UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිය වන ජන්ම සමරුව නිමිත්තෙනි අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යය අලුත්ගම ධම්මානන්ද නා හිමි

සිය වන ජන්ම සමරුව නිමිත්තෙනි

අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යය අලුත්ගම ධම්මානන්ද නා හිමි

කේ.බණ්ඩරනායක

වප් පුර පසළොස්වක පෝය සහ ඉල් පුර පසළොස්වක අතර මාසය පුරා පවත්වනු ලබන කඨින පින්කම් නිසා විහාර පන්සල්වලට කාර්යබහුලය.

හැටේ දශකයේ මැද භාගයේ මල්වතු මහා විහාරයේ කඨින පින්කම් පැවැත්වීම සඳහා මල්වතු මහා විහාරයේ තුම්පනේ පන්සලේ දී මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සංඝරාජ ගුණානුස්මරණ සමිතිය ප්‍රධාන මහනුවර බෞද්ධ සමිති සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සම්මත කරගන්නා ලද යෝජනා අලුත්ගම ධම්මානන්ද නාහිමියන් විසින් රජයට ඉදිරිපත්කිරීමෙන් මල්වතු මහා විහාරයේ කඨින පින්කමට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් රාජා පිටින් කඨින චීවරය රජගෙදර සිට ඓතිහිසික මල්වතු මහා විහාරය කරා වැඩමවාගෙන විත් මල්වතු මහා විහාරයේ කඨින මහා සංඝරත්නය වෙත ආගමික වතාවත් මධ්‍යයේ බාරදුනි. හැටේ දශකයේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ මල්වතු මහා විහාරයේ කඨින පින්කමත් සමඟ සංඝරාජ මාහිමිපාණන්ගේ ගුණසමරු පින්කම් මාලාවත් සංඝරාජ දහම්පාසලත් මුල්කරගෙන ආගමික කටයුතු හා දහම් පාසල් අධ්‍යාපන සේවාවන් දශක හතක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මහෝපාධ්‍ය අලුත්ගම, ධම්මානන්ද නාහිමියන්ගේ සියවන ජන්මෝත්සවය යෙදී තිබෙන නොවැම්බර් 22වෙනි දින මල්වතු මහා විහාරයේ 72වෙනි කඨින පූජෝත්සවය පැවැත්වීම විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

මහනුවර නගරයේ බෞද්ධ සමාජ කටයුතු දහම් අධ්‍යාපන සේවාවන්, විවිධ සමිති මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමේ දී මුල් තැනක් ලබාදීම සඳහා සෑම අවස්ථාවකම තුම්පනේ පන්සලේ ඉදිරිපස දොරටුව සමිති නියෝජිතයන්ටත්, මහා සංඝරත්නයටත් විවෘත කර ඇති ධම්මානන්ද නාහිමියෝ සමාජසේවාවන් සඳහා අවශ්‍ය ලියුම් තමන්වහන්සේ විසින්ම පැරැණි යතුරුලියනය මඟින් සකස්කරගනී. දවසේ කටයුතු දිනපතා පුවත්පත් කියවීමෙන් පසු ආරම්භ කිරීමත් උන්වහන්සේගේ සිරිතකි.

තෛ‍්‍රනිකායික භික්ෂු සංගමය, හැත්තෑව දශකයේ පිහිටුවා ඒ මඟින් සම්මත කර ගත් යෝජනාවක් අනුව මහනුවර මහ රෝහලේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වාට්ටුවක් ලබාගැනීමටත්, සංඝරාජ මාහිමි නමින් මාවතත් සහ සංඝරාජ පටුමග මැයින් මල්වතු මහා විහාරය මුල්කර නම් කිරීමටත් මුල් වූ ධම්මානන්ද නා හිමියන්ගේ සමාජ සේවය අගයමින් මහනුවර මහනගර සභාව මඟින් පූජ්‍ය අලුත්ගම ධම්මාමානන්ද නාහිමි මාවත නමින් මහනුවර බෝගම්බර බන්ධනාගාරය සමීපව නම් කර ඇත. බෝගම්බර බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ආගමික කටයුතුවල වසර හතළිහකට අධික කාලයක් නිරතව සිටියේ ය.”

ධර්මදේශනා භාවනා පන්ති පෝයදිනයන්හි පවත්වමින් රැඳෙවියන්ගේ මනස සකස් කිරීමද උන්වහන්සේ සිදු කළේ ය. නාහිමියෝ බන්ධනාගාර නිලධාරියන්ගේ ශුභ සාධක සංගමයේ අනුශාසක වශයෙන් අවුරුදු තිහකට අධික කාලයක් කටයුතු කරති. මහනුවර ගඟවට කෝරලයේ සහ දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් මල්වතු මහා විහාරයීය සංඝරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන්ද සිය සේවය කැප කළේ ය.

දශක අටක කාලයක් තිස්සේ සිය ජීවිතය ශාසනික කටයුතුවලට කැපකළ පැවිදි දිවියෙන් අසූ දෙවසරක් (82) ද උපසම්පදාවෙන් අසූ එක් (81) වසරක් ද පිරි මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ මෙරට උපසම්පදාව නැවත පිහිටුවා වදාළ වැලිවිට ශ්‍රී සංඝරාජ මාහිමිපාණන්ගේ උදාර ශාසනික සේවාව අනුස්මරණය කරමින් ඇසළ පෝය සමයේ සිදුකරන සංඝ රාජ ගුණසමරු වැඩසටහන් සංඝරාජ පෙරහර උන්වහන්සේගේ දිවියේ උදාර පින්කම් අතර වේ.

 

 

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]