UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු ප්‍රකරණයෙන් ... දෙව්ලොව ගිය ඇත්තෝ එක පහනක් දල්වා ප්‍රභාමත් දිව්‍ය සම්පත් ලද උපාසිකාව

විමාන වත්ථු ප්‍රකරණයෙන් ...

දෙව්ලොව ගිය ඇත්තෝ

එක පහනක් දල්වා ප්‍රභාමත් දිව්‍ය සම්පත් ලද උපාසිකාව

එවක බුදුරජාණන් වහන්සේ කොසොල් රට වැඩමකරමින් ථුන නම් වු බමුණු ගමට මහා සංඝයා පිරිවරා වැඩම කළ සේක. බුදුන් වහන්සේගේ වැඩමවීම ගැන බමුණු ගම්වැස්සෝ නොකැමැති වූහ. එබැවින් ඔව්හු ගමේ පාරවල් අහුරා තැබූහ. ළිං පොකුණු පිදුරු ආදියෙන් වසා දැමූහ. බුදුන් වහන්සේට සහ භික්ෂූන් වහන්සේට කිසිඳු දානමාන ආදියක් නොදීමට කතිකා කර ගත්හ. ඒ ඔවුන් තදින්ම බමුණු දහමේ එල්බගෙන සිටි පිරිසක් වූ බැවිනි.

එසේ වී තිබිය දී එක්තරා දාසියක් වතුර කළයක් රැගෙන යමින් සිටි වේලේ ගසක් මුල වැඩහුන් බුදුරදුන් හා පිරිස දුටුවාය.

“ගම්වැසි උදවිය කුමක් කීවත් කුමක් කරතත් බුදුන් වහන්සේට පැන් පූජා කළ යුතුම යි” කියා සිතූ ඒ තැනැත්තිය හිස උඩ තබාගෙන ආ කළය අතට ගෙන බුදුන් වහන්සේට පැන් පිළිගන්වා අනතුරුව මහා සංඝයා වහන්සේටද පැන් පූජා කළාය.

කෙතෙක් පැන් පූජා කළත් කළයේ පැන් ස්වල්පයක් වත් අඩු නොවී තිබෙනු දුටු ඇය පුදුමයටත් ,පී‍්‍රතියටත් පත් වූවාය. වහ වහා ගෙදොරට ගිය ඈ ඒ පුවත ගෙහිමි බමුණාට පැවසුවාය. බමුණු තෙමේ ඒ අසා උරණ විය.

“ගම්වාසී අපේ කතිකාව අනුව ගත්තු තීන්දුව තී කඩ කළා. එයින් මට නින්දා කළා” යැයි කෝපයෙන් ගිගුරු බමුණා ඈ බිම හෙළා අතින් පයින් තැළුවාය.

පහර කෑ දාසිය එයින්ම මිය ගියාය. එහෙත් පැන් පූජා කළ පිනෙන් ඈ එකෙණෙහිම තව්තිසා දෙව්ලොව රන්විමනක දෙවඟනක වී උපන්නාය.

මෙවේලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා “ළිඳකින් පැන් රැගෙන එන්න” යැයි පැවසූහ. ආනන්ද තෙරුන් ළිඳක් කරා යද්දී ළිං වසා තිබූ පිදුරු ආදි වහන්තරා ඉවත් වී යමින් ළිංවල පැන් පිරී ඉතිරී යන්නට විය. ඒ පුදුමය දැක ථුන ගම්වැස්සෝ පැහැදී බුදුපාමොක් මහා සංඝයා වඩා හිඳුවා දන් වළඳවා බුදුන් වැඳ එකත්පස් වී සිටියෝය. ඒ අවස්ථාවේ පැන් පූජාවේ අනුහසින් දෙව්ලොව උපන් තැනැත්තී තම දිව්‍යමය නාවුක විමානයට පැන නැඟී පැන් පූජාවේ අනුසස් සහ තෙරුවන්හි ගුණ ප්‍රකට කරමින් ප්‍රභාමත්ව දිලිසෙමින් පෙනී සිටියාය.

බුදුරජාණන් වහන්සේ ඇය දිව්‍ය සම්පත් ලැබු කුසල කර්මය ඇය ලවාම ප්‍රකාශ කරවා පිරිසට ධර්මය දේශනා කළහ. ඒ ධර්මය අසා දිව්‍යාංගනාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඒ ධර්මය අනෙකුත් පිරිසටද බොහෝ ඵලදායි විය.

තවද බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කාලයේ එක්පොහොය දිනයක බොහෝ දෙනෙක් පෙහෙවස් සමාදන් වූහ. තම තමන්ගේ හැකි පමණින් දන් පැන් ද දුන්හ. උපාසක උපාසිකාවෝ පෙරවරුවේ තම දවල් බත සප්පායම් වී පස්වරුවෙහි සුදු හැදුමෙන් සැරසී සුවඳ මල් සුවඳ භාණ්ඩ රැගෙන විහාරයට ගොස් වැඳ පුදා තම තමන් රිසි පරිදි භික්ෂු සංඝයා වහන්සේ සමඟ සාමීචියෙහි ද යෙදිණි. අනතුරුව සවස් භාගයෙහි ඔවුහු ධර්ම ශ්‍රවණය පිණිස රැඳී සිටියහ.

එවේලේ හිරු බැසයමින් අන්ධකාරය පැතිර යන්නට පටන් ගැනුණි. ඒ මොහොතේ එහි සිටි නම නොසඳහන් එක්තරා කාන්තාවකට මෙසේ සිත්විණි.

“දැන් නම් පහන් ආලෝකයක් අවශ්‍යයි. ඒ නිසා මා මේ වෙලාවේ පහන් දැල්වීමක් කොට පහන් පූජාවක් කිරීම සුදුසුයි.”

ඒ අනුව ඈ වහා සිය ගෙදොරට පණිවුඩ යවා තෙල් පහන් ආදි උපකරණ ගෙන්වා ගත්තාය. එයින් පහනක් දල්වා ධර්මාසනය ඉදිරියෙහි දල්වා තබා සතුටු සිතින් ධර්ම ශ්‍රවණයෙහි යෙදුණාය. ඒ බණ අවසානයෙහි තමන් පිදු පහන් ආලෝක පූජාව සිහිපත් කොට ගෙන පී‍්‍රතිප්‍රමෝදයට පත්වෙමින් වැඳ නමස්කාර කර ආපසු ගියාය. නොබෝ කලකින්ම ඈ කාලක්‍රියා කළාය .

පහන් පූජාවේ කුසලය සහිතව මිනිස් ලොවින් චුත වු ඈ තව්තිසා දෙව්භවනෙහි දෙවඟනක ලෙසින් උපත ලැබුවාය. සූර්ය මණ්ඩලයක් සේ නොයෙක් රශ්මි ජාලාවෙන් දීප්තිමත් ජෝතිරඟ විමානයක් ඇයට පහළ වී තිබිණ. ඇයගේ ශරීරය ප්‍රභාව අනෙකුත් දෙවඟනන් පරයා දිලිසුනේ තාරකා මධ්‍යයේ බබළන්නා වූ පූර්ණ චන්ද්‍රයා පරිද්දෙනි. ඒ ශරීරාලෝකයෙන් හාත්පස බබළවමින් ඈ දිව්‍ය ශ්‍රී සම්පත් භුක්ති විඳින්නට වූවාය. එකල්හි මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි යෙදෙන විට මේ දෙවඟනක් දැක මෙසේ තතු විමසූ සේක.

“එම්බා, දෙව්දුව, ඔෂධී තාරකාව අනික් තාරකා අබිබවා . ඒකාලෝක වන්නා සේ අන්‍ය දෙවඟනන් අබිබවමින් මනා රූපශ්‍රී ශෝභාවෙන් හා මනා ඡවි වර්ණයෙන් තී බබළන්නීය. පරිභෝග මනා සම්පත් ඇත්තීය. මේ දෙව් සම්පත් උදෙසා තොප මනුෂ්‍ය ලෝකයෙහි දී කවර නම් කුසල කර්මයක් කරන ලද්දාහුද”.?

එවිට දෙවඟන පිළිවදන් දෙමින්” ස්වාමීනි , මම මිනිස්ලොව සිටියදී මෙලෝ පරලෝ හැඳින සිටියෙමි. එක් පෝය දිනෙක ධර්ම ශාලාවෙහි ප්‍රසන්න සිතින් යුක්තව එක් පහනක් දල්වා ධර්මානුශාසනය පිණිස ධර්මාසනය ඉදිරියේ තබා වැඳ පුදා සතුටු සිතින් බණ ඇසීමි. ඒ කුසලය හේතුවෙන් මේ දිව්‍ය සම්පත්ති ලදිමි” යි කීවාය. “එසේම යම් කෙනකුන් විසින් පහන් ආලෝකය අවශ්‍ය වේලාවෙහි පහන්, පහන් වැටි, පහන් කඳු ආදිය දල්වන්නේද තෙල්, පහන් ආදි දේ සපයන්නේ ද පූජා කරන්නේද ඔව්හු මෙලෙස දීප්තියෙන් බබළන ශරීර වර්ණ හා දිව්‍ය විමාන ලබන්නා හා මහත් දිව්‍ය සම්පත්තීන් ලබන්නාහ.” යනුවෙන් ඈ තවදුරටත් ප්‍රකාශ කළාය.

මුගලන් මහ තෙරුන් වහන්සේ මේ දෙවඟන ගේ පුණ්‍ය මහිමය දැක හේතු සම්පත් ඇති බැව් දැන සුදුසු පරිදි ධර්මය දේශනා කළහ. දෙවඟන සහ පිරිවරින් සෝවාන් ඵලයට පත් වූවාය.

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]