UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

 අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේටම ආවේණික වූ සරල සුගම මිහිරි බස් වහරකින් සදහම් දෙසූ සද්ධර්ම වාගීශ්වරයාණන් වහන්සේ නමකි.

මේ මහා සංඝපීතෘවරයාණන් වහන්සේගේ අපවත්වීම සසුනඹරට පිරිමැසිය නොහැකි තරමේ ඉමහත් පාඩුවකි. ඉකුත් 08 වනදා සිංගප්පූරුවේදී අපවත් වී වදාළ උන්වහන්සේගේ ශ්‍රී දේහය ශ්‍රී නාගවිහාරයේ තැන්පත්කර ඉකුත් 12 වනදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය සිදු වූයේ දහස්ගණන් ජනයාගේ සෝ සුසුම් මධ්‍යයේය.


මාඳුළුවාවේ සෝභිත හිමි මව සමඟ

උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් බුහුමන් දැක්වීමට මෙරට නන්දෙසින් බොදුනුවන් මෙන්ම කිතුනු, හින්දු, ඉස්ලාමීය ආදි බොහෝ බැතිමතුන් සමගිදාමයෙන් එක් වූ අයුරු විශේෂිතය. එම සහජීවන සන්හිඳියාව මහත් ආදර්ශයකි. මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යහපත් ජන සමාජයක් ගොඩනැගීමට ගත් මහඟු උත්සාහය තවත් දශක ගණනාවක් පුරා මෙරට සනිටුහන් වෙමින් ඉතිහාසයට එක්වෙනු නොඅනුමානය.

සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදර්ශ සම්පන්න උදාර චරිතය තුළ සැඟවී පැවතුන අප්‍රකට ගුණාංගයන් පිළිබඳ ඥාති හිත මිත්‍රාදීන් තම මතකය අවදි කළේ මෙසේය.

 

 

 

 

 


හාමුදුරුවන්ගේ සරලබව මගේ හිතට කා වැදුණා

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මම දැන හඳුනා ගත්තේ 1967 වසරේදී. අපේ හාමුදුරුවො එදා පන්සලට වැඩම කළේ පාරේ යන පොදු බස් රියෙන්. පන්සලට වැඩම කළ සෝභිත හාමුදුරුවො දවසක් පින් පව් වටහා දෙන විද්වත් ධර්ම දේශනාවක් කළා. හාමුදුරුවෝ, එදා රාත්‍රිය පහන් කළේ තමන්ගේ සහෝදරයා (පී.ඩී.ගුණසේකර) පන්සලට ගෙනත් දුන් බූරු ඇඳේ. පසුදා තමන්ගේ නිවසින් උදෙන්ම ගෙනත් දුන්න දානෙ වළඳපු හාමුදුරුවො නැවත කෝට්ටේ පන්සලට වැඩම කළා. මේ පුංචි සිදුවීමෙන් හාමුදුරුවන්ගේ සරලබව මගේ හිතට තදින්ම කා වැදුණා.

හාමුදුරුවො මවට පියාට හොඳින් සැලකුවා වගේම ගමේ පන්සලත් ගොඩ නඟන්න අත දුන්නා. මාදුළුවාව පන්සලේ බණමඩුව , සංඝාවාසය ඉදිකළා. මව්පියන්ට පින්සිදු වෙන්න ගමේ චෛත්‍යය ගොඩනැඟුවා. මේ රටේ පරිත්‍යාගශීලින් පන්සලට රැස්කරලා ඒ අයගේ මුදල් ආධාරයෙන් පන්සල පරිපූර්ණ කළා.අපවත් වී වදාළ දිවුලම්පිටියේ සරණධම්ම හාමුදුරුවන් සමඟ සෝභිත හාමුදුරුවෝ පන්සල බැබළුවා.

අපේ ගමේ පන්සලට පමණක් නොවෙයි, දුෂ්කර ප්‍රදේශවලත් වෙහෙර විහාර ඉදිකළා. සුනාමි අවස්ථාවේත්, මහත් පරිත්‍යාගයෙන් කටයුතු කළා. නැති බැරි අයට ගෙවල් හදලා දුන්නා. හාමුදුරුවො කෙතරම් පිහිට වුණත් මම මේවා කළා කියලා කාටවත් කියන්න කැමැති නෑ. මාදුළුවාව පන්සලට යුතුකම් ඉටු කළාට ඒ මගේ පන්සල කියලා කිසිම අණක් දුන්නේ නෑ.

බුදුහාමුදුරුවො වදාළ විදිහට අල්ලා ගන්න එපා, බදා ගන්න එපා, මගේ කියලා හිතන්න එපා. සියල්ල නැතිවන බව කල්පනා කිරීමෙන් අයින්වෙන්න කියන දේ අපේ සෝභිත හාමුදුරුවො අකුරටම ඉටුකළා.


අම්මා පොඩි හාමුදුරුවො ළඟ වැඳ වැටුණේ හරිම දුකෙන්

මට වඩා අවුරුදු හයක් සෝභිත හාමුදුරුවො බාලයි. ඒ කාලේ හිටපු අය මට “ ලොකු බබා” කියනවා. මල්ලිට ‘ පොඩි බබා , කියනවා. අපේ තාත්තා වඩු වැඩට වගේම ගොවිතැනටත් දක්ෂයි. තාත්තට ඒ කාලේ කිරි හරක් ගොඩක් හිටියා. මල්ලි උදේට එළකිරිත් බීලා, හීල්බතුත් කාලා පාසලට ගියේ මටත් කලින්. ඇත්තටම දැන් ළමයි වගේ එදා අප කඩයප්පම් කන්න පුරුදු වුණේ නෑ. හන්දියෙ ඉන්න ව්‍යාපාරිකයො උදෙන්ම පාසලට යන මල්ලිගෙ මූණ දකින්න කැමැතියි. මොකද ඒ අයගේ අදහසක් තිබුණා “පොඩි බබා”උදේට දුටුවහම ඒ ගොල්ලන්ගේ ව්‍යාපාරවලට හොඳයි කියලා.

ඒ කාලේ හිටපු දක්ෂ දෛවඥයෙක් වූ පොඩි ගුරුන්නාන්සේ කියපු විදිහට හාමුදුරුවන්ට ගිහි කාලෙදි මාරක අපල තුනක්ම ගෙවුණා. පුංචිම කාලෙ සතයේ රැජින කාසියක් උගුරේ හිර වුණා. දෙවන අපලෙ ලබද්දී මල්ලිට මාස දහයයි. ඒ කාලේ කපමින් තිබුණු බඹ හතරක් ගැඹුරු ළිඳට මල්ලි දුවගෙන ඇවිත් ඇද වැටුණා. තුන්වන අපලේ ලැබුවේ අපේ ගොයම් කපන දවසකයි. එදා කොල්ලෝ කුරුට්ටො එකතුවෙලා මැඩුවන් කොළේ පිනුම් ගහමින් නැටුවා. එදා මල්ලිගේ කකුළ සර්පයෙක් දෂ්ඨ කරලා සැරොි් ගෙඩියක් ආවා. ඒ කාලේ ප්‍රසිද්ධ කට්ටඩි කෙනෙක් මල්ලිගේ කකුළට මතුරලා සාත්තු කළා.

අවුරුදු 12දී පැවිදි කරන්න සූදානම් කළ මල්ලිගෙ ලස්සන ගණකම කොණ්ඩේ කපද්දී අම්ම හරියට දුක් වුණා. පැවිදි වුණ පොඩි හාමුදුරුවො ළඟ අම්මා වැඳ වැටුණේ හරිම දුකෙන්. ඒ වෙලාවේ අපේ හිතටත් දැනුණේ පුදුම වේදනාවක්. හාමුදුරුවන්ගේ උපසම්පදාව තිබුණේ රාජගිරිය ජයවර්ධනාරාම පන්සලේ. එතනින් පොඩි හාමුදුරුවෝ කෝට්ටේ පන්සලට වැඩැම්මුවා. එදා හරියට මඟුල් ගෙදරක් වගේ ගමෙන් ගිය හැමෝටම කෑම දුන්නා.

මල්ලි පැවිදි වෙලත් අම්මගේ දුක, සැප සොයා බැලුවා. හාමුදුරුවො දැක්ක ගමන් අම්මගෙ ලෙඩ දුකත් සනීප වුණා.


ගිහි කාලයේදීත් පන්සලට ගිහින් පාසලට එන පුරුද්දක් තිබුණා

මගේ වයස දැන් අවුරුදු අනූවයි. සෝභිත හාමුදුරුවො කුඩා අවධියෙ ඉගෙන ගත්තේ මාදුළුවාව රජයේ පාසලේ. උදෙන්ම පන්සලට ගිහිල්ලා පාසලට එන පුරුද්දක් හාමුදුරුවො කුඩා කාලෙදිම තිබුණා. ‘බාලාංශ පන්තියේදී උදෙන්ම පන්තියට එන දරුවා ආපු ගමන් ඉඳගන්නේ මගේ ඔඩොක්කුවෙ. දඟකාරකමක් තිබුණෙ නැතත් එක දවසක් පන්තියේදි කෑ ගැහුවා. ඒ වෙලාවෙ මම ‘පොඩි බබා’ කිව්වාහම සද්ද නැතිව බිම බලා ගත්තා. නම ‘රත්නසේකර’ වුණත් ඒ නමින් මම කවදාවත් කතා කළේ නෑ.

මගේ නිවස තිබුණේ ‘පොඩි බබාගේ’ නිවස ඉදිරිපිටයි. හාමුදුරුවෝ ඇත්තටම මගෙන් ඉගෙන ගත්ත ගුණයට කළ ගුණ දැක්වූවා වගේම තමන් උගත් පාසලටත් කළගුණ දැක්වූවා. මාදුළුවාව පාසලේ වැඩකටයුතු වලට ලක්ෂ ගණන් පරිත්‍යාග කළා. ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෑගි ප්‍රදානය කළා.

හාමුදුරුවන්ගේ 73 වන උපන්දිනය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණ උත්සවයට මටත් මතක් කළා. උත්සවයට කලින් දවසෙත් දුරකතන ඇමතුමක් දීලා ‘ඔන්න ඉස්කෝලේ හාමිනේ,අමතක කරන්න එපා. හෙට එන්නම ඕන’ කියලා කිව්වා.

දවසක් හාමුදුරුවො මගේ ගුණ වර්ණනා කරද්දි ‘මා මළ දවසක ඔය ගුණය කියන්න” හාමුදුරුවනේ කිව්වා. ඊට ඉස්සෙල්ලා මම අපවත් වුණොත්” හාමුදුරුවො කිව්වා. ඇත්තටම අපේ හාමුදුරුවො,අනියත හොඳින් වටහාගත් නිහතමානි හිමිනමක්.


ලෝකෙටම වටින පුතෙක් හැදුවා කියලා අම්මා ගොඩක් සතුටු වුණා

හාමුදුරුවො මගේ දෙවන අයියා. හාමුදුරුවො අම්මට යුතුකම් ඉටු කළා වගේම අප ගැනත් අවධානයෙන් හිටියා. හාමුදුරුවො අසනීපයෙන් සිටියදීත් සුව දුක් සොයා බලන්න මා නිතර රෝහලට ගියා. රෝහල් ගතව සිටි හාමුදුරුවො විදේශ ගත වෙද්දිත් මා විශේෂ බෝධි පූජා පැවැත්වූවා.

මට මතකයි මා කුඩා කාලයේදී අම්මා කියනවා අයියා ඉපදුණේ වඩු මඩුවෙ කියලා. යුද්ධ කාලෙ කෝට්ටෙන් ආපු පවුල් හතරකට, පහකට තාත්තා ගේ දීලා. අපිත් අරන් වඩුමඩුවට ගියාලු. අයියගේ කේන්ද්‍රය බලන්න ගියාමත් කිව්වේ වඩුමඩුවෙ ඉපදුණත් රජ පැටියෙක් කියලයි.

වැලිකඩ පන්සලේ වැඩ සිටි ලොකු හාමුදුරුවො මගේ තාත්තාගේ අයියා. ඒ කාලයේ නාග විහාරයේ රේවත ලොකු හාමුදුරුවන්ට ගෝලයෙක් වුවමනා වෙලා තිබුණා.

ඉතින් හාමුදුරුවොයි, වැලිකඩ

පන්සලේ ගුණරතන හාමුදුරුවොයි අපේ තාත්තගෙන් අයියව ඉල්ලලා දවස් දෙක තුනක්ම ගෙදරට ආවා. අයියා පන්සලට බාර දෙන්න තාත්තා කැමැති වුණත් අම්මා කැමැති කර ගන්න ටිකක් අමාරු වුණා. නමුත් පස්සේ අම්මා සතුටු වුණා, ලෝකෙටම වටින පුතෙක් හැදුවා කියලා.

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]