UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

රටට ගෞරවය ගෙනෙන කොළඹ නවම් මහා පෙරහර

අසිරිමත් සම්බුදු සිරිතේත්, සම්බුද්ධ ශාසනයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවූ පූජනීය ඓතිහාසික දිනයකි. නවම්පුර පසළොස්වක පොහොය දිනය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම අගසවු තනතුරු ලබන ලද්දේ නවම් පුන් පෝදාකය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේද තථාගත බුදුපියාණන් වහන්සේ මහ සඟරුවන වෙත ඕවාද ප්‍රාතිමොක්ෂය දේශනා කරන ලද්දේද නවම් පුන්පෝදාකය.

නවම් මහ උදාවෙත්ම අපගේ සිහියට නැගෙන තවත් එක් වෙසෙසි කරුණක් වේ. එනම් කොළඹ නවම් මහා පෙරහර පිළිබඳවය.

කොළඹ නවම් මහ පෙරහර දශක හතරකට ආසන්න කාලයක සිට පවත්වා ගෙන එනු ලැබේ. කලකට පෙර ඇසළ පෙරහර නමින් ගංගාරාමය මගින් පෙරහරක් පවත්වා ඇත.

අපේ රටේ වෙනත් පෙරහරක් නොපැවැති මාසයක කොළඹ නවම් පෙරහරේ ආරම්භය සිදු විය.
ගංගාරාමාධිපති
ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමි
ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

කොළඹ ගංගාරාමයේ නම කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝත්, පොඩි හාමුදුරුවන්ගේ නම කී පමණින් ගංගාරාමයත් සිහියට නැගෙන තරමට කොළඹ නගරයට අලංකාරයක් ගෙන දීම සඳහා ගංගාරාමය යුගයේ අවශ්‍යතාවය අනුව නවීකරණය වෙමින් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩ නැගී ඇත.

ගංගාරාමයේ වත්මන් විහාරාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක හාමුදුරුවෝ දෙස් විදෙස් බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ පොඩි හාමුදුරුවෝ යන ගෞරවනීය නාමයෙනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ තවත් සුවිශේෂී යතීන්ද්‍රයන් වහන්සේ නමක්වන පොඩි හාමුදුරුවෝ ගංගාරාමයේ ඓතිහාසික නවෝදයේ නිර්මාතෘන් වහන්සේය.

ගංගාරාමය යම් දියුණුවක්, අභිවෘද්ධියක් ලබා තිබේ නම් ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ශක්තියේ සහ කැපවීමේ අගනා ප්‍රතිඵල වේ.

නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ වන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා මෙහෙයවීමෙන් නවම් මහා පෙරහර ආරම්භ වූයේ 1978 දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ මූලිකත්වයෙනි.

ගංගාරාමයේ නවම් මහා පෙරහර ආරම්භ වූයේ තෙරුවන් උදෙසා පවත්වන පූජෝපහාරයක් ලෙසිනි. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීමත්, බුදු පියාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහියට නඟමින් ධර්ම පුස්තක වැඩම කරවීම සහ සිය ගණනක් මහ සඟරුවන වැඩම කරවීමද නවම් මහා පෙරහරේ සුවිශේෂත්වයකි.

කොළඹ නගරයට අලංකාරයත් අපේ රටට, ගෞරවයත් නවම් මහා පෙරහර මගින් නිරන්තරයෙන් හිමි වන අතර විශාල වශයෙන් විදේශිකයන් නවම් මහා පෙරහර නැරඹීම වෙනුවෙන්ම මෙරටට පැමිණෙන කාලයක් බවට පත් වී ඇත.

උඩරට පහතරට, සබරගමු සම්ප්‍රදායන් ට අයත් සංස්කෘතිකාංග විවිධ නර්තන සම්ප්‍රදායන්ගෙන් සමන්විත නර්තන ශිල්පීන් හත් දහසකින් පමණ සමන්විතව අලි ඇතුන් සිය ගණනකට ආසන්නව සහභාගි කරවා ගනිමින් පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යය මගින් රටට මහත් ආශිර්වාදයක්ද හිමි වේ.

කලට වැසි ලැබී රටේ භෝග සශ්‍රීක වී රට බත බුලතින් සරුවේවායි යන මාහැඟි ප්‍රාර්ථනාවද නවම් මහා පෙරහර මංගල්‍යය පූජෝපහාරය සමඟ ප්‍රාර්ථනා කරනු ලැබේ.

නවම් මහා පෙරහර ආරම්භවීමට පෙර සති පිරිතත් මල්පෙරහර හතත් පවත්වා වාර්ෂික එම පෙරහර මංගල්‍යයට සූදානම්වීමද සිහිපත් කළ යුතුය.

පටුවාද භේද ඉවතලා ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්, සියලු ආගමිකයන් කොළඹ නවම් මහා පෙරහරට ඒකරාශි වේ. ආහාරපාන සැපයීම ප්‍රදේශවාසි සිංහල , මුස්ලිම් ජනතාව ඒකරාශි වී සිදු කරනු ලැබේ. සධාතුක කරඬුව හස්තියා මත තැන්පත් කරන සීමා මාලකය ඉදිකරනු ලැබුවේ මුස්ලිම් ජාතික පවුලක් මගිනි. ද්‍රවිඩ, සිංහල ජනතාව මෙන්ම විහාරස්ථ දායක සභාව ඒකරාශි වී සියලු කටයුතු සිදු කරනු ලැබේ.

නවම් මහා පෙරහරේදී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ගේ මූලිකත්වය ගන්නා සංවිධාන ශක්තිය ඒ තරුණ දරුවන්ගේ ශක්තිය වේ. එය එම දරුවන්ටත් නායකත්ව පුහුණුවක් වැනිය. විශේෂයෙන් ජිනරතන කාර්මික විද්‍යාලයේදි විවිධ ජාතින්ට අයත් දරුවන් අධ්‍යාපනය ලබන අතර ඒ සියලු දරුවන්ගේ පෙරහරට ඇති කැපවීම අගය කළ යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය , ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, නවම් මහා පෙරහරට ලබාදෙන දායකත්වය වෙසෙසින් අගය කළ යුතුය. ඒ සියලු දෙනා ගංගාරමයේ අරමුණු ඔස්සේ යමින් ඔවුන්ගේ සුවිශේෂ වු කාර්යභාරය මැනවින් ඉටුකර දෙනු ලැබේ. පෙරහර සඳහා ඇප කැපවී දායක වී කටයුතු කරන සියලු දෙනාට ආශිර්වාද කිරිමද අපගේ යුතුකමක් වේ.

පෙරහර යනු සංස්කෘතියක අනන්‍යතාවය ඉස්මතු කරන තැනකි. අලි ඇතුන් ගැන විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ අරමුණු ඇති කණ්ඩායම්වල විවිධ අදහස් මත පැවතියද ඒවා රජයේ මතය නොවේ.

අපගේ සංස්කෘතිකාංගයන් ආරක්ෂා කිරීම අපගේ වගකීමකි. ඒවා ගිලිහී ගියහොත් මතු පරපුරට ඒවා අහිමිවීමේ අවධානම පවතී. ඇතැම් විට හේවිසි, වෙස් නැටුම් ආදිය පින්කමකදී දැක ගත හැකි වුවද පෙරහරට ආවේණික නර්තන අංග පෙරහර නොපැවතියොත් අභාවයට යනු ඇත.

ඇතැම් විට පෙරහරකට වන වියදම ලොකු නාස්තියක් යැයි ඇතැමෙකුට සිතිය හැකිය. පෙරහරකට වියදම් කරන මුදල පෙරහර නැරඹීමට එන අය සහ නර්තන ශිල්පීන් අතර බෙදී ගියහොත් රුපියල් පහක් වැනි ඉතා සුළු මුදලක්වත් වියදම් වනවාදැයි යන කරුණ කල්පනා කර බැලිය යුතුය. පෙරහරකට දායකත්වය ලබාදීම අපගේ කලාකරුවන් නගා සිටුවීමට දෙන ධෛර්යකි. ඇතැම් විට නර්තන ශිල්පියාට ඇල්දියවත් නැතැයි යම් කෙනෙකුට සිතිය හැකිය. චෝදනා කළ හැකිය. සත්‍යය නම් පෙරහරක නර්තන ශිල්පියා ඉතා ශික්ෂණයකින් , කැපවීමකින්, හා පේවීමකින් පෙරහරට සහභාගි වීමයි. තෙරුවන් උදෙසා පූජෝපහාර දක්වන අවස්ථාවක තැන තැන නතරවී ඇල්වතුර බීමට හෝ වෙනත් යමක් කෑමට අපේක්ෂාවක් ඔවුන් තුළ නොපවතී. ඒ පිළිබඳ පසුගිය පෙරහරේදි එක්තරා මාධ්‍යවේදියෙකු එසේ ප්‍රශ්න කළ අවස්ථාවද මාගේ සිහියට නැගෙන අතර නවම් පෙරහර ආරම්භ වීමට පෙරත් අවසානයේදීත් ඒ ශිල්පීන්ට නොඅඩුව ආහාර සපයනු ලැබේ.

නර්තන ශිල්පීන්ට වේතන ලබා දෙන අතර, ඊට වඩා යමක් දෙනු ලැබේ. අලි බලා ගන්නා අයට බයිසිකලය, රූපවාහිනි යන්ත්‍රය, මහන මැෂිම, රන්පවුම ලබා දුන්නේ නවම් පෙරහර මගිනි. ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය සෙවිලි තහඩුද පිරිනැමීය. අතුරේ යාමත්, මුහුදේ යාමත්,අලි බැලීමත් එක හා සමාන රැකියාය. අනතුරු කොතැනකදැයි කිව නොහැකිය. ඒ නිසා ඒ අයට සහන ලබා දිය යුතුය. නර්තන ශිල්පීන්ට අවශ්‍ය ඇඳුම් අඩුපාඩු නම් ඒවාද නිර්මාණය කරදීමට කටයුතු කෙරෙන අතර ලබන වසරේ නර්තන පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද අපේක්ෂාව පවතී.

නවම් පෙරහරට අවශ්‍ය ආරක්ෂාව පොලීසිය සපයනු ලැබේ. සනීපාරක්ෂක පහසුකම්ද සලසා ඇත.

ලේක්හවුස් ආයතනය දක්වන සහාය අගයන අතර මාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් කිරීමට දක්වන සියලු සහායන් කෘතවේදීව සිහිපත් කරමු.

පෙබරවාරි 9 වනදා සහ 10 වනදා සවස 7 ට මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබීමෙන් කොළඹ නවම් මහා පෙරහර වීදි සංචාරය ආරම්භ කරනු ලැබේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]