UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

90 වන සංවත්සර උළෙල පැවැත්වෙන පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය දහම් පාසල

90 වන සංවත්සර උළෙල පැවැත්වෙන පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය දහම් පාසල

දහම් පාසලේ 90 වන සංවත්සරය සහ සම්මාන පිදීමේ මහෝත්සවය 20 වනදා

පානදුර, දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය දහම් පාසලට වර්ෂ 90 ක් සපිරේ. දිගු කලක් ධර්ම ශාස්ත්‍ර සේවාවෙහි යෙදෙමින් සම්බුද්ධ ශාසනයට හා සමාජ අභිවර්ධනයට ඉටුකළ මෙහෙවර අතිවර්ණිතය. එම උදාර සේවාව අනුස්මරණය කෙරෙන සම්මාන ප්‍රධාන මහෝත්සවය මෙම මස 20 වැනි දින අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ධුරන්දර අහුංගල්ලේ සිරිසීල විසුද්ධි මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල මහත්වරු ප්‍රධාන සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරය හා සුභාෂෝදය දහම් තක්සලාව දිස්ත්‍රික්කයේ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රමණීය උස් භූමියක පිහිටි උතුම් පින් බිමකි. අමරපුර මහා නිකාය හා බැඳුනු සංඝ පීතෘවරයාණන් වහන්සේලා රැසකගේ ආශිර්වාදය මධ්‍යයේ සැදුම්ලත් එම විහාරස්ථානයේ ආදි කර්තෘ ලෙස අපවත්වී වදාළ පික්කුලමේ සංඝරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, කහතුඩුවේ පඤ්ඤාරතන නායක හිමිපාණන් වහන්සේ, දෙල්දුවේ ඤාණරතන අධිකරණ සංඝනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, ගොරකානේ පේමරතන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පරණගම සෝමාලංකාර අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ශාස්ත්‍රාචාර්ය කරතොට විමලරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ යන අපවත්වී වදාළ හිමිවරු ලේඛන ගතවූහ.

දෙල්දූවේ ඤාණරතන නාහිමි

ගොරකානේ පේමරතන නාහිමි

කරතොට විමලරතන හිමි

විහාරාධිපති කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන හිමි

පානදුර දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාමය, වාද්දූව මැලෑගම සුගත බිම්බාරාමය, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරය, බණ්ඩාරගම මස්විල ශ්‍රී ශෛලතලාරාමය යන චතුර් විහාරාධිපති වැඩවිසූ සිරිසුගත ශාසන ශෝභන ධම්ම විනයාචරිය දෙල්දූවේ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 1924.07.16 වැනි දින සුධර්මාරාම විහාර සෙවණේ දී සුභද්‍යෝදය තරුණ සමිතිය පිහිටුවන ලදී. 1925.06.07 වැනි ඉරුදින සුභද්‍යෝදය තරුණ සමිතිය මගින් සුභද්‍යෝදය ධර්ම විද්‍යාලය ස්ථාපිත කරනු ලැබූ බව විහාර වංශ කථාව කියයි. කුඩා කටුමැටි ගෙපැලක සෙවණ ලබා දරුවන් කිහිපදෙනෙකුගේ අතපොත් තබා ආරම්භ වූ එම දහම් පාසල සාරධර්ම, පෝෂණය, සුචරිත වර්ධනය, කුඩා දරුවන්ට සදහම් මග කියාදීම සඳහාම යොමුවූ දහම් උල්පතක් විය. දෙල්දූවේ ඤාණරතන නාහිමියන් සහ ගොරකානේ පේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1948.04.18 වැනි දින සුභද්‍රෝදය තරුණ සමිතිය සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමය ලෙසද, 1948.10.03 වැනි දින සුභද්‍යෝදය දහම් පාසල සුභාෂෝදය දහම් පාසල ලෙසද නාමිකව වෙනස්කර නැවත ආරම්භ කරන ලදී. සුභාෂෝදය සංගමයේ ආරම්භක සභාපති ලෙස ඩබ්.නෙවිල් ප්‍රනාන්දු මහතාද, ලේකම්වරුන් ලෙස ඩබ්ලිව් ටිඩිමන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. වින්සන් සොයිසා මහත්වරුද අනතුරුව සිරිල් ප්‍රනාන්දු, ඩබ්ලිව්.පී. පුණ්‍යදාස, සෑම්.ටි. ද සිල්වා මහත්වරු සභාපතිවරුන් ලෙසද, ඩබ්ලිව් දේවසිරි ප්‍රනාන්දු, ටී.ඩී.බී.පීරිස්, ජී. සිරිපාල පොන්සේකා මහත්වරු, ලේකම්වරුන් ලෙසද කටයුතු කරන ලදී. ජී.එස්. ලෙස්ලි පොන්සේකා මහතා වත්මන් සභාපති ලෙසද ටි. කුලසිරි ප්‍රනාන්දු මහතා ලේකම් ලෙසද කටයුතු කරති. 2014.05.01 වැනි දින දහම් පාසල් සංවර්ධන සමිතිය පිහිටවූ අතර විහාරාධිපති දෙල්දූවේ සුමන නාහිමියන් සභාපති ලෙසද ලෙස්ලි පොන්සේකා මහතා ලේකම් ලෙසද, ධම්මික උඩවත්ත මහතා භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරනු ඇත.

එදා දරු දැරියන් 75 දෙනෙකුගෙන් ඇරඹු මෙම දහම් පාසලේ ප්‍රථම ප්‍රධානාචාර්යවරයා වශයෙන් ඇල්. ඇස්. ප්‍රනාන්දු මහතා පත් වූ අතර දහම් පාසලේ අභ්‍යුදය සඳහා මෙතුමාගේ මෙහෙවර භක්ති ප්‍රණාමයෙන් සිහිපත් කළ යුතුව ඇත. 1948 සිට 1987 මැද භාගය දක්වා දීර්ඝ කාලපරිච්ඡේදයක් ප්‍රධානාචාර්ය ධුරය දැරූ කේ.එම්. පෙරේරා මහතා දහම් පාසල් නවෝදයේ නිර්මාතෘවරයා විය. දහම් පාසල් සේවාව සද්භාවයෙන් ඉදිරියට දියත් කරවූහ. කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පවත්වන ලද විභාගයේ දී වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සමත්වීමේ කුසලානය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් දිනා ගැනීම, පානදුරා තොටමුණේ හොඳම දහම් පාසල වීම, ඉංගී‍්‍රසි ධර්ම පරීක්ෂණවලින් වර්ෂ 4 ක් ත්‍යාග දිනා ගැනීම, පානදුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින දහම් පාසල බවට පත්වීම 1950 දසකයේ මුල් භාගයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ ශිෂ්‍ය විභාගයෙන්, ඉංගී‍්‍රසි ජ්‍යෙෂ්ඨ ධර්ම පරීක්ෂණයෙන්, මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ ධම්මපද විභාගයෙන් සිසුන් ජයග්‍රහණය කිරීම, 1952 මාතර ශ්‍රී ධර්මවංශ ගුණානුස්මරණ සංගමය මඟින් පැවැත් වූ අභිධර්ම පරීක්ෂණයෙන් සිසුන් සමත්වීම, ටී.ඩී.බී. පීරිස් ශිෂ්‍යයා සමස්ත ලංකා තරුණ භික්ෂු සංගමය පැවැත්වූ ධර්මාචාර්ය උපාධි පරීක්ෂණයට 1951 දී පෙනී සිට එයින් සමත්වී ධර්මාචාර්ය උපාධියට හිමි සන්නස් පත්‍රය ලබා ගැනීම හා ඉංගී‍්‍රසි භාෂා පරීක්ෂණ 4 කින් ගෞරව සාමාර්ථ සහිතව සමත්වීම. සමකාලීන සිසු සිසුවියන් වූ වෛද්‍ය ලක්ෂමන් පෙරේරා, හේමන්චන්ද්‍ර ප්‍රනාන්දු, ඥාණා පෙරේරා, පේමවතී පීරිස්, ටයිලින් සල්ගාදු, ඊතම් ප්‍රනාන්දු යන අය ධර්ම විභාගවලින් උසස් සාමාර්ථ ලැබ දහම් පාසලට ගෞරවයක් ලබාදීම, ජයන්ත කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් බුද්ධ ධර්මය ඉංගී‍්‍රසියෙන් ඉගැන්වීම හා ඊට අදාළ විභාගවලින් දරුවන් සමත්වීම, අන්තර් දහම් පාසල් ගුවන් විදුලි තරගාවලිය ජය ගැනීම දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීම මෙම උත්කෘෂ්ඨ සේවාවේ ප්‍රතිඵල ලෙස දැක්විය යුතුය. මෙම ප්‍රගතියට එම්. තිඩිවන් ප්‍රනාන්දු, ඩී.ඒ. ගුණපාල පෙරේරා, දුමිඳුපාල ප්‍රනාන්දු, විමල් සිරිතිස්ස ප්‍රනාන්දු ඇදුරන්ගේ සහාය විසල් ශක්තියක් විය.

1985 දී දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා පාලන අධ්‍යක්ෂ හා පැවිදි අනුශාසක ධුරයෙන් පිදුම් ලැබූ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ගුරු උපදේශක ශාස්ත්‍රපති බලංගොඩ පියනන්ද නාහිමිපාණන්ගේ සුවිශේෂී සේවාව විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. එම මෙහෙය දහම් පාසල් පුනරුදයට මහෝපකාරී විය.

වත්මන් විහාරාධිපති කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමනනාහිමිපාණෝ දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා පාලන අධ්‍යක්ෂ හා අනුශාසක ධුරයට 1994 දී පත්වූහ. සුමන නාහිමිගේ අනුශාසනය හා සදූපදේශ ඥානය තුළ ක්‍රියාත්මක වන මෙම දහම් පාසල ආදර්ශවත් මෙහෙවරක යෙදේ. දහම් පාසලේ පාලන අධ්‍යක්ෂ හා දහම් පාසල් සංවර්ධන සමිතියේ සභාපති වශයෙන්, කටයුතු අධීක්ෂණය කරමින් ආචාර්ය මණ්ඩලය, දරු දැරියන්, ආදි ශිෂ්‍යයන් මව්පියන් සතර පේරුවේ දායකකාරකාදීන්ගේ සාමුහික ශක්තිය ලබා ගනිමින් මෙම ධර්ම විද්‍යාලය පළාතම බබළවන ආයතනයක් බවට පත්කිරීමට සමත්වීම බොදු සැදැහැතියන් ලැබූ මහඟු අත්වැලකි. 1500 ක් පමණ දරු දැරියන් 66 කින් සමන්විත ආචාර්ය මණ්ඩලය හසුරුවමින් ආගමික අධ්‍යාපනය, සුචරිත වර්ධනය, විනය, හැදියාව, ඇඳුම පිළිබඳව සැලකිලිමත්වෙමින් ආදර්ශවත් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීවීම ප්‍රශංසා කටයුතු ය. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා පන්ති 34 කින් සමන්විතව ක්‍රියාත්මකවන මෙම දහම් පාසල මෙකී කාල රාමුව තුළ වාර්ෂික ධර්ම පරීක්ෂණ, ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ තරග, සිසු නිපුණතා ඇගයීම්, දහම් පාසල් අවසාන හා බෞද්ධ ධර්මාචාර්යය යන විභාගවලින් දරුවන් විශිෂ්ට දස්කම් දැක්වීම සඳහන් කරන්නේ හදපිරි සතුටිනි. ශිෂ්‍ය සංඛ්‍යාව, පන්ති හා ගුරුභවතුන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම, රුපියල් මිලියන 10 කට වඩා වටිනා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය හා විහාර පරිශ්‍රය නවීකරණය, සකල විහාරාංගයන්ගෙන් මෙම විහාරස්ථානය සමලංකෘත භාවයට පත්කිරීම, හරිත වර්ණයෙන් යුතු රුක් සෙවණ ඇතිකිරීම, පුස්තකාලය පිහිටුවීම, පෙර පාසලක් ඇති කිරීම, ප්‍රජා සත්කාරක සේවා, ළමා සමිති ප්‍රතිසංවිධානය වත්මන් යුගයේ නොමැකෙන පියසටහන් වෙයි.

සුභාෂෝදය දහම් පාසල් මාතාවට 2015 වසරට අනූවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් සමරු වැඩසටහන් මාලාවක් මෙම වර්ෂය පුරා ක්‍රියාවට නඟා ඇත. දෙල්දූවේ සුමන නාහිමිගේ දෑත් ශක්තිමත් කරමින් ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති තලගල සුගතනන්ද හිමිපාණන්ගේ සහාය මත සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමය, දහම් පාසල් සංවර්ධන සමිතිය, ආචාර්ය මණ්ඩලය, උපාසක උපාසිකාවන් මේ සඳහා දායකත්වය ලබා දී ඇත. 2015 වසරට දරුවන් ඇතුළත් කර ගැනීම ගමේ සැරිසරන ලද මනරම් මල්පෙරහර, සියක් නමක් විෂයෙහි මහා සාංඝික දානය, අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර, වෙසක් මහා ශීල සමාදානය, බැති ගී සරණිය, දරුවන් සිල් සමාදන් කරවීම, ධර්ම සාකච්ඡා ධර්ම දේශනා, පරිත්‍රාණ ධර්ම දේශනා, ඤාණපූජා, ආශිර්වාද පූජා පැවැත්වීම, රෝහල් ගිලන් සේවා, ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය එළි දැක්වීම, මීට ඇතුළත්වේ. 2015.12.20 වැනි ඉරුදින සන්ධ්‍යාභාගයේ පැවත්වෙන 90 වන සංවත්සරය ජීවමාන ඇදුරන්ට, හා ආදි ශිෂ්‍යයන්ට සම්මාන පිරිනැමීම හා ත්‍යාග පිරිනැමේ.


අනූ වසරක ගමන් මග ප්‍රශංසනීයයි

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී සුභාෂෝදය දහම් පාසලට අනූ වසරක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමරු උත්සවයේ දී අපගේ ආශිර්වාදය ප්‍රමුඛ අභිප්‍රශංසාව ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව මහත් සේ සතුටට පත් වෙමි.

අප අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ ප්‍රධාන පූජනීය විහාරස්ථානයක් වන දිබ්බැද්ද මොරවින්නේ සුධර්මාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂ 4කට ආසන්න අතීතයකට උරුමකම් කියන ඓතිහාසික පුණ්‍ය භූමියකි. අතීතයේ පටන් මෙහි වැඩසිටි ධර්ම විනයධර යතිවරයන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සිදු කරන ලද අමිල මෙහෙවර ද කෘතවේදීව මහත් ගෞරවයෙන් සිහිපත් කරමින් අතීතයේ සිට මේ දක්වා මෙම පින්බිමෙන් ප්‍රදේශවාසී බොදු ජනතාවට සිදුවන ජාතික ආගමික හා සාමාජික මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩව සිදු කරගෙන යාම පිළිබඳව වර්තමාන විහාරාධිපති අප නිකායේ කාරක සංඝ සභික දිශාවේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නායක ස්ථවිරයන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු මහා සංඝරත්නයට අපගේ ආශීර්වාදය පළ කර සිටිමු.

දාගැබ් බෝ පිළිම ආවාස ධර්මශාලා ගොඩනගමින් පන්සල් සංවර්ධනය කිරීම මෙන්ම නිසි දහම් අධ්‍යාපනයක් ලබා දී අපේ අනාගත දරු පරපුර සුමගට යොමු කිරීමේ මහඟු කාර්යය ද අතීතයටත් වඩා වර්තමානයේ දී සක්‍රීයව සිදු කළ යුතු බව අප කාටත් පැහැදිලිව පෙනෙන්නකි. විවිධ විෂමාචාර සංකර සිරිත්වලට යොමු වී වටිනා ජීවිත අඳුරට යොමුවීමේ ප්‍රවණතාව පෙරටත් වඩා වැඩි කාලයක දිවි ගෙවන අපට අපේ අනාගත පරපුර ගුණ නුවණින් පිරිපුන් පිරිසක් බවට පත් කර ගැනීමේ අභියෝගය සාර්ථක කර ගැනීමට වෙර දැරිය යුතු වෙමු. මේ සඳහා විධිමත් හා ප්‍රායෝගික මාර්ගය නිසි දහම් අධ්‍යාපනයක් ලබාදීමයි. සුභාෂෝදය දහම් පාසල එම මෙහෙවර මතුවටත් ඉටුවනු දැකීම අපගේ පරම අභිලාශයයි. ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට සහ සියලු දහම් පාසල් සිසු දරුවන්ට මෙත් සිතින් සෙත් පතමි.


සමාජයට ආදර්ශවත් දරුවෙකු පිරිනැමීමේ මහා පින්කම

අතීතයේ සිටම බෞද්ධාගමික වටපිටාවක් තුළ විනයගරුක, ශික්ෂාකාමී දරුවකු සමාජගත කිරීමේ ජාතික කර්තව්‍යය ඉටු කරන ලද්දේ පන්සල් ආශි‍්‍රත දහම් පාසල තුළිනි. පන්සලක කසාවත දිදුලන ඉසව්වේ, සන්සුන් සුවදායී පරිසරයක, බෞද්ධ දර්ශනයේ හර පද්ධතිය සමඟ ළමා මනසට පිවිසෙන දහම් පාසල් අධ්‍යාපනය නිසැකවම සමාජයට ආදර්ශවත් දරුවෙකු පිරිනැමීමේ මහා පින්කම සිදුකරන ලද්දේ ය.

මේ වන විට සිය ආගමික අධ්‍යාපනයේ දශක නවයක කාලය සපුරන පානදුර, දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ සුභාෂෝදය දහම් පාසල එදාමෙදාතුර, ගමට, පළාතට සහ රටට බිහිකළ ආදර්ශවත් දරුවන්ගේ සංඛ්‍යාව, ගණනය කළ නොහැකි තරම් වනු ඇත.

අනූ වසරක් පුරා මෙම දහම් පාසල විසින් ඉටු කරන ලද ශාසනික සහ සමාජ මෙහෙවර අතිශයින් අගය කළ යුතු අතර එහි නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍යපාද දෙල්දූවේ ඤාණරතන අධිකරණ නා හිමිපාණන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු ය. උන්වහන්සේ අපවත්වී, මෙම වසර වන විට වසර හැටපහක් සම්පූර්ණ වුවද එදවස යටත්විජිත සමයේ උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම දහම් පාසල නවීනත්වය සමඟ පෑහෙමින් සාර්ථකව පවත්වාගෙන යාමද අගය කළ යුතු ය.

වත්මන් විහාරාධිපති, දහම් පාසල් සංවර්ධන සමිතියේ ගරු සභාපති පූජ්‍ය දෙල්දූවේ සුමන නාහිමියන් වහන්සේ, සුභාෂෝදය දහම් පාසලේ දියුණුවට සලසන මෙහෙවර ද සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර විය යුතු ය. දහම් පාසල් අධ්‍යාපනය වැඩි ප්‍රතිශතයකින් සමාජය ඉල්ලා සිටින අවධියක, සිය අනූවැනි ජන්ම දිනය සමරන සුභාෂෝදය වැනි දහම් පාසලකට, ඉටු කළ හැකි සමාජ මෙහෙවර සුවිශාලය. එසේම එහි කාර්යභාරය ද පුළුල්ය. එකී අභියෝග ජයගෙන පිරිපුන් මිනිස් සමාජයක් උදෙසා තව තවත් මෙම දහම් පාසල කැපවේවායි ප්‍රාර්ථනා කරමි.


අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි

මනුෂ්‍යත්වයෙන් පොහොසත්, සංවේදී විනයගරුක දූ දරු පිරිසක් බිහි කිරීමට, දහම් පාසලක් තුළින් ලබා දෙන දහම් දැනුම, අවබෝධය සහ ශික්ෂණය අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. සුධර්මාරාම විහාරස්ථ සුභාෂෝදය දහම් පාසල පුරා වසර 90 ක් එම උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදුන් ධර්මෝපදේශ මධ්‍යස්ථානයකි.

මොරවින්න ග්‍රාමයේ දරුවන්ට දහම් පොත පත කියා දීමේ අරමුණින් 1925 වසරේ කටු මැටි ගෙපැලක ඇරඹි දහම් පාසල, ගරුතර සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ තරුණ, වැඩිහිටි සැමගේ දායකත්වයෙන් මෙතෙක් පැමිණි ගමන සහ ඉටුකළ සේවය ප්‍රශංසනීය ය. එලෙසින්ම වඩාත් සාර්ථක ධාර්මික සමාජයීය මෙහෙවරක් ඉටුකිරීම සඳහා දුෂ්කරතා රැසක් මැද පැමිණි ඒ ගමන දෙස ආපසු හැරී බැලීමට ද ඉදිරිය සැලසුම් කිරීමට ද මෙය අගනා අවස්ථාවක් කරගත යුතු ය.

ඊට සමගාමීව සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පුනර්ජීවයට කැපවුණු සේවයක් ඉටුකළ, අපවත් වී වදාළ පූජ්‍යපාද දෙල්දූවේ ඤාණරතන හිමිපාණන්ගේ හැටපස්වන ගුණානුස්මරණය නිමිතිකොට ගෙන ගුණ සමරු වැඩසටහන් මාලාවක් පැවැත්වීම ද අගනේ ය. දහම් දැනුම ලබා දෙමින් ගුණ නුවණින් පිරිපුන් දරු කැලක් දැයට තිළිණ කිරීමට චිරාත් කාලයක් සුභාෂෝදය දහම් පාසලට හැකි වේවායි සුබ ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි!

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]