UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි 101 වන ජන්ම සංවත්සරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි 101 වන ජන්ම සංවත්සරය

උස්මිටි භේදයෙන් හෝ පුද්ගල වයස්ගත භේදයෙන් තොරව ගෞරවාන්විත වාචසික සමාචාරයෙන් පුද්ගලයන් ඇද බැඳ ගන්නා ගුණෝපේත සේවනයෙන් සැම දන හදක් තුළ ම දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමි නාමය නිදන් ගත වී ඇත.

ආලෝක මුදියන්සේලාගේ කව්රාල පියාණන් සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ මෑණියන් මෙම පින්වත් කුමරුගේ මව්පිය දෙපළ විය. උත්තම කුමරෙකු ලෙසින් කිරිබද්දන මුදියන්සේ නමැති ධන්‍ය පුණ්‍යවන්තයා හැඳිනිය හැකි ය. 1915 දෙසැම්බර් මස දවුල්දෙන ගම්මානයේ උපත ලද ළදරුවාණන්ගේ කුඩා කළ අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ ඌව පරණගම, මැදවෙල, ගුණරතන විද්‍යාලයයි. එහි දී අට වසර දක්වා ඉගෙනුම ලැබීය. ‘මගේ සිරිත’, ‘සිරිත්මල්දම’, ‘ලෝවැඩ සඟරාව‘, ‘සුභාෂිතය’ වැනි පොත් පත් අධ්‍යයනය කරමින් හවස් කාලයේ පන්සලට පැමිණ පොත් පත් ඉගෙනුම කළ දරුවාට මහණවීමේ ආශාව ඇති වූයේ අවුරුදු 9 – 10 වන වකවානුවේ දී ය.

පැවිදි බිමට පත්වීම

සපුගොල්ල තපෝධනාරාමයේ වැඩ සිටි ඌමෑලේ පඤ්ඤානන්ද, ඌමෑලේ පියරතන යන ගරු කටයුතු හිමිපාණන් වහන්සේලාට මව්පියන් විසින් භාරදීමෙන් අනතුරුව 1928 මාර්තු මස 8 දින දී ආලෝක මුදියන්සේලාගේ කිරිබද්දන දරුවා දවුල්දෙන ඤාණිස්සර නමින් පැවිදි බිමට පත් වූහ.

පැවිදි අධ්‍යාපනය

කුඩා ඤාණිස්සර හිමිපාණන් වහන්සේ මූලික පැවිදිබිමට අවශ්‍ය දේ හැදෑරීම් කළහ. “සාමණේර බණදහම් පොත”, “බාලාවතාරය”, “පාලිනිඝණ්ඩුව“, “පාලිවරනැගිල්ල”, “සංස්කෘත වරනැගිල්ල” ආදී පොත් ගුරු ඇසුරින් හැදෑරීය. 1932 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූ හෙරණපාණෝ පූජ්‍ය කහවේ ශ්‍රී රතනසාර නායක හිමිපාණන් වහන්සේ මුල්කොටගත් ඇදුරු හිමිවරුන්ගෙන් විද්‍යෝදය අවසානය දක්වා ඉගෙන ගෙන ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාගවලින් උසස් ලෙස සමත් වී රාජකීය පණ්ඩිත උපාධිය දිනාගත්හ.

ග්‍රන්ථකරණය

වයස අවුරුදු පනස් හතෙන් පසුව ධර්ම ශාස්ත්‍රීය ලෝකය ඒකාලෝක කිරීමට මෙතුමෝ නිරායාස වූහ. “මාරාංගනා විජයම්”, “වෛරාය්‍යචින්තා”, “ස්වානස්ථව“ යන සංස්කෘත කෘති නිර්මාණය කිරීමෙන් කුශාග්‍රබුද්ධිය ප්‍රතිබිම්භනය කළහ. පද්‍ය 125කින් යුක්ත “ධර්ම චින්තා” නමැති යන සංස්කෘත කාව්‍යයන් මගින් ප්‍රතිභාපූර්ණත්වය පතළ කළහ. ‘යතිදූතම්’ නමැති සන්දේශ කාව්‍යය ද අග්‍රගණ්‍ය කෘතියකි. ‘ආශිඞ පුෂ්ප මඤ්ජරී’ නමැති කෘතිය ද අතිපූජ්‍ය බෝධිසත්ව ගුණොපේත විදුරුපොල ශ්‍රී පියතිස්ස මහනාහිමිපාණන් වහන්සේ, බළංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමිපාදයන් වහන්සේ යන උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දිගාසිරි පිණිස නිර්මාණය කොට ඇත. ගෞරවාර්හ දමුණුමෑයේ ඤාණරතන නාහිමි අනුස්මරණය ද ශ්ලෝක මගින් සිදුකොට ඇත. “රාජරත්නාකරය” නමැති කෘතිය ද නාහිමිපාණෝ නිර්මාණය කළහ. “යශෝධරාකාව්‍යම්” නමැති කෘතිය ප්‍රශස්ත නිර්මාණයක් සේ ඇගයිය හැකිය. මෙතුමන් නිර්මාණය කළ “ස්ථානස්ථව“කාව්‍යය ප්‍රංශ මහාචාර්යවරයෙකු විසින් ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කොට ඇත. “මහා මහේන්ද්‍ර කෂීණශ්‍රවාගමනම්” යන සංස්කෘත කෘතිය මඟින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උදාර ගුණ වර්ණනා කොට ඇත. “සර්වේ සංස්කාරඞ විපරිණාම ධර්මාඞ” යන කෘතිය මගින් දවුල්දෙණ මහනාහිමිගේ ජීවන තතු ඇතුළත් කරමින් මහලු විය සංවේගය දනවන විලාසයෙන් ලියා ඇත. සම්භාවනීය පැවිදි චරිත අළලා ප්‍රශස්ති කාව්‍යයන් 20ක් පමණ මෙතුමන් ලිවීම මගින් කාව්‍යමය ධීශක්තිය ප්‍රභාවිත කොට ඇත. මුන්වහන්සේ ලියා ඇති කෘතීන්ගෙන් මෙතුමන් සතු අපූර්වාකාර ධීශක්තිය මොනවට සුපතළ වේ.

අධ්‍යාපන සේවය

සාම්ප්‍රදායික අධ්‍යාපනය ගොඩනගමින් ගුණාත්මක ශික්ෂණයෙන් යුක්ත වූ ශාසන පුත්‍රයන් බිහි කිරීම සඳහා අප කථානායකවරයාණන් සිදු කළ සේවාව අභිවර්ණීතය. රාජකීය භදන්ත පණ්ඩිත විදුරුපොල ශ්‍රී පියතිස්සා’භිධාන මහානායක හිමිපාණන් පරිවෙණාධිපති ධුරය දැරූ ඇටම්පිටියේ විද්‍යාභූෂණ පිරිවෙනේ විශිෂ්ට ආචාර්යය ධුරය දැරූ මෙතුමෝ කොළඹ හුණුපිටියේ ගංගාරාම පිරිවෙනේ පරිවෙණාධිපති ධුරය දරමින් අමිල වූ සේවාවක් සිදු කළහ. මාළඹේ රාහුල විද්‍යාලයේ ගුරුවරයකු ලෙස ජාතික අධ්‍යාපනික ගොඩනැංවීමට මහඟු මෙහෙවරක් කළ දවුල්දෙණ හිමිපාණෝ විද්‍යෝදය මහ පිරිවනේ ගුරු තනතුරට පත් වී ප්‍රාචීන අධ්‍යාපනය හා ධර්ම විනය ඥානය පැවිදි කොටගෙන සිදු කළ විශිෂ්ට සේවය සම්භාවනීය වූවකි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධුරයට පත් ව අනගිතම අධ්‍යාපන සේවයක් සිදු කළේ ය. තායිවානයට වැඩම කොට වදාළ මෙම යතිවරයන් වහන්සේ මැනවින් චීන භාෂාව හදාළහ. තායිලන්තය මගින් “ආචාර්ය උපාධිය” ලත් යතිවරයාණෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන් ද, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන්ද අවිචිඡින්න ශාසනික, ආගමික හා ධර්ම ශාස්ත්‍රීය සේවාව ප්‍රචලිත කළහ. තායිවානයේ ලිං සෝම් සහ චුට්හ්වා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයකු වශයෙන් දහස් ගණන් දෙස් විදෙස් සිසුන්ගේ දැනුම ඔපවත් කළ මෙහෙවර අමන්දානන්දනීය වූවකි.

විහාර පරිපාලනය

සපුගොල්ල මූල මහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් ව සිදු කළ මෙහෙය කීර්තිමත් ය. පාගොඩ, ශ්‍රී විද්‍යාවිජයාරාමය පිහිටුවීමෙන් ජාතික, ආගමික, සංස්කෘතික මෙහෙය පෘථුල කළ යතීන්ද්‍රයන් වහන්සේ පාගොඩ පාරේ පළමු හරස් වීදියේ පිහිටි භාවනා විවේකාශ්‍රමය පිහිටුවා අති විශිෂ්ට කාර්යභාරයක් සිදු කොට ඇත. බොරලැස්ගමුව, දෙහිවල පාරේ අංක 66 දරන ස්ථානයේ දවුල්දෙණ ඤාණිස්සර භික්ෂු ගිලන්හල ප්‍රතිෂ්ඨාපිත කොට රෝගී භික්ෂූන් වහන්සේලාගේ කායික, මානසික සුවය උදාකිරීමට සිදු කළා වූ මහණීය මෙහෙය මුන්වහන්සේගේ ශාසනික සේවාවේ තවත් පැතිකඩකි. උක්ත ආයතනවල ආධිපත්‍යයට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පත් කොට කටයුතු කිරීමේ උදාර භික්ෂු ප්‍රතිපත්තිය පරමාදර්ශයකි.

ශාසනික පැවිදි හා වියත් පදවි ප්‍රදානයන්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ කාරක සභික ධුරයට පත් ව තත් නිකායේ මහානායක පදවියෙන් සුපුජිත වූ දවුල්දෙන ඤාණිස්සර හිමිපාණෝ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර පදවියෙන් පරම පූජනීය වූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ග්‍රන්ථ විශාරද උපාධිය පිරිනැමුණි. විද්‍යෝදය පිරිවෙන මගින් ‘සංස්කෘත චක්‍රවර්තී හා සුමංගල විද්‍යාවතංස’ ගෞරව උපාධියෙන් සම්මානිත වූහ. අමරපුර මහා සංඝ සභාව මඟින් “භාෂාන්තර විශාරද ජිනශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව සම්භාවනාවට පාත්‍ර කෙරිණි. ස්‍යාමෝපාලිවංශික රෝහණ මහා සංඝ සභාව මගින් “දෛවී භාෂා විශාරද” යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ උත්තරීතර මහනාහිමිපාණෝ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සංඝ සභාව මගින් “සාහිත්‍ය සූරී” යන සම්භාවනීය නාමයෙන් අභිනන්දන උපහාරය පිරිනැමීය. උඩරට අමරපුර සාමාගී‍්‍ර සංඝ සභාව මගින් “ත්‍රිපිටකාචාර්ය” හා “මහෝපාධ්‍යාය” උපාධියෙන් යෝග්‍ය වූ අමෝදයට පත් කරන ලදී. ඌව අමරපුර නිකාය, උඩරට අමරපුර මහා නිකාය, ඌව උඩුකිඳ අමරපුර නිකාය, උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාව යන භික්ෂු සන්නිශි‍්‍රතය විසින් 2005 අගෝස්තු මස 17වෙනි දින නුවරඑළිය මහ නගර ශාලාවේ දී “ශාසන වංසාලංකාර පරියත්ති ධජ” යන නාම සම්මුතියෙන් මෙම යතීශ්වරයන් වහන්සේට ප්‍රතිසම්මෝදනය කරනු ලැබීය. සංස්කෘත භාෂා ඥාන ගුණභාවයේ උත්තීර්ණතාවට ගරු කරමින් අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකාය මගින් “සංස්කෘත සාහිත්‍ය සරස්වතී” යන අභිධානයෙන් පුදනු ලැබීය. අමරපුර මහානිකායේ එක්නැලිගොඩ පාර්ශ්වයෙන් “ෂඩ්භාෂා පරමේශ්වර මහා මහෝපාධ්‍යාය” යන ගෞරව සම්මාන අභිසංවෘත්තියට පත් කෙරිණි. මේ හරුණු විට යතිසඳාණන් අන්තර්ජාතික සාමය වෙනුවෙන් කළ මෙහෙය අනුස්මරණය කරමින් ආසියානු බෞද්ධ සම්මේලනය විසින් “සාම රන් පදක්කම” පුදා උපහාර පුදන ලදී.

ධර්මදූත මෙහෙවර

අන්තර්ජාතික ධර්මදූත සේවයට කැපවීම පිළිබඳ මහනාහිමි සිරිතෙන් අසමසම මෙහෙයක් දිස්වේ. අන්තර්ජාතික භාෂාන්තර ඥානය හා කැටි වූ සීල සමාධි සුසංයත ගුණ දිවි පෙවෙත ද උට්ඨාන වීර්යය හා කැපවීම ද මෙහිලා සුවිශේෂයෙන් දෘශ්‍යමාන වන්නකි. රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, මොංගෝලියාව, නේපාලය, වියට්නාමය, ඕලන්දය, ජපානය, හොංකොං, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මියන්මාරය, ඉන්දුනීසියාව, තායිවානය, හවායි දූපත් ආදී පෙර අපර දෙදිග රටවල ධර්මදූත සේවාවෙහි නිරත වෙමින් සිදු කළ සේවාව සඳහා අන්තර්ජාතික වශයෙන් උපහාරය ලැබී ඇත. විද්‍යාලංකාර පිරිවෙනින් “දෛවීභාෂා පර්මේශ්වර” යන අභිධානයෙන් ප්‍රමුදිත බවට පත් කළ උත්තරීතර මහනාහිමිපාණන්ගේ භාෂාන්තර ඥානය කැටිකොට ගනු ලැබූ ධර්ම විනය ඥානය ද අන්තර්ජාතික ශාසනික වූ අතුල්‍ය මෙහෙවරට ගරු කළ බුරුම රජය මගින් ‘අග්ගමහා පණ්ඩිත’ යන ගෞරවෝපාධිය සාතිශය සම්භාවනාවට පත් කරනු ලැබීය.

භෞතික සම්පත් සාධනය

දෙස් විදෙස් සැදැහැවතුන් ප්‍රදනු ලැබූ ධනය පාදක කොට සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මික ගුණ දිවි පෙවෙත ඔපවත් කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් කැප කරමින් ආරාම රාශියක් ප්‍රවර්ධනය කළේ ය. සපුගොල්ල මූල මහා විහාරස්ථානයේ ආරාමික ගොඩනැගිල්ල හා නහකඩියේ ජිනවංශාරාමයේ ස්තූප රාජයන් වහන්සේ ගොඩනැංවූ යතිසඳාණෝ පාගොඩ විද්‍යා විජය විහාරස්ථානය, පාගොඩ භාවනා මධ්‍යස්ථානය ද, බොරලැස්ගමුව භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථාන රැසකට තමන් වහන්සේට පුදනු ලැබූ ධනය කැප කළහ. ඌව පළාතේ පිරිවෙන් රාශියකට ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූ නාහිමිපාණෝ ඇතැම් දිළිඳු ජනතාවගේ ආර්ථික ගැහැටට පිළියම් යෙදූහ. මුන්වහන්සේට ශත වර්ෂයක් පිරීම නිමිති කොටගෙන ඌව පරණගම උපන් ජාත භූමිය වූ දවුල්දෙණ ගම්මානයේ දී මෙම දෙසැම්බර් මස 24 දින දී ගම්වාසීන්ගේ භෞතික අවශ්‍යතාවන් සඳහා සම්පත් ප්‍රදානය කිරීමට නියමිතව තිබිණි. ගර්භණී මව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවන් සඳහා සම්පත් ප්‍රදානය කිරීමට නියමිත ය. ගර්භනී මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා ගර්භණී මව්වරුන් පනස් දෙනෙකුට ප්‍රදානයන් සිදුකිරීමට විධි විධාන යොදා තිබිණි. මෙදින දවුල්දෙණ ගම්මානයේ දී භික්ෂූන් වහන්සේලා සියක් නමකට සිවුරු කට්ටල පූජා කිරීම වැනි උත්තුංග කාර්යභාරයක් ද සිදු කිරීමට නියමිත ය. මෙම මහා පුණ්‍යකර්මය සඳහා සංගප්පූරුවේ ලංකාරාම විහාරවාසී මහාකරුණා බෞද්ධ සංවිධානයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය අලව්වේ ගුණරතන ස්වාමිපාදයන් වහන්සේගේ පූර්ණ දායකත්වය ලැබෙන අතර සිංගප්පූරුවේ ඇතැම් බෞද්ධ පින්වතුන්ගේ ද සහාය ලැබී ඇත. මෙමගින් පුණ්‍යකාමී මෙහෙවර වඩාත් අවිචිඡින්න ලෙස ඉදිරියට ගමන් කොට ඇත.

විශේෂ ගුණභාවය

සම්භාවනීය ලෙස අන්තර්ජාතික වශයෙන් ද රාජ පූජිත වූ අතිගරු දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි සඳුන්ට මහායාන හා ථෙරවාදී ඇතැම් බෞද්ධ රටවල සැදැහැවත් පින්වතුන් පින්වතියන් බෝධිසත්ව උතුමෙකුට දක්වන ගෞරවාන්විත අභිවාදනයෙන් ප්‍රතිග්‍රහණය කෙරේ.

බුද්ධිපාටවයේ නිමග්න වූ මෙතුමෝ තමන් දන්නේ අල්ප වශයෙන් බව සඳහන් කරති. චාම් බවේ ප්‍රතිමූර්තිය වූ මහනාහිමි සඳානෝ යම් ශාන්ත පදාර්ථයක් අවබෝධ කරගන්නට කැමති කෙනෙකු පිළිපැදිය යුතු කරණීය ධර්මයන් සපුරා ඇත. ශක්‍යතාවෙන් ප්‍රභාවිතව උදු මුදු ගුණයෙන් ශෝභිත ව රාජ්‍ය හා ධර්ම නීතියට කිංකර ව සුබැසි වදනින් අමතන අනතිමානි ගුණයෙන් ප්‍රභාශ්වර වී ඇත. ලද දෙයින් සතුටු වී පහසුවෙන් පෝෂණය කරන ගුණ කඳඹින් ප්‍රමුදිත කාර්යභාරය අල්ප බවට පැමිණි සැහැල්ලු දිවි පෙවෙතට අවතීර්ණ වී ඇත. මනා දැමුණු ඉඳුරන්ගෙන් ආකර්ෂණීය වී ඇත. නාහිමිපාණෝ විබුධ ගුණයේ පරිසමාප්තියට පත්ව ඇත්තාහ. ප්‍රගල්භභාවය දුරු කරමින් කිසි කුලයකට නොඇලී සමානාත්මතා සංකල්පය ජීවිතය පෙහෙවෙත් මගක් කොට ඇත්තාහ. වියතුන්ගේ නිගරුවට පාත්‍ර වන භූමිකාව බැහැර කරමින් මෙත් සිතිවිල්ලේ දිවි මග සඵල කොට ඇත්තාහ.

උස්මිටි භේදයෙන් හෝ පුද්ගල වයස්ගත භේදයෙන් තොරව ගෞරවාන්විත වාචසික සමාචාරයෙන් පුද්ගලයන් ඇද බැඳ ගන්නා ගුණෝපේත සේවනයෙන් සැම දන හදක් තුළ ම දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමි නාමය නිදන් ගත වී ඇත. ජාතික හා ජාත්‍යන්තර ආගමික සමාජ හා අධ්‍යාපන මෙහෙයට උචිත ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සුජනිත කළ මෙම තෙරණපාදයන් වහන්සේගේ සියක් වසර සපිරෙන දිනය වූ 2015 දෙසැම්බර් 31 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මහ උළෙලක් සංවිධානය වී ඇත. මෙදිනට ගිහි පැවිදි සුපතළ උතුමෝ රැසක් සහභාගී වෙති. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේගේ සේවය සඳහා දිඝායු බලයෙන් යුක්ත නිරෝගී සුවය ලැබී සර්වඥයන් වහන්සේගේ ශීල, ගුණ, යස, තේජස ද, බල තේජස හා ප්‍රඥා තේජස ආකර්ෂණය වේවා.!

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]