UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මම හොඳ බොදු දරුවෙක් වෙමි


උගන්වා දහම් පෙළ
චරිතය සුචරිතය කළ
මගෙ දහම් පාසල
සුචරිතෝදය නමින් නම්කළ

පොතපතේ කරුණු
වෙනත් බාහිර කරුණු
ගුණ දහම බෙදුනු
තැනකි පන්සල ගමට ලැබුණු

ගුණ දහම හුරු කළ
තුන්දොරින් වන වැරැදි දුරු කළ
හොඳ දරුවො බිහි කළ
සුචරිතෝදය දහම් පාසල

උදෑසන පිබිදෙමි
දිය ගෙන මුහුණ සෝදමි
තුනුරුවන් නමදිමි
එයින් පසු ගෙය මිදුල අමදිමි

අහර කිස නිම වෙලා
සුදු වතින් සැරසිළා
මව්පියන් නැමදලා
පිය නගම් සිප්හල බලා

ගුරුනට කීකරු වෙලා
දහම් පොතපත ඇසුරු කරලා
දෙගුරු සිත් නොතලා
සිටිමි බොදු දරුවෙක් වෙලා


රැක ගනු මැනවි! සිත


ඇතුළත පිටත රැකවල් කර තම නුවර
රකිනා රජෙකු මෙන් රැකගනු සිත පවර
දුලභ උතුම් මිනිසත් බව ලද මොහොත
නොම රැකුණොත් නියතයි දුගතියෙ උපත


පුදුම සතා


හැම සතුන්ටම උන්ටම හිමි
ගති සිරිත් තිබේ
ඒ නිසාම උන් වෙන්කර
හැඳිනිය හැකිවේ
කොට්ටෝරුවා ගහට කොටයි
කොකා වෙලේ මාළු බායි
කපුටා හැම දෙයක් ම කයි
බල්ලා බුරා ඇඟට පනියි
පූසා මීයන් අල්ලයි
මොනරා යස රැඟුම් පායි
කටුස්සා පාට වෙනස් කරයි
කුකුළා කුක් කූ කූ කියයි
මිනිහා හැඳිනිය නොහැකියි.
එකක් කියා එකක් කරයි
විශ්වාසය තැබිය නොහැකියි.
හැඳිනිය නොහැකි සතා ඔහුයි
බොරුවෙන් සිත් මුලා කරයි
අරුම පුදුම සතා ඔහුයි


හොඳම පාසල

දියුණු යයි පතලව නමක්
තිබෙණමුත් පාසල් ගොඩක්
දහම් පාසල වැනි තැනක්
වෙන ඇතිද සිතනුය ටිකක්

දැනුම ඇතිමුත් පත පොතින්
ඇසුර ලද මුත් ප¼ඩි වෙතින්
හිඟේ ඇති නම් යහ ගුණෙන්
එවන් හදකින් පල කොයින්

ගුරුවරුන් හට සළකනා
මව් පියන් ගුණ හඳුනනා
හොඳ ළමුන් බිහිවෙන තැනා
තැන දහම් පාසල විනා

දිනෙක රැකියා නැති වුනත්
තැනේ ඉසුරින් පිරි සිතක්
නොවරදිනු ඇත කිසිවිටත්
දහම් පාසල වෙත ගියොත්

පින් සුවඳ දසතින් හමයි
දම් සිතුම් හදවත් තෙමයි
හිතින් යා යුතු බොදු ළමයි
දහම් පාසල ඒ බිමයි

ලැබූ දිවියෙන් පල ඇතී
දිනූ පොළොවට ණය නැතී
හොඳම අයමල් සුවඳැතී
දහම් සෙවණින් බිහිවෙතී


නතුකර පිළිවෙතෙහි සිත යමු නිවන් පුර


අමදම් පහන් එළියෙන් දුරුකර අඳුරූ
නිමනැති මෙබව දුක දුරු කළ තිලොව ගුරූ
දමනය කළේ සුර තර බඹ ගරුඩ වරූ
සහනය ලබා දුන් මැදි මාවතෙහි ගුරූ

මහ කරුණා ගුණෙන් සව්ලෝ සතා වෙත
පහදා දහම් මැදි පිළිවෙත හිමි සුගත
විහිදා කිරණ රැස් දහරා ලොව දසත
හැමදා මෙමට සරණයි කරුණා දෙනෙත

සුරනර අසුර බඹ නායක් ගරුඩ ගුරූ
පුර පස සඳ ලෙසට තුන්ලොව එකලු කෙරූ
ජර මරු පැරදවු අජරාමරයෙ ගුරූ
සරණයි හිමි සඳුනි මට වෙන නොමැත ගුරූ

මස් ලේ ඇට මිදුලු වකුගඩු අතුනු බහන්
හිස් අවකාශයක නවදොර තබන ලදින්
තිස් දෙකකින් යුතුවූ කුණපය සිරුර මැදින්
පස්විසි මහ බයක පැටලෙයි මෙමනු සතුන්

අතහැර දෙතිස් කුණුපය සමග නවදොර
ගත කරනා විටදි මැදි මාවත වැතිර
සිත කය වචන යන තුන්දොර රැක නිතර
නතු කර පිළිවෙතෙහි සිත යමු නිවන්පුර

මෙත් බල පතුරවා තිලොවට එළිය දිදී
ගත් මැදි මගෙහි චතුසත් නම් දහම් පොදී
සිත් සනසවා මැදිමාවත ගමන දිදී
අත් මුදුනත් තබා හැම දෙවි මුණිඳු වඳී


ආලෝකය

ආලෝකයෙන් ආලෝකයට යන්න
බුදු හිමි පෙන්නු මග තියෙනවා ඔන්න
සතර පෝය දිනයට පන්සල් යන්න
හිමිගිය මග ගොසින් සසරෙන් ගොඩ වෙන්න

හොඳ වැඩ කෙරුවොතින් සුගතියේ උප දින්නේ
පව් වැඩ කෙරුවොතින් දුගතියේමයි යන්නේ
දහම් පොතේ අගේට ලියලා තිබුණේ
තේරුම් ගන්න එය කියවා හොඳට අනේ

මනු ලොව ඉපදුනේ පෙර පින් තිබු හින්දයි
ඒ කුසලය තව තව වැඩි කළොත් හොඳයි
සිත පහදවා ගෙන සිටියොත් නිවනේ රැඳෙයි
ත්‍රිවිධ රත්නෙ ගුණ සැමටම රැක දෙයි

අඳුරේ ගිලි ගිලී ඉන්නට නොසි තන්න
ආලෝකයට බුදු පහනක් වන්න
සසරෙන් මිදී ආලෝකයේ උප දින්න
සතුටින් පුළුවනිය නිවනේ සැන සෙන්න

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]