UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හිනිදුම තිලකානන්ද නා හිමි

පනන්ගල ගංගාරාම පිරිවෙන් විහාරාධිපති තවලම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ශාස්ත්‍රවේදී හිනිදුම තිලකානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සභාවේ සමානච්ඡන්දයෙන් ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය “සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරානන්ද” යන ගෞරව නාමය සහිතව පත් කොට වදාළ බැවින් ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2016 මැයි මස 10 වන දින පස්වරු 2.30 ට මහනුවර මල්වතු මහා විහාරයේදීද අභිනව නා හිමියන් පිළිගැනීමේ උත්සවය ගාල්ල පනන්ගල ගංගාරාම පිරිවෙන් විහාරයේ දී 2016 මැයි 14 වන දින පස්වරු 3.00 ට වල්ගම්පාය අභයරාජ පිරිවෙන් විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාරාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සංවිධානය කර ඇත.

හිනිදුම ගමේ පියසේන විලේගේ පියාට සහ කරුණාවතී ගුණසේකර මෑණියන්ගේ පුතණුවන් ලෙස හිමියන් 1959 අප්‍රේල් මස 15 වන දින උපත ලබා ගා/මල්ලිකා මහා විද්‍යාලයෙන් (හිනිදුම) මූලික අධ්‍යාපනය ලද අතර 1970.05.20 දින පනන්ගල ගංගාරාම විහාරයේදී හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පනන්ගල විපුලතිස්ස නා හිමියන්ගේ සහ රාජකීය පණ්ඩිත කනංකේ වජිරඤාණ නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස හිනිදුම තිලකානන්ද නමින් පැවිදි විය. 1982 ජුනි මස 27 වන දින උපසම්පදාව ලැබු අතර මූලික ධර්ම ශාස්ත්‍රය පනන්ගල ගංගාරාම පිරිවෙනෙන් ලබා ගාල්ල විද්‍යාලෝක පිරිවෙන හා රත්මලාන පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත් තිලකානන්ද හිමියන් තම ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු 1993.11.14 දින විහාරාධිපති පදවියට පත්ව ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයේ ආරාම ගොඩනැගිලි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කොට විදුලිය ලබාගෙන අභිනව විහාර මන්දිරය සකසා දර්ශනීය රමණීය විහාරස්ථානයක් බවට පත්කොට ගංගාරාම පිරිවෙන මහා පිරිවෙණක් බවට පත්කොට කළ මෙහෙය අති විශාලය.

පන්සල පිරිවෙන පමණක් නොව රජයේ විශේෂ අවධානය ලබාගෙන ගිංගඟ හරහා පාලම දැමීම සඳහා ගත් වෙහෙස ප්‍රශංසා කටයුතුය. මංමාවත් ඉදි කිරීම සඳහා වගකිවයුත්තාගේ අවධානය යොමුකොට ගමට, පළාතට විශේෂ නායකත්වයක් ලබාදුන් තිලකානන්ද හිමියන් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 40 නමක් සසුනට එක්කර ඇත.උගත් ,විනයධර,ධර්මධර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ ,පාසල්, පිරිවෙන් හි සේවය කරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඒ අතර වේ.

පළාතේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට මාසිකව ශිෂ්‍යත්ව ප්‍රදානයන් කරනු ලබයි.

මෙලෙස රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ මෙහෙය අගය කළ මල්වතු මහා විහාරයෙන් “සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරඤාණ” යන ගෞරව නාමය සහිතව ගාලු, මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියට හිනිදුම තිලකානන්ද හිමියන් පත් කෙරිණි.


යක්විල සෝමාලෝක නා හිමි

වල්බෝතලේ පොත්ගුල් රජමහා විහාරය, උඩවෙල බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, කඳන්ගමුවේ ශාක්‍ය සිංහාරාම පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති සීනාදි සිව්කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක යක්විල විමලකීර්ති ශී‍්‍ර සරණපාල සෝමාලෝකාභිධනා නායක හිමිපාණන් වහන්සේ 2016.07.13 දින තම දිවිමගේ පන්සැත්තෑවියට පා තබන්නාහ. 1941.07.13 දින සත්කෝර මහදිසාවේ කටුගලම්පල මැදපත්තු බස්නාහිර කෝරළයේ යක්විල ඓතිහාසික ග්‍රාමවරයේ දී පින්වත් කුමරෙකු උපත ලබන ලදී. නමින් ජයසුරීය ආරච්චිලාගේ ඇඩ්මන් සිඤ්ඤෝ නම් විය. කිතලහිටියාව රජයේ කනිටු විදුහලෙන් ගිහි අධ්‍යාපනය හදාළ මෙම කුමරුට කුඩා කලම පැවිදිවීමේ භාග්‍ය උදාවිය. 1956.07.16 දින උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ. කල්එළියේ ඤාණානන්ද, විල්වත්තේ පියදස්සි අළුතෑපොල පේමරතන, කරවිලකුඹූරේ සරණපාල යන නාහිමිවරුන් ඇදුරු කොටගෙන සෝමාලෝක යන ශාසනික නාමයෙන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වුහ.

නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙනින් මූලික හා විද්‍යෝද මහ පිරිවෙනින් උසස් ලෙස ධර්ම විනය භාෂා ශබ්ද ශාස්ත්‍ර හදාළහ. සපිරි විසි වයස් ඇති සෝමාලෝක හෙරණපාණන් වහන්සේ මහනුවර අස්ගිරි මහා විහාර පොහෝ සීමාවේ දී යටවත්තේ ධම්මරතන මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි ගුරුවරුන් ඇදුරු කොටගෙන 1962.07.13 දින උතුම් උපසම්පදාව ලබා ගත්හ. වල්බෝතලේ විහාරස්ථානයේ නිත්‍ය නේවාසිකව තම ගුරුදේව සරණපාල මාහිමියන්ට සහාය වෙමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරමින් ලෝසසුන් සිදුවනුයේ අපිරිමිත මෙහෙවරකි. නාහිමියන්ගේ ආධිපත්‍ය යටතේ පවතින විහාරස්ථාන උඩවෙල බෝධිරුක්ඛාරාමය, කඳන්ගමුවේ ශාක්‍ය සිංහාරාමය, වල්බෝතලේ සුනන්ද දහම්පාසල නැවත පුණරුත්තාපනය කොට ප්‍රදේශවාසී දරු දැරියන්ගේ දහම් ඇස පාදාලීමට නාහිමියන්, උත්සුක වූහ. එපමණකුදු නොව තමන් වහන්සේට අයත් අනෙකුත් විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කොට නගාසිටුවන ලදී. දොළඋඩ ශ්‍රී සුමංගල දහම් පාසල ද 1978 වසරේදී අරඹන ලද්දේද සෝමාලෝක නාහිමියන් විසිනි. දොළඋඩ විහාරස්ථානයේ චෛත්‍ය රාජයන් හා උඩවෙල චෛත්‍යරාජයන් ඉදිකරවන ලද්දේද උන්වහන්සේයි.

පන්සැත්තෑවිය සපිරි වල්බෝතලේ පාරම්පරික කලා ශිල්ප ආරක්ෂා කරගැනීම සඳහා කලායතනයක් ඇරඹීම සෑම පසලොස්වක පොහෝ දිනකම දාන, සීල, භාවනා වැඩසටහන් සංවිධානය කිරීම ගමේ පොදුකටයුතු සඳහා විශේෂයෙන් ළිං තුනක් ඉදිකිරීමට හා සමිති ශාලා දෙකක් ඉදිකිරීමට ඉඩම් පරිත්‍යාග කිරීම වල්බෝතලේ විහාරස්ථානය ජලනළ පද්ධතියක් හා පිවිසුම් මාර්ග දෙකක් ඉදිකරවීම පෞරාණික විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම බෝධින් වහන්සේ වටා ප්‍රාකාරයක් ඉදිකරවීම දෙමහල් දාන ශාලාව ඉදිකරවීම පෞරාණික විෂ්ණු දේවාලය ඇතුළු සතර දේවාල ඉදිකරවීම, වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ගම්මඩු මංගල්‍යය. හිසතෙල් ගෑමේ මංගල්‍යය සෑම වසරකම ජනවාරි පළමුවැනි දා රටට සෙත්පතා විශේෂ බෝධිපූජාවක් හා දේව පූජාවක් පැවැත්වීම සෑම වසරේ ම මාර්තු මාසයේ නෙළුම් මල් පූජාවක් පැවැත්වීම ළමා පුස්තකාලයක් ආරම්භ කිරීම දහම් පාසල් සිසුන් සඳහා සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීම නාහිමියන්ගේ ලෝ සසුන් සේවාවන්ය.

මෙවන් උතුම් සේවාවන්ට උපහාර වශයෙන් මහනුවර අස්ගිරි මහා විහාරිය මහානායක මාහිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් සෝමාලෝක හිමියන් විමලකීර්ති ශ්‍රී සරණපාල යන ගෞරව නාමය සහිත සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් කළහ. තම දිවිමගේ පන්සැත්තෑ වියටත්, පැවිදි දිවියේ සැට වියත් උපසපන් දිවියේ සිව්පනස් වියටත් පා තබා වැඩවසන යක්විල සෝමාලෝක නාහිමියන්ට 2016.06.18 දින දොළඋඩ විහාරස්ථානයේදී ගුරු උපහාරයෙන් පිදුම් කිරීමට නියමිතය. නාහිමියන්ට ශතාධික කාලයක් ලෝසසුන් වැඩ සිදුකිරීමට තුනුරුවන් බෙලෙන් දිගාසිරි ලැබේවා.


තුත්තිරිපිටියේ ඤාණාරාම නාහිමි

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල තුත්තිරිපිටිය ගම්මානයේ මොහොට්ටිහාමි හා යසෝහාමි දම්පතීන්ට 1926.05.17 දින තම පවුලේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන ලෙස පුත්රුවනක් ලැබීය. මූලික අධ්‍යාපන කටයුතු තුත්තිරිපිටිය පාසලෙන් ලැබූ අතර පාසල් අධ්‍යාපනයට වඩා පැවිදි දම් පිරීමට වැඩි ආශාවක් දක්වන බව වටහා ගත් මව්පියන් තම පුත් කුමරා නිවිතිගල ඤාණතිලක නාහිමියන් වෙත භාර කරන ලදී. උගත මනා බණ දහම් පොත් මනා ලෙස ප්‍රගුණ කරමින් 1944.11.22 දින ඵලමල්දෙණියේ සුමේධාලංකාර නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මාතර චන්ද්‍රාරාම, නිවිතිගල ඤාණතිලක නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් තුත්තුරිපිටියේ ඤාණාරාම නමින් සසුන් ගතවිය.

මූලික පිරිවෙන් අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන පිරිවෙනට ඇතුළත් වූ අතර පිරිවෙන් අවසාන විභාග කටයුතු සඳහා බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවන ලදී. එහිදී මාබෝදලේ ධම්මාලෝක නාහිමියන්ගේ සමීප ඇසුර මත බුළුගහපිටිය ගම් ප්‍රදේශයේ දායක දායිකා පිරිස සමඟ එක්ව ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවා ගම් ප්‍රදේශය දියුණු තත්වයකට ගෙන ඒමට සමත් විය. රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙන්හි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර 1962 දී රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී ගුරු පුහුණුව ලදහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් විසින් පැල්මඩුල්ල පාතකඩ භික්ෂු පුහුණු ආයතනය ආරම්භ කිරීමෙන් පසු එහි ආචාර්ය මණ්ඩලයට එක්වීමට අවස්ථාව සැලසිණි.

පාතකඩ,දේවාලේගම, සිංගප්පුලිකන්ද, සමනලගම ඇතුළු අවට ගම්මාන රාශියකම ආගමික සමාජ සේවා පොදු වැඩ කටයුතුවලදී ඉමහත් සේවාවක් ඉටු කරයි. රත්නපුර ප්‍රාදේශීය සංඝ සභාවේ ද නිලතල උසුලන අතර අණුවිජ්ජක ධුරයෙන් ද පිදුම් ලබා ඇත. දීර්ඝ කාලයක සිට ශ්‍රී ඤාණසීහ භික්ෂු පුහුණුූ ආයතනයේ විහාරාධිපති වශයෙන් කටයුතු කරන නාහිමියන් මැයි 17 දිනට 87 වියට එළඹීම නිමිතිකොට නාහිමියන් විසින් ඉටුකරන සේවාවන් තවදුරටත් කරගෙන යාමට නිරෝගි සම්පත්තිය මෙන්ම සියලු ආශිර්වාද ලැබේවා.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]