UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර විමලරතන මහා නා හිමි සියවන ජන්ම සමරුවට පින්කම් රැසක්

මාතර විමලරතන මහා නා හිමි සියවන ජන්ම සමරුවට පින්කම් රැසක්

අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානාධීශ්වර, ශ්‍රී ලංකා අමරපුර (දඩලූ) සිරිසුමන මහා නිකායේ මහානායක, සිරිසුමන ධම්මාධිධම්ම,රාජාධිරාජගුරු ශ්‍රී ධම්මරක්ඛිත වංශපාල ගණාචරිය පටිපත්තිධර, ගණපාමොක්කාචරිය කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසන ධජ, ශාස්ත්‍ර විශාරද , පණ්ඩිතාචාර්ය, මාතර විමලරතන මහා නාහිමිපාණන් වහන්සේගේ සියවැනි (100) ජන්ම දිනය නිමිත්තෙනි.

දකුණු සිරිලක, මාතර මැදගොඩ නම් ග්‍රාමවරයෙහි 1915 දෙසැම්බර් මස 26 වැනි දින ජන්මලාභය ලැබූ විමලරතන නාහිමියන්ගේ ගිහි නම වීරක්කොඩි ආරච්චිගේ පේ‍්‍රමදාසය. වීරක්කොඩි ආරච්චිගේ සව්නේරිස් අප්පුහාමි මහෝපාසකතුමාත්, එදිරිසිංහ විදානආරච්චිගේ බංබුහාමි මහෝපාසිකාවත් වාසනාවන්ත දූපුතුන් හයදෙනෙක් මෙලොවට දායාද කළ අතර ඉන් පවුලේ තුන්වැනිියා වූයේ පේ‍්‍රමදාස කුමරුවාය.

1919 වසරේදී මාතරින් ගම රටදා අනුරාධපුරයට පැමිණි පේ‍්‍රමදාස ඇතුළු පවුලේ ඥාති පිරිස අනුරාධපුර පැරණි නගරයේ ජේතවනාරාමය අසල නිවසක පදිංචිව සිටියහ.

1922 දී සුබ මොහොතින් අකුරු කියවා එවක අනුරාධපුර බෞද්ධ පාසලක් වශයෙන් තිබු පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කළ මහාබෝධි පාසලට ඇතුළත්ව 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ පේ‍්‍රමදාස කුමරු 1927 වසරේදී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් නික්ම රට පුරා ධර්ම දේශනා පවත්වමින් අනුරාධපුරයට වැඩම කළ බූස්සේ ධම්මරක්ඛිත මහා නා හිමියන්ගේ ඇසුරට පත්විය.

පේ‍්‍රමදාස දරුවාගේ ජන්ම හෝරා පත්‍රය පරීක්ෂා කළ නැකැත්කරුවෙකු විසින් ඔහු හඳුන්වා දී තිබුණේ “පෙර පින් ඇති දරුවෙකු” වශයෙනි. පසුව බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස 1931 ඔක්තෝබර් මස 22 වෙනි දින මාතර විමලරතන නමින් සසුන්ගත විය. මාතර විමලරතන හිමියන් මුලින්ම නේවාසිකව වැඩ සිටියේ අනුරාධපුර නිවත්තකචේතිය රජමහා විහාරයේය. මාතර විමලරතන මහානාහිමියන්ගේ සසුන්ගත ජීවිතයටද දැනට වසර 85 ක් සපිරේ.

පැවිදි වීමෙන් අනතුරුව 1932 දී බූස්සේ මහා නාහිමියන්ගේ අවසරය පරිදි බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයේදී ත්‍රිපිටක ධර්මය, සාමණේර බණ දහම්,පාලි, සිංහල , සංස්කෘත, ඡ්‍යොතිෂ්‍ය වෙදකම ආදී විෂයන්ද ප්‍රගුණ කළහ. බූස්සේ පන්සලේ ගත කළ කාල පරිච්ඡේදය තුළදී සිවුරු මැසීමේ හා පඬුපෙවීමේ ශාස්ත්‍රයද, පැරැණි වටිනා ධර්ම පුස්තකාලයක් බූස්සේ පන්සලේ තිබුණු බැවින් පොත් බැඳීමේ කර්මාන්තයද ඉගෙන ගැනීමටද සමත් විය. දේශීය ඖෂධ පැළෑටි වර්ග ප්‍රයෝජනයට ගනිමින් කායික රෝගවලට ප්‍රතිකර්ම ලබාදීමද ඉගෙනගත් උන්වහන්සේ පැරණි වෛද්‍යවරයෙකුගේ ආශ්‍රයෙන් සර්පවිෂ වෙදකමද හදාරන ලදී.

1937 ජුනි මස 23 වෙනි දිනබලපිටියේ මාදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා ශීලයට පත්ව 1938 වසරේ පොසොන් මස 20 වැනි දින මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී දෙවන ලෝක යුද්ධය නිසා අගනුවර පිරිවෙන් වසා දැමීමෙන් යළිත් අනුරාධපුරයට වැඩම කිරීමට සිදුවිය.

උන්වහන්සේ සමාජ සේවයට පිවිසියේ 1940 දීය. ධර්ම දේශනා, කවි බණ, බෞද්ධ නාට්‍ය හා විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් ගම තුළ සමගිය, දියුණුව ඇතිකිරීමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ.මැදවච්චිය, හොරොව්පොතාන, අනුරාධපුර ,පොළොන්නරුව, මැදිරිගිරිය, යන පළාත්වල හා මැකිච්ඡාව, ගල්කඩවල, කිරුඩගම ,ලෝලුගස්වල යන ගම්මානවල විහාර ආරාම, වැව්පොකුණු, මංමාවත් පිළිසකර කරවන ලදී. මැදවච්චිය ප්‍රදේශයේ ගම්මාන සඳහා ග්‍රාමසංවර්ධන සමිති ආරම්භකර ගමට පන්සලක් මෙන්ම බාල පරපුරට අධ්‍යාපනය ලබාදීමට පාසලක්ද ආරම්භ කළහ. පුබුදුවිල කනිෂ්ඨ විද්‍යාලය හා තාලරුක්ඛාරාම විහාරය ආරම්භ කළේ විමලරතන නාහිමියන් විසිනි.මෙම ගම්මානවල බෞද්ධ සමිති සමාගම්, දහම්පාසල්, කිරි මධ්‍යස්ථාන ,පේෂකර්ම මධ්‍යස්ථාන ආරම්භකළ උන්වහන්සේ ගම්මානවල පුරාණ වෙල්යායවල් රජයේ නිලධාරින් ලවා ගොවීන්ට යල මහ දෙකන්නයේම කුඹුරු ගොවිතැන් කිරීමට හැකි වන පරිදි අබලන් වැව් ප්‍රතිසංස්කරණය කරදීමට සමත් විය. උන්වහන්සේ ආරම්භ කළ විහාරස්ථාන වල දරුවන් 15 දෙනෙක් පැවිදි කළහ.

1966 වසරේ පොසොන් මස අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමල ධර්මදූත මධ්‍ය ස්ථානය ආරම්භ කළ නාහිමියන් දරුදැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් ශ්‍රී විමලධර්මදූත දහම් පාසල ආරම්භ කරන ලදී. 1990.05.11 වෙනි දින එහි අභිනව විහාර මන්දිරයක්, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලාව, සංඝාවාසය විවෘත කිරීමට, උන්වහන්සේ සමත් වූහ. දඩලු සිරිසුමන පාර්ශ්වයේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානයේ “සීමාමාලකයක්” ඉදිකළ නාහිමියෝ සිය නිකායේ උපසම්පදා මහෝත්සවය 2003 පොසොන් මස 21 වෙනි දින එම සීමාමාලකයේදී සිදුකරන ලදී.

නාහිමියන් ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවන් අතරට වසර තිස්පහක් මුළුල්ලේ සතියකට වරක් අනුරාධපුර මහ රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ සංග්‍රහ කිරීම විශේෂ තැනක් ගත්හ. උන්වහන්සේ මෙම ආගමික සේවාව කළේ එවකට මහ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍ය රාජා සල්ගාදු මහතාගේ කාරුණික ඉල්ලීමකට අනුවය.

දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ මහානායක බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන් ප්‍රමුඛ “සිරිසුමන” කාරක සංඝසභාව විසින් 1968 වසරේ පොසොන් මස 24 වෙනි දින බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමය මහා විහාරස්ථ බද්ධ මංගල සීමාමාලකයේදී “සිරි සද්ධාතිස්ස ධම්මරක්ඛිත” යන ගරු නාම සම්මුතිය සහිතව උතුරු හා උතුරුමැද දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ මාතර විමලරතන නාහිමියෝ 1992 වසරේ වෙසක් මස 27 වෙනි දින දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ විංශද්වර්ගික මහා සංඝ සභාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් එම නිකායේ මහානායක ධුරයට පත්කරනු ලැබූහ.

මාතර විමලරතන නාහිමියන් ඉටුකරන ලද මහජන සේවය අගය කරමින් 1999 වසරේදී අධිකරණ අමාත්‍යාංශය විසින් මුළු දිවයිනට බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක්ද පිරිනමන ලදී. තායිලන්ත ධර්ම දූත චාරිකාවේදි 2000 වසරේ නොවැම්බර් 20 වෙනි දින මයියංකන් ආරණ්‍ය සේනාසනයේදි “විශ්ව කීර්ති ශ්‍රී සාමදූත ලෝකාර්ථ චරිය,” යන ගෞරව සම්මානයෙන්ද පිදුම් ලැබූ උන්වහන්සේට 2001 වසරේදී ජාත්‍යන්තර බුදුමග සංවිධානය මගින් “ශාස්ත්‍ර විශාරද පණ්ඩිත” ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී.

දඩලු පරම්පරායත්න මහා නිකායේ වර්තමාන සංඝ සභා මූලස්ථානය වන පන්නිපිටිය ශ්‍රී දෙව්රම් විහාරයේදී සිරිසුමන කාරක මහා සංඝ සභාවේ සංඝ සම්මුතියෙන් “ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන (දඩලු) පාර්ශ්වයේ සංශෝධිත නව ව්‍යවස්ථා මාලාවක්ද, කතිකාවතක්ද නිකායේ සියලුම භික්ෂූන් වහන්සේලාගේ දැනගැනීම සඳහා බෙදාහරින ලද්දේ මහානායක මාතර විමලරතන මාහිමිපාණන් වහන්සේ විසිනි. ඒ 2000 වසරේ ජූලි මස 21 වැනිදාය.

සියවැනි වියට පාතබන උන්වහන්සේට දීර්ඝායුෂ පතා මේ මස 26,27 යන දෙදින තුළ අනුරාධපුර ගුවන්තොටුපල ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානයේදී පින්කම් රැසක් සංවිධානය කොට ඇත.

26 වෙනි දින උදෑසන පන්නිපිටිය ශී‍්‍ර දෙව්රම් විහාරයේ සිට වැඩම වන මහා නාහිමියන් මෙදින පෙ.ව. 10.00 ට අනුරාධපුර ගුවන් තොටුපල හන්දියේදී මහත් හරසරින් පිළිගනු ලැබේ. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රමුඛ අනුරාධපුර දිසාවේ මැති ඇමතිවරුන්, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය. එතැන් සිට විසිතුරු පෙරහරකින් මහානාහිමියන් ගුවන්තොටුපල ශී‍්‍ර විමලධර්මදූත මධ්‍යස්ථානය වෙත වැඩම කරවා ගෙන එනු ලැබේ. මින් අනතුරුව මහානාහිමියන් ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විහාරස්ථ බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවනු ඇත.

ශි‍්‍ර ලංකා අමරපුර සිරිසුමන මහා නිකායේ වර්තමාන වැඩබලන මහානායක, ශ්‍රී දෙව්රම් වෙහෙර විහාරාධිපති විද්‍යා විශාරද කොළොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධාන ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානයේ දායක සභාවේ දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකර ඇති දැකුම්කලු මහා චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම පෙරවරු 10.45 ට ජනාධිපතිතුමන් අතින් සිදුකිරීමට නියමිතය.

මින් අනතුරුව ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සභාවේදී ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන මහා නිකාය මගින් ජනාධිපතිතුමන් වෙත සන්නස් පත්‍රයක් පිළිගන්වන අතර ශ්‍රී සුමංගල නාහිමියන් වෙත සන්නස්පත්‍රය පිළිගන්වනු ලබන්නේ විහාරස්ථ දායක සභාව විසිනි.

මෙදින ප.ව. 6 සිට 7 දක්වා ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කොළොන්නාවේ ශ්‍රී සුමංගල වැඩබලන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. සිය වැනි වියට පාත්‍රවන මාතර විමලරතන මහා නාහිමියන්ට දීර්ඝායුෂ පතා මෙදින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි. පසුදින (27) උදේ සඟරුවන විෂයෙහි හීල්දානය පිරිනැමෙන අතර දහවල් සියක් නමක් විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන බව ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානයේ විහාරාධිකාරි අලුත්හල්මිල්ලෑවේ සිරිවිමල හිමියෝ පැවසූහ.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]