UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

10 වන වරටත් පවත්වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහැර

10 වන වරටත් පවත්වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහැර

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශී‍්‍ර දකුණු දළදා පෙරහැර 10 වන වරටත් මෙම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී ඇති බිනර පුරපසළොස්වක් පොහෝ දින රාතී 08.00 ට පමණ පැවැත්වේ.

ක්‍රි,පුර්ව දෙවන සියවසේදී සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු විසින් බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදිකරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින් සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතුන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000 ක්ද මහා විජග්‍රහණයක් ලබාගෙන ශී‍්‍ර ලංකාද්විපයට පැමිණ සෝමවති චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහැර පවත්වමින්, දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගන්නා මොහොතේදී සෝමවති විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ ගජබා රජතුමාට යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවති චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණි අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මින්විලූ පර්වත ලිපියෙහි රජතුමාට “ගාමිණි අභය යුදජි (යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය ) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහැර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමඟම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුනේ ශී‍්‍ර ගුණානන්ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමඟ පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කනින් අසමින් සොයාගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල තබා, 1981 දි බුද්ධරශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියලු දෙනාම 1986 දී ත්‍රස්තවාදින් විසින් ඝාතනය කිරීමත් සමඟ චූඩා මාණික්‍යය ගැලවු ත්‍රස්තවාදියාද සිය ගිනිඅවිය පත්තු වීමෙන් මරණයට පත්විය.චෛත්‍යරායා සමීපයෙහි බිම දමා තිබී හමුදා නිලධාරින්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්ෂිතව තැබිණි.

වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින එවක එක්සත් ජාතික පක්ෂ රජයේ සම්බන්ධතාවය ඇතිව. ඝනකැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය මහවැලිය,පොලිසිය, යුධ හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112 ක් ඇතුළත 2002 ජුනි 19 දින බුද්ධරශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්‍ය පැලඳවීමෙන් අනතුරුව එවක රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේදි ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුල් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, කොළඹ ජිනසේන සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන මොහොතේ චෛත්‍ය රාජයාගේ විහිදුනු බුද්ධරශ්මි මාලාවන් දැක වර්තමාන වන ජීව අමාත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු සැදැහැවත් පිරිස අපමණ සතුටට පත්වූයේ කරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දිගල්ල ධර්මදාන පදනම ඇතුළු එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහැර පැවැත්වීමට තීරණය කොට කිසිවෙකුගෙන් අලියෙකු ලබා ගැනීමට නොහැකි වූයේ වනයේ සිටින අලි ඇතුන් කෙරෙහි ඇති බිය නිසා අලි ඇතුන් රහිතව සධාතුක කරඬුව සිය හිස මත හා ඉන්පසුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෝධින් වහන්සේගේ රන්මල් හා රන්දළු හටගත් අතරම, ත්‍රස්තවාදින්ගෙන් රට මුදවාගත් මොහොතේ 04 වන දළදා පෙරහැර පැවැත්වීමට 2009 ජුනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහැර අලි රහිතව පැවැත්වීමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරන ලදී.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන එන මොහොත්දී චෛත්‍ය රාජයා දෙසින් බෙරහඩක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහැරක් එන බව පෙණින. අමාත්‍යවර ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාට ඡායාරූප ගතකිරීමටද හැකි විය. නැවත එම ජුනි මස 28 දින රාති‍්‍ර 7.45 ට පමණ ගිලන්පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර අවුරුදු 03 මාස 06 වයසැති මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක,අතේ තිබු දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් අහඹු ලෙස ගන්නා ලදී, “තාත්තේ මගේ ඇඟේ රත්තරන් මාල වළලු දැමූ ලස්සන ඇඳුමක් ඇන්ද වු සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි” කුඩා දරුවා ප්‍රකාශ කළද අසා සිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.

මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහැර සඳහා ඇතෙක්ම යොදා ගත යුතු යැයි තීරණය කොට වර්තමාන වන ජීවි අමාත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා මගින්. මහනුවර ශී‍්‍ර දළදා පෙරහැරේ කරඬුව වැඩම වන ඉන්දිරජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහැර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්ෂිණාකොට ගෙවදීමත් සමඟම රාත්‍රි 01.00 ට පමණ එක් දලක් ඇති ඇත්පැටියෙක් චෛතය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේය.

පසුදින 07 වැනිදා ප.ව. 05. ට පමණ එක් දලක් සහිත අවුරුදු හයක් මණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජායා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඩවැල ඔසවා මා දෙස බලා සිටියේය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායා රූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමඟම හුරුපුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක්ම චෛත්‍ය රාජයා වටා ඇවිදිමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජයා අවට හැසිරෙමින් අද දක්වාම සිටී. ඉන් අනතුරුව චෛත්‍ය රාජයාගෙන් එළියට පැමිණි සුදුඇත් පැටියාට සමාන ඇති ඇත් පැටියෙක් මෙම ඒක දන්තනම් ඇත් පැටවා සමඟ සිටින අයුරු කැමරාවට හසු විය.මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මතකර අවසන් වනවාත් සමගම සුදු ඇත්පැටියෙක් චෛත්‍ය රාජයාට ඉහළින් අහසේ දිස්වනු ඡායාරූපයට ගැනීමට හැකි වූ අතර, පසුගිය වසරේ මහනුවර දිසා විනිසුරුතුමා විසින්ද සුදු ඇත්පැටවෙකු සියැසින් දැකීමෙන් පෙරහැරකට හස්ති රාජයන්ගේ සම්බන්ධතාවය මැනවින් පැහැදිලි විය.

එසේම 2013 වසරේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සහිතව පෙරහැරේ කරඬුව රන්සිවි ගෙහි තැන්පත් කරන මොහොතේ කිහිපවතාවක්ම දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළ අහසේ දිස්වනු දැකීමත්, වරකට බුද්ධරශ්මි මාලාවන්ද තවත් විටෙක හේවිසි ශබ්ද පූජාව, මිණිගෙඩි හා ගණ්ඨාර ශබ්ද හා පිරිත් දේශනා ශබ්දත් හා සාධුකාර ශබ්ද ඇසීමට හා දැකීමටත්, සුදු හංසයෙක් මත දිස්වන රූප ද වැනි ආශ්චර්යමත් සිද්ධීන් සිදුවීමත්,අලි ඇතුන්ගේද වන්දනා පවා දකින මෙම ආශ්චර්යමත් සිද්ධීන්ගෙන් ගහන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති මෙම සෝමවති චෙත්‍යෙරාජයා අභියස මේ අයුරින් විශ්මයජනක සිද්ධින් ඇතිවීමෙන් ඉතිහාසයේද මීට පෙර සඳහන් වූ අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහැරක් පැවැත්විය යුතු ආකාරය පෙන් වූයේ මෙම සෝමවති චෛත්‍ය රාජයා සමීපයෙහි ශී‍්‍ර දළදා පෙරහැර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයක් හෙයින් සකල ජනතාවටම ඉමහත් ශාන්තියක් සැලසෙන මෙම දළදා පෙරහැර පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවය මැනවින් හැඟීගිය නිසාම අපමණ සතුටට පත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වන ජීවි අමාත්‍යවර ජයවික්‍රම පෙරේරා මැතිතුමා හිටපු කෘෂිකර්ම අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා ඇතුළු සැදැහැවත් පිරිසද නන් අයුරින් පෙරහැරට සමබන්ධ වෙමින් පෙරහැර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදී.

10 වන වරටත් පවත්වන මෙම පෙරහැර ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් වනජීවි අමාත්‍යවර ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු නියෝජ්‍ය අමාත්‍යවර සිරිපාල ගම්ලත් මැතිතුමාත්, පොළොන්නරු මහදිසාපතිතුමා, අතිරේක දිසාපතිනි , ලංකාපුර ප්‍රාදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු එම ආයතනයන්හි නිලධාරි පිරිසත්, ලංකාපුර පොළොන්නරුව, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, කුරූණෑගල ‘කුලියාපිටිය’ නැදලගමුව සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහසම්බන්ධතාවයකින් මෙම බිනර පොහෝ දින ශී‍්‍ර දකුණු දළදා පෙරහැරත් මහා මුළුතැන් දළදා පූජාව ආදී බිනර පොහෝ දින සිදු කෙරෙන මෙම පින්කම් මාලාව ශී‍්‍ර ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව, සිරස රූපවාහිනිය ආදී මාධ්‍ය මගින් විසුරුවා හැරීමට සියලු කටයුතු සූදානම් කරන මේ මොහොතේ මෙම පෙරහැර හා ආගමික කටයුතුවලට සහසම්බන්ධවන උක්ත ජනාධිපතිතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතුළු සකල ලාංකික ජනතාවට ශී‍්‍ර දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]