UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙල්දූවේ සුමන නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරය ඇතුළු චතුර් විහාරාධිපති

දෙල්දූවේ සුමන නා හිමි

ශී‍්‍ර සන්නස්පත්‍ර ප්‍රදානය සහ
අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ
සංඝාවාසය විවෘත කිරීම
සුධර්මාරාම පුරාණ විහාරයේ දී 17 වැනි දින පෙරවරු 8 ට සිදු කෙරේ


ආදර්ශයෙන් සපිරි මහ තෙරනමක්

භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහිම ශාසනය ජෝතිමත් කළා වූ ශික්ෂාකාමී බහුශ්‍රැත මහා යතිවරයාණන් වහන්සේලා වෙත උන්වහන්සේලාගේ නෛසර්ගික ප්‍රතිභා ශක්තීන්ට අනුව වගකීම් හා තනතුරු ප්‍රදානය කිරීම සිදු කොට ඇත. ඒ මග ගනිමින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් පානදුර, මොරවින්න ශ්‍රී සුධර්මාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති පූජ්‍ය දෙල්දූවේ සුමන ස්ථවිරයන් වහන්සේට අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත පළමුවෙන්ම ආශිංසනය කරනු කැමැත්තෙමි.

මොරවින්න හා දෙල්දූව සංඝ පරම්පරාවේ අතීත මහා තෙරුන් වහන්සේලා ගමන් ගත් මගම යමින් ආගමික,ජාතික හා ශාසනික කාර්යභාරයක් කරන්නා වූ සුමන ස්ථවිරයන් වහන්සේ බණට දහමට මෙන්ම සමාජ සේවාවන්ට ජීවිතයම කැප කළ ආදර්ශයෙන් සපිරි මහා තෙරනමකි.

නිකායික සංවර්ධන කටයුතුවලට මෙන්ම විවිධ පළාත්වලට අසරණ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා හා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඉටු කරනු ලබන සේවය ගෞරව පූර්වකව සිහිපත් කරමි.

අභිනව නායක පදවිලාභී පූජ්‍ය දෙල්දූවේ සුමන ස්ථවිරයන් වහන්සේට තෙරුවන් ගුණ මහිමයෙන් දීර්ඝායු සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සම්මානනීය මෙහෙවරක් සිදුකර ඇත

පානදුර දිබ්බැද්ද සුධර්මාරාම පුරාණ විහාරාධිපති දෙල්දූවේ සුමන මහා ස්ථවිර පාදයන් වහන්සේ බුද්ධ ප්‍රත්‍රයෙකු ලෙස තම වගකීම් සම්භාරය මනාව තේරුම් ගෙන ශාසනික ජාතික හා අධ්‍යාපනික වශයෙන් සම්මානනීය මෙහෙවරක් සිදුකර ඇති යතිවරයාණ කෙනෙකි. අමරපුර සිරි සද්ධම්මවංස නිකායික තම භික්ෂු වංශයට හා තම ආචාර්ය පරම්පරාවට ද ඉමහත් කීර්තියක් අත්කර දෙමින් ශාසනික මෙහෙවරෙහි යෙදී සිටින දෙල්දූවේ සුමන මහා ස්ථවිර පාදයන් වහන්සේ ගම්වාසී බෞද්ධ ජනයාගේ ශ්‍රද්ධාව වැඩිදියුණු වීමට හේතුවන ආකාරයෙන් සුධර්මාරාම විහාරස්ථානය සියලු විහාරාංගවලින් සමන්විත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර ඇත. දරුවන් 1500 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන දහම් පාසල උන්වහන්සේගේ අධ්‍යාපනික සේවාවට කදිම නිදසුනකි. පෙර පාසල්, පුස්තකාල සේවාවල හා ගමේ සුබසාධන සේවාවලද අනුශාසකයාණෝ උන්වහන්සේය. සුමන ස්ථවිර පාදයන් වහන්සේ 50 වැනි වියට පා තබන විට සිදුකර ඇති ශාසනික ජාතික හා අධ්‍යාපනික සේවාව නිසා ඤාණරතන සෝමාලංකාර වංශාවතංශ ධම්ම විනායාචරිය යන ගරු නාම සම්මුතිය සහිතව අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තයෙක් වී සිටී. අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ අභිනව අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නායක මහා ස්ථවිර පාදයන් වහන්සේට තව තවත් ලෝක ශාසනික සේවාවන් සිදු කිරීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා දෙව් රැකවරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සේවය ඇගයීමක්

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරය ඇතුළු චතුර් විහාරාධිපති දෙල්දූවේ සුමන නායක මහා ස්ථවිරයාණන් වහන්සේ වෙත අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව අපගේ ආශිර්වාදය ප්‍රමුඛ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත්වෙමි.

අප අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකාය හා බැඳුනු සංඝපීතෘවරයාණන් වහන්සේලා රැසකගේ ආශිර්වාදය මධ්‍යයේ සැදුම්ලත් සුධර්මාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂ සතරකට ආසන්න අතීතයකට උරුමකම් කියන මනරම් පුණ්‍ය භූමියකි. එහි උත්තරීතර සංඝපරම්පරාව නියෝජනය කරමින් අප නිකායේ කාරක සංඝ සභික කළුතර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නාහිමි 1994 දී තත් විහාරාධිපති ධුරයට පත්ව සසුන්කෙත සරුකිරීම සඳහා ඉටුකරන ලද මෙහෙවර ප්‍රමාණ කළ නොහැක.

එදා මෙදා කාලය තුළ පතල විහාරාරාංගවලින් විහාරස්ථානය වර්ණවත් කරමින් ශාසනෝද්දීප්තිය, සදහම් අධ්‍යාපනය, සමාජ අභිවර්ධනය පිණිස සිදුකරන ලද සේවය අතිවිශිෂ්ට වූවකි. එහෙයින් එම සේවය ඇගයීමක් වශයෙන් අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකාය වෙතින්” ජිනසාසන කීර්ති ශ්‍රී නාගිත වංසෝද්භූත, ඤාණරතන, සෝමාලංකාර වංසාවතංස ධම්ම විනයාචරිය යන ගරු නාම සම්මුතිය සහිත අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව අපගේ සුභාශිංසනය පළ කර සිටිමු.


විහාරස්ථානය පුණ්‍ය නිකේතනයක් බවට පත් කළා

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානය ශතවර්ෂ හතරකට අධික ඉතිහාසයකට උරුමකම් කියන පෞරාණික පුණ්‍ය භූමියකි.

එදා, මෙදා තුර නැණවත්, ගුණවත්, සිල්වත්, යතිවරයන් වහන්සේලාගේ අධිපතිත්වයෙන් සහ අනුශාසකත්වයෙන් පෝෂණය වූ පානදුර දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානය ප්‍රමුඛ වාද්දුව මැලෑගම සුගත බිම්බාරාමය, දෙල්දූව ගණේවත්ත පුරාණ විහාරස්ථානය, බණ්ඩාරගම මස්විල ශෛලතලාරාමය යන විහාරස්ථානයන්හි වර්තමාන විහාරාධිපතිධුරය දෙල්දූවේ සුමන නායක ස්ථවිරයන් වහන්සේ විසින් හොබවනු ලබති.

උන්වහන්සේ තුළ පැවැති විශේෂ දක්ෂතාවයන් හැකියාවන් සහ සංඝශෝභන ගුණයෙන් යුත් යහපත් ගති පැවතුම් නිසා වසර හතරක් වැනි කෙටි කාලයකදී එනම් 1994 වර්ෂයේ එම විහාර ගණයේ සියලු විහාරස්ථානයන්හි විහාරාධිපති ධුරයට පත්වූහ.

ගතවූ කාලය තුළ විහාරස්ථානය සියලු විහාරාංගයන් ගෙන් සමන්විත පුණ්‍ය නිකේතනයක් බවට පත්කළ සුමන නායක ස්ථවිරයෝ බොදු දරුවන් 1200 කට අධික පිරිසකගේ නැණ නුවණ පාදන සුභාෂෝදය දහම් පාසල අද්විතීය දහම් පාසලක් බවට පත් කිරීමට සමත්ව ඇත.

ශාසනෝද්දීප්තියට සහ සමාජාභිවර්ධනයට කරනලද විශාල සේවය අගයමින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් “ජිනශාසන කීර්ති ශ්‍රී නාගිත වංසෝද්භූත ඤාණරතන සෝමාලංකාර වංසාවතංස ධම්ම විනයාචරිය ගරු නාම සම්මුතිය සහිත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම උන්වහන්සේ කළ සේවාවන් ඇගයීමට ලක් කිරීමක් මෙන්ම එකී සේවාවන් ඉදිරියට කරගෙන යාමට මහත්වූ ශක්තියක් වන බව අපගේ විශ්වාසයයි.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නායක ස්ථවිරයන් වහන්සේට ඉදිරියටත් ශක්තිමත්ව ජාතික ආගමික, සාමාජික කටයුතු කරගෙන යාමට තෙරුවන් සරණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අටමස්ථාන, සොළොස්මස්ථාන , දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවනය සැලසේවා.!

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]