UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2015.12.18

බෞද්ධකම

බෞද්ධයා මෙලොවට බිහිවීමට පෙර සිටම නැතහොත් මව්කුසයෙහි වෙසෙන කාලයේ සිටම තෙරුවන් හි ආශීර්වාදය ලබා ගැනීම බෞද්ධ සමාජයෙහි පවතින උතුම් චාරිත්‍රයක් ද වේ. මෙසේ උපතටත් පෙර සිට එසේ ත්‍රිවිධරත්නයෙන් ලබන ආශීර්වාදය ජීවිතාවසානය නොව මරණයෙන් පසුවද ලබා ගැනීමට තරම් බෞද්ධයා වාසනාවන්තය.

දිනපතා උදේ සවස තෙරුවන් වඳින පුදන ආගමික චාරිත්‍රය බොහෝ බෞද්ධයන් විසින් ඉටු කරනු ලබන්නකි. ස්වකීය ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම තෙරුවන් ගුණ සිහිකර තෙරුවන් විෂයෙහි මූලිකත්වය තබා කටයුතු කිරීමට ද හුරු පුරුදු වී සිටිති. සෑම මොහොතකම බෞද්ධයා කල්පනා කරනු ලබන්නේත් විශ්වාස කරනු ලබන්නේත් මට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර එමෙන්ම ධර්ම රත්නයේ පිහිට හැර සහ මහ සඟරුවනෙහි පිහිට හැර වෙනත් පිහිටක් නැත්තේමය. මෙසේ ත්‍රිවිධරත්නයෙහි ගුණ සිහිකිරීම ජීවිතයේ සදා අනුස්මරණීය කටයුත්තක් ලෙස බොහෝ බෞද්ධයන් සිදු කරනු ලැබේ. තම නිවසේ දී දරුවන් අබියස මව්පිය වැඩිහිටියන් මෙසේ ත්‍රිවිධ රත්නයට අපමණ වූ ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන විට එය දකින, බලන දරුවන් ද ඊට නිරන්තරයෙන් නැඹුරු වී කටයුතු කරනු ලැබේ. එබැවින් යහපත් අනාගත පරපුරක් උදෙසා මව්පිය වැඩිහිටියන්ගේ යහපත් ආදර්ශයද බෙහෙවින් බලපානු ලැබේ.

යහපත් දරුවන් හදන වඩන මව්පියවරු නිසි වයසේ දී අධ්‍යාපනය ලබාදීමට කටයුතු යෙදීම මෙන්ම එම දරුවන් ආගමික අධ්‍යාපනයට යොමුකරවීමටද කටයුතු කරනු ලැබේ. මනුෂ්‍යයාගේ සදාචාර වර්ධනයට පන්සල, දහම් පාසල ඉටු කරන මෙහෙය ගණන් බලා මිල කළ නොහැකි තරමේ අප්‍රමාණ මෙහෙවරක් ඉටු කරති. විහාරස්ථානයේ වැඩ වසන ගෞරවණීය ස්වාමීන් වහන්සේ දහම්පාසල පවත්වන දිනයේ දී බොහෝවිට අනෙකුත් කටයුතු පසෙක තබා ස්වකීය කාලය දහම් පාසල් දරුවන් වෙනුවෙන්ම කැපකිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතු ය. සිත නිවන, සිත ගුණ දහමින් පෝෂණය කරන ගුණ දහමේ කේන්ද්‍රස්ථානය, පන්සල සහ දහම් පාසල බව අමතක නොකළ යුතු ය. පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේ දහම් පාසල සඳහා එසේ කැපවීමෙන් ක්‍රියා කරන විට දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවාද එදින වෙනත් කටයුතුවලින් ඈත්ව දහම් අධ්‍යාපනය සඳහාම යොමුවිය යුතු ය.

මව්පිය වැඩිහිටියන් තම දරුවන් ආගමික පසුබිමකට යොමු කිරීම මගින් සමාජයෙන් ඇතැම්විට කලාතුරකින් කෙනෙකු අතින් හෝ ගිලිහී යන සාරධර්ම ආරක්ෂා කර ගැනීමට හේතුවක් වනු ඇත. කයින් වචනයෙන් සිතින් යන තිදොරින්ම තමන් සංවරයට පත් කරනු ලබන්නේ ද ආගමානුකූලව කටයුතු කරන මනුෂ්‍යයාය. මනුෂ්‍යයෙකු ලෙස උපත ලබා ජීවත් වන කෙටි කාලය තුළ තම ජීවිතය අස්ථිර බව දැන සංසාර ගමන යහපත් කර ගැනීමට උපකාරීවන ක්‍රියාවන්හි යෙදීම බුද්ධිමත් බවෙහි ලක්ෂණයකි.

සමාජයේ වෙසෙන මනුෂ්‍යයා විවිධ අදහස්වලින් තම සිත කිලිටට පත් කර ගනු ලබන්නේ සමාජය හා ගැටෙන විටය. එහෙත් ගැටුම්වලින් ඈත්ව ජීවත්වීමට නම් ජීවිතයෙහි ඇති වටිනාකම නිරන්තරයෙන් කල්පනා කළ යුතුව ඇත. කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය ආදී ජීවිත කාලය ඉතා වේගයෙන් ගෙවී යන විට ගෙවී ගිය හෙවත් ගතකළ කාලය ගැන සිතා සතුටු විය හැකි ජීවිතයක් ගත කිරීමට හැම විට උනන්දු විය යුතු ය. ආගම දහම වියපත් වූ විට හෝ පරලොවදී පිහිට වන දහමක් යැයි ඇතැමෙක් තුළ ඇති වැරැදි වැටහීම හා අවබෝධ නිසා වරින්වර හෝ සමාජය තුළ ගැටලු හට ගනී. සම්බුදු දහම යනු මෙලොව සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීමට මඟ කියාදෙන උතුම් ජීවන ප්‍රතිපදාවක්ද ඒ තුළ අන්තර්ගත ය.

එබැවින් දුර්ලභව ලබාගත් වටිනා මිනිස් ජීවිතය සාර්ථක කර ගැනීමට මේ ලෝකය තුළ ජීවත්වන මනුෂ්‍යයා කල්පනා කළ යුතු ය. භෞතික සම්පත් ජීවිත පැවැත්මට අත්‍යවශ්‍යය. තමාට සරිලන පරිදි සරල ජීවිතයක් ගත කිරීමෙන් භෞතික සම්පත්වල ප්‍රයෝජනයද ලබා ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කළ හැකිය. ලෞකික ජීවිතය අසාර්ථක කරගතහොත් සසර ගමනෙහි කෙළවර කවදා සිදුවේදැයි පවා සිතිය නොහැකිය. එබැවින් ගත සිත මෙහෙයවා සම්බුදුදහමට අනුව නිවැරදි ජීවිතයක් ගත කරමින් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගත යුතු ය.

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]