම සිද්ධ කළේ මගේ පවුලේ අය ජීවත් කරවන්නයි. ගෙදර යන විට ආහාර ටිකක්, වස්ත්‍රයක් අරගෙන යන්න ඕනෙ. ස්වාමි දියණිය දරුවෝ ගිලන්වෙලා ලෙඩවෙලා දරුවන්ට පොත්පත් අරන් දෙන්න ඕනෙ. මේ නිසා මම සොරකම් කළා. වංචා කළා. අයිති නැති දේ පැහැර ගත්තා. අනුන්ගේ දේ උදුරා ගත්තා. මේ ආදී වශයෙන් සඳහන් කරන්නට පුළුවනි. වර්තමානයේ බොහෝ කෙනෙක් දරුවන් නිසා වැරැදි කරනවා යැයි යන මානසික ස්වභාවයකත් සිටින බව පෙනෙනවා. දරුවෙක් පාසලකට ඇතුල් කර ගැනීමට දරන්නා වූ උත්සාහයත්, දරුවන්ට ඉගැන්වීමටත්, දරුවන් සතුටෙන් තබන්නට යැයි ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමටත් දරුවන් වෙනුවෙන් ආවාහ විවාහ කර දීම්, ගේ දොර හදාදීම් ආදී මේ බොහෝ දේවල් වෙනුවෙන් සොරකම්, වංචා කිරීම් ආදී බොහෝ දුර්ගුණයන්ට ඇතැමෙක් පුරුදු වී සිටින බවත් පැහැදිලියි. ඒත් කිසිවිටකවත් සමාජයේ සියලු දෙනාම එසේ යැයි අදහස් කරන්නේ නැහැ. බෝධිසත්ව ගුණැති බොහෝ ම පිරිසක් වර්තමානයේ පවා ජීවත්වන බව පැහැදිලියි. එහෙත් ඒ ප්‍රමාණය අඩුවෙමින් දුර්ගුණයන්ට වැඩිවන පිරිසක් හා රහසින් පාප ධර්මයන්ට යොමුවෙන පිරිසක් වැඩිවන බවත් පැහැදිලියි.

සැරියුත් තෙරණුවන් වහන්සේ විසින් ධනංජානි බ්‍රාහ්මණයාගෙන් අසන ලද ප්‍රශ්න පෙළ අප මෙහි දී මතුකොට ගනිමු. මුලින් සඳහන් කළ අයුරින් මවුපියන්ගේ කුස ගින්න නිවන්නට යැයි, මවුපියන්ට අඳින්නට පළඳින්නට දෙන්නට යැයි ගිලන් වූ මවුපියන්ට බෙහෙත් කරන්නට යැයි සොරකම් කළත් ඉන් ලැබෙන පාපයෙන් ගැලවීමක් අපට තිබෙයි ද? මෙලොව වශයෙන් ම ලැබෙන දුක්ඛ, දෝමනස්ස, නීතියෙන් ලැබෙන දඬුවම් හා තමාගේ ම සිතෙහි අධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන පසුතැවීම් හා සිතේ සකස් වූ අකුසල් ධර්ම වූ සංස්කාර මරණින් මතු දීර්ඝ කාලයක් දුක්විඳීමට හේතුවන සතර අපායක ඉපදීම් ආදී වශයෙන් මේවායින් ගැලවීමක් නම් ඇතිවන්නේ ම නැත.

අඹු දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ සතුට වෙනුවෙන්, ඔවුන් ජීවත් කරවීම වෙනුවෙන් ප්‍රාණඝාත, සොරකම් ආදී අකටයුතුකම් සිදුකිරීමෙන් තාවකාලික වශයෙන් ඔවුන් වෙනුවෙන් යුතුකම් කරනවා යැයි මානසික වූ සැහැල්ලු බවකට පැමිණුනත් එහෙත් අධ්‍යාත්මයේ සැඟවී තිබෙන දුක්ඛ, දෝමනස්ස, පසුතැවීම් හා ගින්දරක් මෙන් පිළිස්සෙන ස්වභාවය අප්‍රමාණය. යම් විටක අඹු දරුවන් සතුටින් සිටින්නේ තමා විසින් ම එවැනිම තවත් පවුලකට අඹු දරුවන්ට මහත් විපතක් ලබාදීමෙන් විය හැකිය. තවත් කෙනෙකුගේ දෙයක් සොරකම් කොට, ඒ අය හඬවා දුකට පත්කොට තමන්ගෙ අඹු දරුවන් හෝ මවුපියන්, සොහොයුරු, සොහොයුරියන් සතුටින් තැබීමට ගන්නා වූ උත්සාහය මොනතරම් පාපී දැයි නුවණින් කල්පනා කළ යුතුය. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයක් නැතිකොට තමා හෝ තමන්ගේ අයෙක් ජීවත් කරවන්නට දරන්නා වූ උත්සාහය මොනතරම් පාපී ක්‍රියාවක් දැයි, නුවණින් සිහිපත් කළ යුතුය. වර්තමාන යුගය තුළ අප වැඩි පිරිසකට ජීවත්විය හැකිවන්නේ, අවුරුදු සියයකට වඩා අඩු ආයු කාලයකි. එය සසර පැවැත්ම අනුව කල්පනා කළොත් ඉතාම ස්වල්ප වූ කාලයකි. අශ්‍රැතවත් පෘතග්ජන අය සසරෙහි ගමන් කිරීමේ දී දුගතියක වැටුණොත් ආයු කල්ප ගණනින් වුවත් ගැලවීමකට නොහැකිව දුක් විදිය හැකි වන්නේ ය. එසේ නම් ඉතා කෙටිකලක් වූ මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම පිණිස යැයි පස්පව් දස අකුසල්වලට යොමුවීමෙන් ඉතා දීර්ඝ වූ සසර දුකින් ම ගත කිරීමට සිතන්නේ දැයි නුවණින් කල්පනා කළ යුතුය. කෙටි සැපතක් වෙනුවෙන් දිගු කාලයක් දුක් විඳින්නට වන සසරේ ස්වභාවය කැප කළ යුතු දැයි නුවණින් මෙනෙහි කරන්න. දීර්ඝ කාලයක් දුක් විඳින්න වන ස්වභාවය බැහැර කර ගැනීම පිණිස, කෙටි සැපතක් තාවකාලික සුවයක්, අත්හල යුතු නොවේ දැයි නුවණින් ම සිහිපත් කරන්න.

ධර්මානුකූලව ජීවත්වන කෙනෙකුට වර්තමාන පරිසරයෙහි පහසුවෙන් ජීවිත පවත්වා ගත හැකි දැයි ඔබේ සිතට, එනම් වඩාත්ම ධර්මය පුරුදු නොකළ සිතකට සිතිවිලි පැන නැගිය හැකිය. එක රාත්‍රියකින් සියලු බලාපොරොත්තු ඉටු කර ගත හැකි නොවුණත්, ධර්මානුකූලව ජීවිත පවත්වන කෙනෙකුට බොහෝ ධනයක් ඉක්මනින් නොලැබුණත් එහෙත් ධර්මානුකූලව ලබන ධනයෙන් ස්වල්ප වූ ධනයෙන් ලබන නමුත් ලබන සංතෘෂ්ටිය මහත් වන්නේය.

අධර්මයෙන් ලබන මන්දිරයක හෝ බාහිර වස්තූන් සමගින් ගිනිගනිමින් ව්‍යාකූල වූ මනසකින් ජීවත්වනවාට වඩා ධර්මානුකූලව ස්වල්පයක් නමුත් ලබා සතුටින් ගත කළ හැකි මානසික සුවයෙන් ජීවිතය පවත්වා ගත හැකියි. ඒ ජීවිත කාලය මොනතරම් අගනේ දැයි නුවණින් විමසා බලන්න. එමෙන් ම යම් කෙනෙකුට පස්පව් නොකොට ධර්මානුකූල ජීවිතයකින් ම මවුපියන්, අඹු දරුවන් වෙනුවෙන් හැකිතාක්දුරට යුතුකම් කළ නොහැක්කේ දැයි නුවණ මෙහෙයවා සිතන්න. හැබෑවටම ධර්මය දැක ගැනීමේ ඕනෑකමකින් යුක්තව ඔබ සිතන්නේ නම් මහා ධනස්කන්ධයක් ඉක්මනින් ම සපයා නොගත්තත් වාසය පිණිස තට්ටු නිවාසයක් තමා සතු නොකරගත්තත්, යාන වාහන නොලැබුණත් එහෙත් ධර්මානුකූල ජීවිතයක යුතුකම් සිදු කිරීමත් තමාගේ පහසු විහරණය පිණිසත් මාර්ගය සාදාගත හැකි වන්නේ ය. ඒ කෙසේ ද? මේ රටේත්, ලෝකයෙත් තවමත් සද්පුරුෂයෝ දුර්ලබ නොවෙති.

ඔබ සීලයේ පිහිටා සිටින ගුණයහපත් මනුෂ්‍යයෙක් නම්, සත්පුරුෂ ලෝකයාට එය හඳුනාගත හැකිවන්නේය. හදවතින් ම අවංක පස්පව්වලින් බැහැර වුණ ගුණයහපත් වූ මනුෂ්‍යයෙකුගේ ඇසෙහි බැල්ම පවා, වචනයේ හඬ පවා ඔහුගේ සිතේ ඇති යහපත් බව මතුකොට දක්වන්නේ ය. සද්පුරුෂ මනුෂ්‍යයෝ පමණක් නොවෙයි සම්‍යක්දෘෂ්ටික දෙවියන් පවා එවැනි අයට උදව් කරන බව උපකාර කරන බව පැහැදිළියි. යහපත් වූ මනුෂ්‍යයෝ එවැනි අයට උදව් කරති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නතුව ජීවිත පවත්වන වැඩි පිරිසක් වෙසෙන මේ රටේ බොහෝ මනුෂ්‍යයෝ නිතැතින් දානය පුරුදු කරති. ආර්ථික අපහුකම් ඇති අයට බොහෝ සේ උදව් උපකාර කරති.

එවැනි බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් සැදුම්ලත් සංවිධානත් බොහෝමයක් තිබේ. මේ නිසා සොර මැරකම් නොකොට කාමමිථ්‍යචාරයෙන් වැළකී සුරාවෙන් සූදුවෙන් බැහැර වී පැළක නමුත් සද්පුරුෂ, ධර්මානුකූල ජීවිතයක් පවත්වාගෙන තමනුත් සැනසී මවුපියන්, අඹු දරුවන් වෙනුවෙන් ද කටයුතු කළ හැකි වන්නේ නම් ඉන් ලබන සුවය මෙලොව පමණක් නොව පරලොවට ද යහපතක් වන බව මේ දහම් කතාවෙන් අප හැම කෙනෙක් ම දැඩි සේ තේරුම් ගත යුතු බව සිත්හි තබාගත යුතු බව මතුකොට දක්වනවා.

තවත් කොටසක් නවම් අවඅටවක පෝදා(පෙබරවාරි 18දා) පත්‍රයේ පළවේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]