UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2016.07.11

ආධ්‍යාත්මික සුවය

මනුෂ්‍යයා උපතේ සිට විපත දක්වාම මෙලොව දියුණුව, යහපත,අභිවෘද්ධිය සඳහා මහත් වෙහෙසට පත්වේ. ඒ නිසාම මහත් ආයාසයෙන් භෞතිකව ධනය එක් රැස් කර ගනු ලැබේ. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා අපේක්ෂා කරන දියුණුව නම් භෞතික සැප සම්පත් පමණක්ම නොවේ.

ආර්ථික දියුණුව උදාකර ගැනීමට බුදුදහමෙන් බාධාවක් නොවේ. ධනය උපයා සපයා ගත යුත්තේ දහඩිය වගුරුවා වෙහෙස මහන්සිවීමෙනි. දැහැමිව ධනෝපායනය මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතයටද සැනසිල්ලක්ම වන්නේය.

වංක සිතෙන් උපයන, සොයන ධනය කොතෙක් ඉපැයුවද ඒ පිළිබඳ තම සිතටම මහත් වදයක් දෙයි. සාධාරණයෙන් තොරව විවිධ උපක්‍රම මඟින් සොයන ධනය නිසාම කිසිදු සැනසීමක් නොලැබේ. එසේ උපයන ධනයෙන් හැම විට පසුතැවිල්ලටම ලක්වේ. ඇතැම් විට අධාර්මිකව ධනය උපයා ගැනීමෙන් නීතියේ රැහැනට හසුවී කිත් පැසසුම් වෙනුවට සමාජමය වශයෙන් මහත් අපහසුතාවයට අපකීර්තියට පත්වීම නොවැළැක්විය හැකිය. පුහුදුන් සිතට ධනය කෙතරම් ලැබුණද සෑහීමට පත්නොවීම සිරිතය. එසේ ධනයට වහලෙකු වී අධාර්මිකව ධනය උපයාගැනීම නිසාම නීතිමය වශයෙන්ද කිසිදු පිළිසරණක් හිමි නොවේ. ඉහත සඳහන් කළ පරිදි මෙලොව වශයෙන් මහත් අපහසුතාවයටම පත්වේ. මොහොතක් පාසා තමාට කවර නම් ගැටලුවකට මුහුණදීමට සිදුවේදැයි මහත් පසුතැවිල්ලෙන්ම කාලය ගත කිරීමට සිදුවීම නොවැළැක්විය හැකිය.

ආර්ථික දියුණුව අගයා කවර හෝ අයුරකින් ධනය හරි හම්බ කරගත්තද එසේ ලබන දියුණුවට වඩා පරිහානියට පත්වීම ස්වභාවය වේ. කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ” යනුවෙන් බෞද්ධයා නිතර දැනුම්වත්ව සිටින හෙයින් අධාර්මිකව ධනය ඉපයීමට සිත යොමුකිරීමෙන් වැළකිය යුතුය. අධාර්මිකව ධනය විවිධාකාරයෙන් උපයා ගත හැකිය.

එසේ අධාර්මිකව ධනය උපයන්නා කවදා හෝ එබඳු ක්‍රියාවකින්ම දුක් විඳින්නට සිදුවන බව අවබෝධ කර නොගැනීමෙන් විපතෙන් විපතටම පත්වේ. නිවැරැදි දැහැමි දිවි ගෙවන්නා අනවශ්‍ය යමක් කරන්නට පෙර වරක් නොව දෙතුන් වරක් ඒ ගැන සිතා බැලීමට පෙළඹීමෙන් වරදෙන් ඈත්වීමට හැකියාව ලැබෙනු ඇත. වරදට අයහපතට බියනැත්තා විවිධ වරදෙහි යෙදෙමින් ධනය උපයාගැනීමට පෙළඹේ. එහෙත් අවසානයේ ඉන් සිදුවන හානිය පාඩුව මිල මුදලකට සීමාකළ නොහැකිමය.

අත්ථි සුඛ , භෝග සුඛ,අනණ සුඛ සහ අනවජ්ජ සුඛය යැයි සැප හතරක් පිළිබඳ දහමෙහි විස්තර කෙරේ. නිවැරැදිව දැහැමිව ධනය උපයන මනුෂ්‍යයා ලද පමණින් සෑහීමට පත්වේ. සතුටට පත්වේ. අධර්මයෙන් ධනය උපයාගැනීමට මහන්සි නොගනී. එකේන භොගෙ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති. යනුවෙන් විස්තරවන ආකාරයට ධනය උපයා පරිභෝග කළ යුතුවේ.

දැහැමිව ධනය උපයන මාවතෙන් බැහැරව වංචනිකව සොර සිතින් උපයන ධනයෙන් තමාට හෝ නමින් පැවැත එන්නෙකුටවත් සතුටෙන් යහපත් ජීවිතයක් ගත කළ හැකි නොවේ. අනුනට කරදර හිංසා පීඩා කර උපයන ධනයෙන් ඇති ඵලය කුමක්ද? කා බී සතුටුවීම පමණක් ජීවිතයක අරමුණ නොවිය යුතුය. ජීවිතයක් ජීවත්කරවීමට වඩා යහපතක් කළ හැකිය.

තමා කළ කී දේ තමා පසුපසම එන සෙවණැල්ල මෙනි. එබැවින් ආධ්‍යාත්මික වශයෙන් ගතට සිතට සහනය ගෙන දෙන ක්‍රියාවන්හි යෙදුණු තරමට මෙලොව ජීවිතය සාර්ථකත්වයට පත්වන බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුවේ.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]