UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 09 අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා

 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 09

අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා

ඉල් පුර අටවක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ සතුන් මරන්නන් මරණින් මතු උපදින අපායයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමටය. එහි අවසන් නරකය වශයෙන් අප සඳහන් කළේ රථාචාර්යක නරකයයි. මෙවර ලිපියෙන් තවත් අපායයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන්නෙමු. මෙහි පළමුවැන්න සූචක නරකයයි.

සූචක නරකය

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ට යමපල්ලන් විසින් ගිනිගෙන දිළිසෙන ඉඳිකටුවැනි උල් ඇති ආයුධවලින් අනිති. කට ඇර ලෝදිය වත් කරති. මෙයින් අපමණ වේදනාවට පත්වන නිරිසතුන් එයින්ම මැරෙති. කර්ම බලයෙන් නැවතත් උපදිති. නැවතත් යමපල්ලන් විසින් එසේ කරති. මෙහි ඉපදී දුක් විඳින්නේ තැන තැන ඇවිද කේලාම් කියා ඔවුනොවුන් භේද කළ අයයි.

ගාමකුට නරකය

මෙහි දිග යොදුන් තුන්සියයක්ද, පළල යොදුන් තුන්සියයක්ද, ගැඹුර යොදුන් තුන්සියයක්ද වෙයි. මෙහි යකඩ පවුර සහ යකඩ පියන යොදුන් නවය බැගින් වෙයි. මෙහි උපදින නිරිසතුන්ගේ විශේෂත්වයක් වෙයි. එනම් ගව් දෙකක් පමණ උස ඇති මොවුන්ගේ ශරීරයේ එසවීමට නොහැකි තරම් විශාල අණ්ඩයක් පිහිටා තිබීමයි. එසවීමට නොහැකි එම අණ්ඩය කෙසේ හෝ ඔසවාගෙන ඉතා අමාරුවෙන් එහෙ මෙහෙ යන ඔවුන්ගේ ශරීරවල මාංශ ගව්පමණ වන කපුටන් සහ උකුස්සන් විසින් කඩ කඩා කති. ඔවුන්ගේ ඒ විශාල අණ්ඩයද කවුඩන් හා උකුස්සන් විසින් වැලගෙඩි කන්නාක් මෙන් කඩ කඩා, ඉර ඉරා කති. මෙහි ඉපිද අප්‍රමාණ දුක් විඳින්නේ බොරු සාක්ෂි කියා මුදල් උපයාගත් අයයි.

ගූථකූප නරකය

මෙහි ද දිග පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන් යොදුනක් පමණ උසය. මේ නරකය අසූචියෙන් පිරී පවතී. මෙහි වැටෙන නිරිසතුන් හිසතෙක් අසූචියේ එහි ගිලෙන අතර පණුවන් මෙන් අසුචිම කකා ඉවසීමට නොහැකි ගඳ ඇති අසූචියෙහිම ළඟිති. හැසිරෙති. මෙහි උපදින්නේ දෙමාපියන් විසින් රක්නා ලද ස්ත්‍රීන් බලහත්කාරයෙන් දූෂණය කළ අයයි.

මීළ්හ ගබ්භ නරකය

මෙහි දිග හා පළල හා උස පෙර මෙනි. මෙහි නිරන්තරයෙන් බඳුනක මෙන් අසූචි පිරී පවතී. එයින් යොදුනක දුර වසන්නෙකුට වුවද එයින් හමන දුර්ගන්ධය ඉවසිය නොහැක. හිස් මොළ පුපුරුවන තරම්ය. මෙහි උපදින නිරිසතුන් එම අසූචි දෑතින්ම ගෙන අනුභව කරති. එහිම ඇලීගැලී සිටිති. මෙහි උපදින්නේ බුද්ධාදී මහරහත් උතුමන් වහන්සේලා හා සිල්වත් භික්ෂූන් වහන්සේලා දානය සඳහා වැඩමවාගෙන ගොස් අපවිත්‍ර දෑ දුන් අය හා උන්වහන්සේලාගේ පිණ්ඩපාතයට ගැරහූ අයයි.

නිච්ඡවී නරකය

මෙහි දිග පළල හා උස පෙර මෙනි, මෙහි උපන් නිරිසතුන්ගේ උස ගව් දෙකක් පමණ වෙයි. ඔවුන්ගේ හිස සිට පා තෙක් සම හෝ ඇට නොවන අතර හුදු මස්ගොඩක්ම වෙයි. කැකෑරෙන ලෝදිය ඔවුන්ගේ මස්වැදැලිවලට වැදෙන විට ඉවසීමට නොහැකි වේදනාවෙන් කෑ ගසති. රත් වූ යකඩයෙහි වැටෙන විට චිටි චිටි යන හඬින් ඔහුගේ මස්වැදැලි පිපිරෙති. මෙහි උපදින්නේ ස්වකීය ස්වාමිපුරුෂයා සිටියදී ඔහු රවටා පරපුරෂයන් හා ලොල්ව අනාචාරයේ හැසුරුණු ස්ත්‍රීන්ය.

මංගලත්ථික නරකය

මෙහි දිග පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ ශරීර ප්‍රමාණය ගව් දෙකක් පමණ වෙයි. මෙයින් නැගෙන දුගඳ ගව් නවයක් පමණ වූ යකඩ පවුරෙන් විනිවිද එන්නේය. ගව් පමණ උසැති ඉදිකටු වැනි යකඩ තුඩ ඇති ගිජුලිහිණියන් හා උකුස්සන් විසින් මෙහි උපන් මෙහි නිරිසතුන්ගේ ශරීර මස් කඩ කඩා කති. මෙහි උපදින්නේ යක්දෙහිකම් (යකැදුරු) කොට දේව පූජා ආදිය පවත්වා තෙරුවන් සරණ ගියවුන් එයින් බිඳවා, රවටා, වාසිගෙන ඔවුන්ට මිථ්‍යා මත ගන්වා අපරාධ කළ අයය.

ඕකිලිනී නරකය

මෙහි දිග, පළල හා ගැඹුර ආදිය පෙර මෙනි. මෙහි උපන් නිරිසතුන් බුර බුරා ඇවිලෙන ගිනි අඟුරුවල පෙරෙළෙමින් ගිනිදැල්වලින් දැවෙමින් එහිම සිට ‘ඕකිලිනී” නම් වූ කුණුදිය තැවරුණු සිරුරෙන් යුතුව දෙපසින් වැගිරෙන කුණුදියෙන් පිළිස්සී වකුටු වී එයින් පැන යෑමට උත්සාහ කරති. එහෙත් ඔවුන්ට එයින් පැන යෑමට නොහැක. එහිම දැවෙමින් සිටිති. මෙහි උපදින්නේ තමාට සතුරු වූ ස්ත්‍රීන් ගිනිගස්වා පුළුස්සා මැරූ අයයි.

අසීසක නරකය

මෙහි දිග, පළල, හා ගැඹුර පෙර මෙනි, මෙහි උපදින නිරිසතුන් බුර බුරා නැගෙන ගිනිදැල් වලින් පිළිස්සෙමින් මහා දුක්ඛයකට පත්වෙති. ගිනිදැල්වලින් පිළිස්සී දුවන ඔවුන්ගේ පා වලට පෑගෙන්නේ ගිනිගෙන දිළිසෙන අඟුරුය. එයින් ගැල්වීමක් ඔවුන්ට නැත. මෙහි උපදින්නේ සතුන්ගේ කන් , නාසා ආදිය කපා වධ දී මරණයට පත් කළ අයය.

පරලෝභ නරකය

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපන් නිරිසතුන් යොදුනක් පමණ උසය. ඔවුන්ගේ කුස තුළින් නැගෙන ගිනිදළු මුඛයෙන් පිටවෙයි. නැවත මුඛයෙන් ඇතුළුවන ගිනිදළු ඔවුන්ගේ මුළු සිරුරම පිදුරු ගසක් මෙන් දවා අළු කරති. කර්ම ශක්තියෙන් නැවතත් ඔවුන්ගේ ශරීර සෑදේ. නැවතත් පෙර සේම මුඛයෙන් ඇතුල්වන ගිනිදැල් මුළු සිරුරම දා අළු කරති. මෙහි උපදින්නේ මහා සංඝරත්නයට දෙන දානය වැළැක් වූ අය හා දෙන දෙය අඩුවෙන් දෙන ලෙස ප්‍රමාණ පවසා දායකයාගේ දීමට බාධා කළ අය හා මහා සංඝරත්නයට ලැබෙන දේ කෙරෙහි ලෝභයෙන්, ද්වේශයෙන් කටයුතු කළ අයයි.

නච්චවාදක නරකය

මෙහි දිග , පළල හා ගැඹුර පෙර මෙනි. මෙහිද උපන් නිරි සතුන් ගව් දෙකක් පමණ උසය. ඔවුන්ගේ ශරීරය ඇතුලෙන් දැවෙයි. එසේ දැවෙන විට ඔවුන් එහෙ මෙහෙ දුවති. එහි ඇති තියුණු උල් සහිත බිම පා තබන විට ඒ උල් පාවල ඇනී මහත් වේදනාවකට පත් වෙමින් කෑ ගසති. නැවතත් දුවති. එවිට තදින්ම එහි ඇති යකඩ උල් ඔවුන්ගේ පාවල ඇණී අතිශය වේදනාවකට පත් කරයි. මෙහි උපදින්නේ නැටුම් ගැයුම් ආදිය ඉගෙන ගම් නියම් ගම් සැරිසරා ඒවා පෙන්වා මුදල් නොදුන් අයට නින්දා අපහාස කළ අයයි.

පාණිතිංස නරකය

මෙහි දිග, පලළ හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන් ඔවුන්ගේ දෙදණ, දෙවැලිමිට, හා බෙල්ල එකටකොට බඳින ‘කණ්ඨපඤ්චම් බන්ධනයෙන් බැඳ යමපල්ලන් විසින් විවිධ අවි ආයුධවලින් ගසා, තලා තාඩන, පීඩනවලට පත්කරති. ඔවුන්ගේ මස්, නහර ඇට තැලෙති. මෙහි උපදින්නේ සතුන්ට වද දීම් හා ප්‍රාණඝාතය කළ අයයි.

කාකෝල නරකය

මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ට වධ දෙන්නේ යකඩ තුඩවලින් යුත් කපුටන් හා ගිජුලිහිණියන්ය. ඔවුන්ගේ යකඩ තුඩුවලින් එහි වැටෙන නිරිසතුන්ගේ ඇඟමස් කඩ කඩා කමින් මහත් වේදනාවකට පත් කරති. මෙහි උපදින්නේ පොලියට මුදල් දී අධික පොලිය අයකරමින් ඒ අය පීඩාවට පත් කළ අයයි.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 08 සසර වසන තුරු අපා දුක එපා

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]