UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 67 - ශ්‍රී සර්වඥ ධාතු පූජාව

ශ්‍රී සර්වඥ ධාතු පූජාව

මල්ල රජුන් ප්‍රමුඛ නගරවාසීහු භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ පුවත අසා හඬා වැලැප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙන්වා ගෙන උපවර්තන ශාල වනෝද්‍යානයට රැස්ව බුද්ධ ශරීරයට උපහාර පූජා කරමින් සත්දිනක් ගෙවා, ඉක්බිති මහ පෙරහරෙන් උතුරු දොරින් පිවිස ‘කුසිනාරානුවර මැදින් පිටතට වැඩම කරවා නැගෙනහිර පැත්තෙහි වූ මල්ලරජුන් ගේ මුකුට බන්දන නම් චෛත්‍ය ස්ථානයෙහි තැන්පත් කළහ. මල්ල රජහු ශ්‍රී සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද හාමුදුරුවන් ගෙන් අසා දැන අලුත් කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙළා ඉන් පසුව මනාව නෙළු කපු පුළුනින් වෙළූහ. ඉන්පසු නැවතත් කසීවතින් වෙළූහ. මේ අනුව පන්සිය වරක් පන්සියක් පමණ කපු පුළුනෙන්ද, පන්සීයක් කසී වතින් ද බුද්ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එබඳුම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දර සෑයෙහි රන්දෙණ තැන්පත් කළහ.

ඉක්බිති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි තැබූහ. එහෙත් ගිනි නොදැල්විණ. ඊට හේතුව මල්ල රජුන් විමසූවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තෙක් එය දැල්වෙන්නට දෙවියන් ඉඩ නොදෙන බව අනුරුද්ධ තෙරුන් වහන්සේ වදාළ සේක.

ස්වල්ප වේලාවකින් කාශ්‍යප මහ රහතන් වහන්සේ එහි වැඩම කළ සේක. එහිදී උන්වහන්සේ තෙවරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රීපාදය පැත්තෙන් චිතකය හා රන් දෙණ විවෘත කොට සිරිපා යුවළ වන්දනා කළ සේක. උන්වහන්සේ සමඟ වැඩම කළ පන්සියයක් භික්ෂූහුද එසේ වන්දනා කළහ. ඉන් පසු දර සෑය දේවාතානු භාවයෙන් තෙමේම හාත්පස එක් පැහැර ගිනිදැල්වී ගියේය.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු දෙ අකු ධාතු නලාට ධාතු යන ධාතුහු සත්දෙන නොවිසුරුණාහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං පියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ අහසින්ද පිරිවරා සිටි සල්රුක්වල කඳ අතු අතරින්ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවීය. මල්ල රජහුද සුවඳ දිය ඉස්සහ.

ධාතු පූජාව

මල්ල රජහු නුවර දෙවිපුරයක් සේ සරසා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රන් දෙණක තබා, එය මනාව සැරසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා, එහි සන්ථාගාර ශාලාවෙහි මහඟු පර්යංකයට පැමිණවූහ. ඉක්බිති එහි වටේ රැකවල් තබවා මල්ලරජුන් ප්‍රමුඛ කුසිනාරා නුවර වැස්සෝ ගෞරව උපහාර පුදමින් සත් දිනක් ධාතුන් වහන්සේ පිදූහ.

මගධෙශ්වර අජාතශත්‍රැ රජතුමාද විසාලාපුර වැසි ලිච්ඡවී රජහුද, කපිල වස්තුපුරවාසී ශාක්‍ය රජහුද, අල්ලකප්පරට වැසි බුලි රජහුද, රාමග්‍රාම වාසි කෝලිය රජහුද වේඨදීපක නුවරවැසි වේඨදීපක බමුණාද පාවානුවර වැසි මල්ල රජහුද, එහි ගොස් කුසිනාරා වටකොට ගෙන අයිතිවාසිකම් කියා ධාතු කොටස් ඉල්ලා තමන්ද ස්තූප කරනු බව දන්වා කුසිනාරාපුර මල්ල රජුනට වෙන වෙනම පණිවුඩ යැවූහ. මල්ල රජහුද තමන් රටෙහි පහළ වූ රුවන් පිටතට නොදෙන බව දන්වා තෙපි යුධ කරනු කැමැතිනම් අපිත් යුද්ධ කරමිහයි කියා පණිවුඩ යැවූහ.

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදා ගැනීමට නොහැකිව ඔවුන් අතර ඇතිවන්නට ගිය මහා යුද්ධයක් වළක්වා මැදහත් සිතින් ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදා වෙන් කරන ලද්දේ ඔවුනට කරුණු කියා සමාදාන කොට ඒ ධාතුන් අට කොටසකට බෙදා දුන්නේය.

ඉක්බිති ද්‍රෝණ බමුණාද තමාටත් පූජ්‍ය වස්තුවක් ඕනෑ බව කියා ධාතුන් වහන්සේ බෙදූ ස්වර්ණමය නාළිකාව ඔවුන්ගෙන් ඉල්ලා ගත්තේය.

පිප්පලීවන පුර වැසි මෝරිය රජහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව අසා පසුව එහි පැමිණියේය. ධාතුන් වහන්සේ නොලැබූ හෙයින් ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන ගියහ. ධාතුන් වහන්සේලා ගෙන ගිය ඒ ඒ රජවරු ඒවා නිදන්කොට ස්තූප කරවා පිදූහ. ද්‍රෝණ බමුණාද තමා ලත් ස්වර්ණ නාළිකාව නිදන් කොට “කුම්භථූප’ නම් චෛත්‍යයක් කළේය. මෝරිය රජුන් දර සෑයේ අඟුරු නිදන් කොට තැනවූ අංගාර ස්තූප දෙකද සමඟ සර්වඥධාතු නිදන් කළ චෛත්‍ය අටයි සියලු චෛත්‍යයෝ දස දෙනෙක් වූහ.

කුසිනාරා – මල්ලව රජ දරුවෝ

මේ ධාතුන් වහන්සේලා බෙදා දුන් බව සනිටුහන් කිරීම සඳහා ආදාහන චෛත්‍ය අසල කුඩා ස්තූප අටක් සකස් කර ඇත.

අසිරිමත් සම්බුදු උපත සිදුවු බුද්ධභූමි වන්දනාව මගින් පුරා වසරකට අධික කාලයක් අපි වන්දනාවේ යෙදුනෙමු. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් සම්බුදු සිරිතට අදාළ පූජනීය, වන්දනීය සිද්ධස්ථාන වන්දනා කර ගැනීමෙන් අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය තව තවත් එමගින් වර්ධනය කර ගැනීමට හැකි වූයේ යැයි විශ්වාස කරමු.

එම අසිරිමත් බුද්ධ වන්දනාව හැම විට සිහියට නඟා ගනිමින් තෙරුවන් කෙරෙහි වූ පහන් සිත දිවි තිබෙන තුරා ඇති කර ගැනීමට එම වන්දනාව හේතුවේවා.


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 66 - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ කුසිනාරාවේ ආදාහන චෛත්‍යය

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]