UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුපසන් ජීවිතයකට 24 අශ්‍රැතවත් ජීවිතයකට රැකවරණය යහපත් සිහියයි

අශ්‍රැතවත් ජීවිතයකට රැකවරණය යහපත් සිහියයි

සුපසන් ජීවිතයක කතා පෙළෙහි අද ඔබට ඉදිරිපත් කරන්නේ කුම්මෝපම සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සදහම් කතාවක්. සැනසිල්ල සොයාගෙන යන අප සෑම කෙනෙකුට ම මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් සිතත් එහි පැවැත්මත්, සැබෑ සංතෘෂ්ටියත් පිළිබඳව දෙසූ දහම මහත් සේ අශ්‍රැතවත් ජීවිතවලට උපකාර වෙනවා.

සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුක්තයට අයත් ආසිවිස වර්ගයේ කුම්මෝපම සූත්‍ර දේශනාව සිදු කරන්නෙ ඉදිඹුවෙක් හෙවත් ඉබ්බෙක් උපමා කරගෙනයි. මෙසේ ඉදිඹුවෙක් උපමා කරගෙන දේශනා කරන දහම් කතාව අපේ ජීවිතවලට ගලපා ගැනීමේ දී මිල මුදල් බොහෝමයකින් ලබන්න බැරි මානසික සුවයත් ඒ නිසා ම ලබන කායික නීරෝගී සුවයත් අපට ඇති කරගන්නට පුළුවනි.

තථාගත බුදුරජාණන් වහන්සේ විවිධ උපමාවන් දක්වන්නේ මිනිස් සිත තේරුම් අරගෙනයි. අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයෙන් පසුවන මනුෂ්‍යයන්ට උපමාවකින් දහම් කතාවක් පෙන්වා දුන්නහම එය මනාසේ මතකයේ රැඳෙනවා. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මෙවැනි උපමා ගෙනහැර දක්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, පෙර සිදු වූවක් අද දවසේ මම දේශනා කරනවා. ඉදිඹුවෙක් හෙවත් ඉබ්බෙක් සවස් වෙලාවෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදී සිටියා. ඒ වෙලාවෙහිම සිවලෙකුත් ඒ ගං ඉවුරෙහි ම ගොදුරු සෙවීමෙහි යෙදී සිටියා. ඉදිඹුවා ගොදුරු සෙවීමෙහි යෙදී සිටින බව සිවලා විසින් දුරදීම දුටුවා. ඉදිඹුවා කුමක් ද සිද්ධ කළේ, ඉදිඹුවා විසින් සිවලා දැකගෙන තම හිස පස්වැනි කොට ඇති අවයව ඉබිකටුව තුළ රුවාගෙන නිසොල්මන්ව ම එකතැනකට ම වී සිටියා. සිවලා ඉදිඹුවා ළඟට පැමිණ වැරදිලා හෝ හිස පස්වැනි කොට ඇති මේ අවයවයන්ගෙන් පා සතරෙන් එක ද පාදයක් හෝ පිටතට දැමුවොත් එය ඩැහැගෙන කඩා කන්නෙමියි කියන අදහසින් සිවලා ඉදිඹුවා ළඟට වී බොහෝ වෙලාවක් බලාගෙන සිටියා.

එහෙත් ඉදිඹුවා මනා වූ සිහියක් පවත්වාගෙන එනම් තමාට ඇති අනතුර පිළිබඳව මනාව සිහිය පිහිටුවාගෙන එක ද අවයවයක් හෝ ඉබිකටුව තුළින් එළියට නොදමා නිසොල්මන්ව ම එහිම රැඳී සිටියා. බොහෝ වෙලාවක් ඉදිඹුවා සමීපයට වී බලා සිටි සිවලා ඉදිඹුවා අතහැර යන්නට ගියා. මේ කතාව උපමාවට අරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ අපට මේ ආකාරයෙන් පෙන්වා දෙනවා.

මහණෙනි, අන්න ඒ වගේ ම නුඹලා වෙත ද පවිටු මාරයා පැමිණ තියෙනවා. පටිටු මාරයා නුඹලා වෙතට පැමිණිලා මේ විදිහට සිතනවා. මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබන්නේ නම් කනින් හෝ ඉඩක් ලබන්නේ නම් නාසයෙන් හෝ ඉඩක් ලබන්නේ නම් දිවෙන් හෝ ඉඩක් ලබන්නේ නම් කයින් හෝ ඉඩක් ලබන්නේ නම් සිතින් හෝ ඉඩක් ලබන්නේ නම් මැනවැයි නිතරම එළඹ සිටියේ වෙයි. එනම් ඇස ළඟ නතර වී සිටිනවා. කන ළඟ නතර වී සිටිනවා. නාසය ළඟ නතර වී සිටිනවා. දිව ළඟ නතර වී සිටිනවා. කය ළඟ නතර වී සිටිනවා. ඒ වගේ ම සිත ළඟත් නතර වී සිටිනවා.

මී ළඟට භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙහෙම දේශනා කරනවා. මහණෙනි, ඒ නිසා ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතිව වාසය කරන්න.

තස්මාතිහ භික්ඛවේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා
විහරථ චක්ඛුනා රූපං දිස්වා මා
නිමිත්තග්ගාහිනො අහුවත්ථ

නැවතත් සඳහන් කළොත් මහණෙනි, මේ නිසා ඉන්ද්‍රියන්ගේ වැසූ දොර ඇතිව වාසය කරන්න. ඇසෙන් රූප දැක නිමිති වශයෙන් ගන්නට එපා. අනුව්‍යංජන වශයෙන් ගන්නට එපා. යමක් හේතුකොටගෙන ඇසෙහි විවෘත බවක් ඇතිවෙයි. අභිජ්ඣා දෝමනස්ස එනම් දැඩි වූ ආශාවන් හා දොම්නස ඇති වුණා නම් එහි සංවරය පිණිස පිළිවෙත් මඟට එන්න. ඇස ආරක්ෂා කරන්න. ඇසෙහි සංවර බවට පැමිණෙන්නට යැයි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් පෙන්වා දෙනවා.

ඒ වගේ ම කනෙන් ආරක්ෂා වීමක් නැතිව යම් විටක අභිජ්ඣා දෝමනස්ස දැඩි වූ ආශාවන් හා දොම්නස් එනම් පටිඝය දැඩි තරහව සිතිවිලි සිතට ගලාගෙන එනවා නම් කනෙහි සංවර බවට එන්න. ඒ වගේ ම කන ආරක්ෂා කරන්න. ඒ අරමුණුවලට හසුවන්නට ඉඩ තබන්න එපා. මේ ආකාරයෙන් නාසයෙනුත්, දිවෙනුත්, කයෙනුත්, මනසිනුත්, මරුවාගෙන් ආරක්ෂා වෙන්නට යැයි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරනවා. පෙන්වා දෙනවා.

මේ උපමා කතාව අපට දහම් විවරණයක් කොට ගෙන යහපත් වූ ජීවිතයකට කායික මානසික සුවයන් පිණිස හේතු වන්නේ කෙසේ දැයි සලකා බලන්නට පුළුවනි. මුලින් සඳහන් කළ ඉදිඹුවා උපමා කළ දහම් කතාව ඔබට මතකයි. ඉදිඹුවා තිරිසන් සතෙක් වුවත් සිවලාගෙන් සිදුවිය හැකි අනතුර පිළිබඳව මනා වූ අවබෝධයක් ලබාගෙන සිටියා. ඒ නිසායි වැරැදිලාවත් හිස හෝ එක ද පාදයක් හෝ එළියට නොදමා කුසගින්නේ නමුත් බොහෝ වෙලාවක් එක තැනම නිසොල්මන්ව සිටියේ. යම් විටක ඉදිඹුවා විසින් අමතක වීමකින් හෝ නොසැලකිල්ල නිසා හෝ කුසගිනි වැඩි නිසයි පවසමින් හෝ එක ද පාදයක් හෝ හිස හෝ එළියට දැමුවා නම් සිවලා විසින් කඩාගෙන කන්නට හෝ ගොදුරු කරගන්නට හෝ ඉඩ තිබුණා. ඉදිඹුවාට සිදුවන්නේ මරණයට පත්වීමටයි.

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට මහත් වූ කරුණාවෙන් අනුශාසනා කරනවා, නුඹලා හැම කෙනෙක් ම සංසාරගමනෙහි බලවත් ලෙස පින්දහම් සිදුකොටගෙන තිබෙනවා. “පුබ්බේච කත පුඤ්ඤතා” පෙර කරන ලද පුණ්‍ය සම්පත්තිය අප හැම කෙනෙකුට ම උපකාර වී තිබෙනවා. ඒ බලවත් වූ පිනක් නිසා මනුෂ්‍ය ජීවිතයක් අප සියලු දෙනාම ලැබුවා. ඒ මනුෂ්‍ය ජීවිතය “උපධි සම්පත්තිය” නම් වූ ඇස්, කන්, නාසය ආදී ඉන්ද්‍රියන් මනාව පිහිටලා ඒ වගේ ම අපට යමක් මනා කොට තේරුම් ගන්න තරම් ඤාණ ශක්තියක් ඇති කර ගන්න තරම් සිතීමේ හැකියාවක් අපට ඇති වී තිබෙනවා. ලෞකික ජීවිතයේ ඉගෙනීම ඇති කර ගන්න, මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස ගත කරන්න. හොඳ නරක තේරුම් අරගෙන නරකෙන් බැහැර වෙලා හොඳ මඟට යොමුවෙන්නට දහම් කතාව ශ්‍රවණය කර පරමාර්ථ ධර්මය තේරුම් ගන්න, උත්සාහ කළොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට තරම් ශක්තියක් අපට සැලසී තිබෙනවා.

මෙන්න මේ දුර්ලභව අප ලබා ගත්ත මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් අප ගත යුතුයි. ඒ සඳහා අපට සිහියක් අවශ්‍යයයි. ඒ සිහිය තමයි අපට ඇති ආරක්ෂාව. ඉදිඹුවා ආරක්ෂා වූණේ ඉදිඹුවාගේ ඉබිකටුව නිසයි. අපට ඇති ආරක්ෂාව හිස් කබල නම් නෙමෙයි. හිස් කබල ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාවට පවතින බව සැබෑයි. හැබැයි ආධ්‍යාත්මික කතාවේ දී හිසක් තිබුණු හැම මනුෂ්‍යයෙක් ම ධර්මයෙන් ආරක්ෂාවක් ලබන මනුෂ්‍යයෙක් වෙන්නේ නම් නැහැ. ඒ නිසා හිසක්, කඳක්, දෙපයක්, දෑතක් ලැබුණු පමණින් ම ගුණවත් වූ සද්පුරුෂ වූ යහපත් වූ මනුෂ්‍යයෙක් නම් වෙන්නේ නම් නැහැ. සතර අපායෙන් ගැළවෙන මනුෂ්‍යයෙක් වෙන්නෙත් නැහැ. හිසක්, හිස් කබලක් තිබෙනවා වගේ ම සිතන්න තරම් හොඳ, නරක පැහැදිලි කරගන්න තරම් කුසල්, අකුසල් තේරුම් අරගෙන හොඳ මඟට වැටෙන්න කුසල් මඟට එකතු වෙන්නට තරම් සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන සිහියක් පවත්වා ගැනීම අවශ්‍යයයි.

ඉදිඹුවාට ඉබිකටුව මෙන් මනුෂ්‍යයාට ඇති ආරක්ෂාව නම් එනම් සිහියයි. සතර සතිපට්ඨානයයි. අප අනාරක්ෂිත වී තිබෙන්නේ මාරයාගෙනුයි. එහෙත් මාරයා යනු වෙන කෙනෙක් යැයි පවසමින් පැත්තකට නොදමා අපේ සිත තුළ ඒ මාරයා සිටින බව තේරුම් අරගෙන අප අප විසින් සිහිය නමැති ආරක්ෂාව ආවරණය යොදාගෙන ජීවිතයට රැකවරණයක් ඇති කරගත යුතුමයි.

තවත් කොටසක් උඳුවප් අමාවක පෝදා ජනවාරි 09 වනදා පත්‍රයේ...

දීපා පෙරේරා


පසුගිය සතියෙන් - සුපසන් ජීවිතයකට 23 - උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් ජීවිත යථාර්ථය දකිමු

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]