UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු හිමි සරණ යමු

බුදු හිමි සරණ යමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව ඉපදීම අතිශයින් දුර්ලභය. එමෙන්ම එක් පුද්ගලයෙක් ලොව ඉපදීමට සමත්වූයේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස වේ. බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස, හිත පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක්ද යත් තථාගත අර්හත් සම්මා සම්බුදුවරයන් වහන්සේය. (අංගුත්තර නිකාය). එක නිපාත මෙය මෙසේ සිතා ගැනීම වඩා හොඳයි. මිනිස් ලොව උපන් මගේම හිත වැඩ පිණිස, මටම සුව පිණිස තථාගතයන් වහන්සේ උපන් බවයි. මන්ද මමද බොහෝ දෙනාට අයත් බැවිනි. තවද ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැනගනිමු.

ඒක පුග්ගලො භික්ඛවේ ලොකෙ උජ්පජ්ජමානො උජ්පජ්ජති අවිඡරියං මනුස්සෝ. මහණෙනි, එක්පුද්ගලයෙක් ලොව උපදින්නට සමත්වූයේ ආශ්චර්යවත් මිනිසෙකුව උපදියි. එනම් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එය මෙසේ සිතමි. මම උපන් මිනිස් ලොවේ එකම වූ ආශ්චර්වත් උතුමා වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේ කෙබඳු කෙනෙක්ද? යැයි හඳුනා ගනිමු. මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපන්නේ අද්විතීයයි.අසහායයි. අප්පටිමයි ( ප්‍රතිමා කරවිය නොහැකි) අප්පටි සමයි, අසමයි,අසම සමයි, දෙපා ඇත්තවුන් අතර අග්‍රයි. කවර එක් පුද්ගලයෙක්ද යත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මෙහි සෑම වචනයකින්ම පෙනෙන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ ස්වභාවයයි. මිනිසෙකු ලෙස උපන් උන්වහන්සේගේ කායික, මානසික අනූපම ස්වරූපය මෙන්ම අපට වඩා ශ්‍රේෂ්ඨ තත්ත්වයයි. දෙපා ඇති අප අතර ශ්‍රේෂ්ඨත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බව ඇත්තේ මානසික ආධ්‍යාත්මික ස්වරූපයේය. එවන් උසස් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පත්වීමට ලැබීමම කෙතරම් පිනක්ද? එසේ සිතා මහත් ගෞරවයෙන් තුන් සිතම පහදා බුදු පා කමල වැඳ වැඳ බුදුසරණ යමු.

තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසාම ලෝකයේ ප්‍රඥාව නමැති ඇස පහළ විය. ප්‍රඥාව නමැති ආලෝකය පහළවිය. ප්‍රඥාව නම් ලොව ඇති සියලු සජීවි අජීවි සෑම පුද්ගල හා වස්තූන්හි ඇති අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව පිළිබඳ ඇති දැනීමයි. යථාවබෝධයයි. අප ජීවත්වන ලෝකයේ සත්ත්ව පුද්ගලයන් කෙරෙහි වේවා. ලෝකය ලෙස කෙටියෙන් හඳුන්වන ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස සහිත වූ අපගේ පංචේන්ද්‍රියන් සම්බන්ධයෙන් ඇති අනිත්‍යතාව වැටහෙනවාද? අප කෙතරම් අනිත්‍ය වශයෙන් කතා කළද එය අවබෝධයක් නොමැතිව කරන්නක් නොවේද? අනිත්‍ය කිය කියා තව තව අල්ලා ගන්නා අප පෘතග්ජනයන් වන්නේ එබැවිනි. එසේ නම් මේ සියල්ල නුවණින් සලකා සියල්ල ප්‍රඥාව තුළින් අවබෝධකොටගත් බුදුරජාණන් වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨද? පුහුදුන් සත්ත්වයන් වන අපට සිතීමටවත් අපහසු එම ගුණයෙන් යුතු තථාගතයන් වහන්සේට මහත් ගෞරවයෙන් තුන්සිතම පහදා බුදු පා කමල වැඳ වැඳ බුදු සරණ යමු.

තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුතුවේ. සම්මා සම්බුද්ධ වන්නේ තථාගතයන් වහන්සේ ඉතිරි නැතිව සියලු ධර්මයන් අන්‍යයන්ගේ උපකාරයක් නොමැතිව අවබෝධ කොටගත් නිසාය. එනම් අභිඥෙය ධර්ම අභිඥෙය්‍ය වශයෙන් සාක්ෂාත් කළහ. එනම් විශිෂ්ඨ ඥානයෙන්ම අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මයයි. පරිඥෙය්‍ය ධර්ම වන්නේ හාත් පසින්ම දත යුතු ජාති, ජරා, ව්‍යාධි ආදි දුක් සමූහය අවබෝධ කර ගැනීමයි. එමෙන්ම ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන ලද්දේය ප්‍රහාණය කළ යුත්තේ කාම තණ්හා, භවතණ්හා හා විභව තණ්හාවයි. මෙය ප්‍රහාණය කරන ලද්දේය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරන ලදී. සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කරන ලදී. තෘෂ්ණාවේ සම්පුර්ණ නොඇලීම, අත්හැරීම,දුරුකිරීම, මිදීම දුක නැතිිකිරීමයි. එයින් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කරන ලදී. භාවිතා කළ යුතු ධර්ම භාවිතා කළහ. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මධ්‍යම ප්‍රතිපදාවයි. එම ආර්ය මාර්ගය අනුගමනය කිරීමෙන් උතුම් නිර්වානාවබෝධය ලබා සර්වඥ බවට පත්වූහ. මෙම ධර්මයන්හි වැඩීම පුහුදුන් අපට සිතාවත් නිමකළ නොහැක්කකි. තථාගතයන් වහන්සේ ඉහත ගුණාංගවලින් යුතු බැවින් සම්මා සම්බුද්ධ ගුණයෙන් යුතුය. ඒ බුදුරජාණන් වහන්සේ මහත් ගෞරවයෙන් තුන්සිතම පහදා බුදු පා කමල වැඳ වැඳ බුදුසරණ යමු.

තුන් ලෝකයේම වැඳුම් පිඳුම් ලබන භාග්‍යවතුන් වහන්සේ අරහං අරහත්ය. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධය. විජ්ජාචරණ , සම්පන්නෝ අෂ්ට විද්‍යා හා පසලොස්චරණ ගුණයෙන් යුතුය. සුගතෝ සුගත ගුණයෙන් යුතුය. ලෝක විදු ලෝක විදූය. අනුත්තරෝ අනුත්තරය. පුරිස දම්ම සාරථි නොදැමුණූ පුරුෂයන් දමණය කළහ. සත්ථා දේව මනුස්සානං දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධෝ බුද්ධය, භගවා භාග්‍යවත්ය. මෙම නව අරහාදි බුදු ගුණ සියල්ල අචින්ත්‍යය. සිතාවත් නිමකළ නොහැකිය. විශිෂ්ට ඥානයෙන් , විශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තකි. කායිකව මානසිකව සන්සිදුණූ ශ්‍රේෂ්ට ශාස්තෘවරයෙකුගේ අප්‍රමාණ බුදුගුණ සිහි කරකර මහත් ගෞරවයෙන් තුන් සිතම පහදා බුදු පා කමල වැඳ වැඳ බුදු සරණ යමු.

අප මෙන්ම මනුෂ්‍ය ලෝකයේ උපත ලැබු තථාගත බුදුරජාණන් වහන්සේ කායිකව විශිෂ්ට රූපයකින් යුතුය. එය මිනිස් ලොව අසහාය රූපයයි. දෙවියන් අතරට ගිය විට දේව ස්වරුපය ඉක්මවා බබළන්නේය. බ්‍රහ්මයන් අතර බ්‍රහ්ම ස්වරූපය ඉක්මවා බබළන්නේය. කායිකවද අප ඉක්මවා ඇත. එමෙන්ම මානසිකව අසම වූ මහා ප්‍රඥා බලමහිමයකින් යුතුය. මෙවන් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙසේනම් වර්ණනා කරන්නද? නොහැක්කේමය. බුදුකෙනෙකුන් කල්පයක් පුරා බුදුගුණ වර්ණනා කළද කල්පය ගෙවීයයි. බුදුගුණ නිම නොවේ. ඒ අසීමිත බුදුගුණ සිහිකර මහත් ගෞරවයෙන් තුන්සිතම පහදා බුදු පා කමල වැඳ වැඳ බුදු සරණ යමු.

මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ කීමට නොහැකි බුදුගුණ කීමට උත්සාහ කිරීම නොවේ’. මෙවන් අසීමිත ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්තෘවරයා බව මතක් කරදීමටය. මන්ද බෞද්ධ බොහෝදෙනාට මෙය හරි හැටි නොතේරෙන බව පෙනෙන නිසාය. මෙවන් උතුම් ගුණයෙන් යුතු වන බුදුරජාණන් වහන්සේට වැඳිය යුත්තේ තමාගේ දෑත හිස මුදුනේ තබාගෙනය. දෑත නළල මුදුනේවත් තබා වන්දනා කළ යුතුය. බිම වඳින්නේ නම් පසඟ පිහිටුවාම වැඳිය යුතුය. පසඟ පිහිටුවා වැඳීමේදී නළලද බිම තැබිය යුතුවේ. ඒත් ඒ ගෞරවය ප්‍රමාණවත් නොවන බැව් ඔබටම වැටහේවා. එම වන්දනාවද මහත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, ළෙන්ගතුව සිදුකළ යුතුය. දෑත එකතු කිරීම පමණක් නොවිය යුතුය. ඒ හදවත පතුලෙන් නැගෙන ශ්‍රද්ධාවෙන්ම වන්දනා කළ යුතුය. එමෙන්ම වන්දනා කරන සැම විටම දෑත සෝදා පිරිසුදුව එය කළ යුතුය. ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන අයුරින් සිතා වන්දනා කළ යුතුය. මෙසේ ඉමහත් ගෞරවයෙන් සැමදා බුදුරජාණන් වහන්සේ වන්දනා කරමි යන සිතින් තුන්සිත පහදා බුදුපා කමල වැඳ වැඳ බුදුසරණ යමු.

දෙවියන්ගේත් බඹුන්ගේත් ඉමහත් පූජාවන් ලැබු තථාගතයන් වහන්සේට කෙසේනම් පූජා පවත්වමුද? තිට්ඨින්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං ඵලං, යනු ජීවමානව සිටින්නාවුද පිරිනිවියා වූද බුදුරජාණන් වහන්සේට සම සිතින් කරන පුජාවෙන් සමඵල ලැබෙන බවය. සම සිත යනු ජීවමාන බුදුරදුන්ට යමක් පූජා කරන විට ඔබේ සිත යම් ආකාරයක පිහිටුවාගෙන ප්‍රසාද ජනකව එය සිදුකරන්නේද එසේම. ජීවමාන බුදුරදුන්ට දානයක්, ගිලන්පස පූජාවක්, මල් පුජාවක් කරන්නට ඔබට ලැබේනම් එය කරන අයුරු සිතන්න. එසේ කරන ඔබ ලබන පින ගැනද සිතන්න. එවිට ඔබට ඇතිවන සිත සහ කරන පිළිවෙළ අනුව අදද ඔබ බුද්ධ ප්‍රතිමාවක් අබියස හෝ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් පූජාවක් සිදුකරන්නේනම් එවන් උසස් ආනිශංසයක් ලැබෙන බව ඉහත ප්‍රකාශයේ අදහසයි.මේ අනුව ඔබ බුද්ධ පූජාවක් සිදු කරන විට එය සිදු කළ යුත්තේ කෙසේදැයි අප විමසා බලමු. පිරිසුදුකම ඉතා අවශ්‍ය වේ. පළමුව තම දෑත් පිරිසුදු කරගත යුතුය. අනතුරුව බුද්ධ පූජාවට ගන්නා සෑම භාජනයක්ම ඉතා පිරිසුදුව සෝදා ගත යුතුය. මල් වට්ටිය පවා එසේ පිරිසුදු කිරීම අවශ්‍ය වේ. ජීවමාන බුදුරදුන්ට මේ පූජාව සිදු කරන බව සැම විටම සිහියේ තබා ගැනීම හොඳයි. ඉතාම පිරිසුදුව හා පිළිවෙළට පූජාවන් සකසා ගන්න. කෙනෙකුට සැහෙන ප්‍රමාණයට ආහාර, ගිලන්පස සකසා ගන්න. ඉතාම කුඩා භාජන භාවිතා කිරීම සුදුසු නොවේ’. පි‍්‍රය මනාප ලෙස දානය වැළදීමට හැකිවන පරිදි සැම දානයක්ම සකස්කර ගන්න. උණුසුම් ගිලන් පස ආදිය උණුසුම් ලෙස පූජා කරන්න. ඒවා නිවීමට හැර පූජාකිරීම සුදුසු නොවේ’. ඔබ ආහාර, තේ පානය ආදිය ගැනීමට කැමති ආකාරයට වඩා වැඩි විශේෂයකින් බුද්ධපූජාව තබන්න. තවද බුද්ධ පූජාවන් සකස් කරන අතරතුර සිතින් බුදුගුණ මෙනෙහි කරකර ඒවා කිරීමෙන් ශ්‍රද්ධාව වඩා වර්ධනය වේ. උසස් කුසලයක් ද සිදුවේ. කරන්නන්වාලේ මොනවා හෝ භාජනවල තබා පූජා කිරීමෙන් උසස් ප්‍රතිඵල නොලැබේ. සමහර අවස්ථාවල බත්දානය වැසෙන පරිදි වෑංජන බෙදා කිසිදු පි‍්‍රයතාවක් නොදැනෙන ලෙස පූජා කරන බව පෙනේ. නැවත එසේ නොකර හදපිරි ශ්‍රද්ධාවෙන් බුද්ධ පුජා තබමියි යන සිතින් තුන්සිත පහදා බුදු පා කමල වැඳ වැඳ බුදුසරණ යමු.

පිරිසුදුව සකසා ගත් දානය පිරිසුදු කරගත් බුදුකුටිය තුළ පිරිසුදු කරගත් ආසනය මත තැන්පත් කර පූජා කරන්න. පරමල් ඇත්නම් ඉවත් කරන්න. පූජාකර අවසන් වු සියලු දෑ ආසන වලින් ඉවත් කර ඔබ සකසාගත් පූජාවන් ආසන මත තැන්පත් කරන්න.තවද පූජාවන් ආසන මත තැන්පත් කරන්නට පෙර දෑත් සෝදා ගැනීමට අමතක නොකරන්න. මේ දානය පුජා කරන්නේ ජීවමාන බුදුරදුන්ට බව තරයේ සිහියේ තබා ගන්න. පූජා කරන සැම ද්‍රව්‍යයක්ම භාජනයකම තැන්පත් කරන්න. කොලකෑලි මත නොතියන්න. මෙසේ සකසා ගත් බුද්ධ පූජාවන් තැන්පත්කර ශ්‍රද්ධාවෙන් ඉහත කියු ආකාරයට වන්දනා කරන්න. පූජාවන් තබා ආචාර කරන්නාසේ වන්දනා නොකර පාලිගාථා කියා හෝ තමන් දන්නා බසින් මේ උතුම් බුද්ධ පූජාව තුන්ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේට පූජාකරමි. මා වෙත අනුකම්පාවෙන් මේ පිරිසුදු බුද්ධ පූජාවන් පිළිගන්නා සේක්වායි කියා හෝ සිතා ශ්‍රද්ධාවෙන් පූජා පවත්වන්න. තවද මෙම උතුම් බුද්ධ පූජා දානය තුළින් මාගේ දාන පාරමිතාව සපිරේවා. උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ කුසල් හේතුවේවායි ප්‍රාර්ථනා කරගන්න. බුද්ධ පූජාවෙන් අනතුරුව එම පූජාවන් ආසන මත බොහෝවේලා තැබීම අවශ්‍ය නොවේ. ඔබ පූජා කළ සියලු පූජාවන් ආසනවලින් ඉවත් කරන්න. මල් ආදිය පරවෙන තුරු ආසන මත තැබීම නුසුදුසුය. නිවසේදී විහාරස්ථානයේදී මෙම පිළිවෙළ අනුගමනය කරන්න.බුද්ධෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ තරමටම නොහැකි වුවද තමන්ට පුළුවන් උපරිම ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාවන් තබමියි යන සිතින් තුන්සිත පහදා බුදු පා කමල වැඳ වැඳ බුදුසරණ යමු.

මෙලෙස ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් උපදවා ගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ලෙස මනාව කුසල් කරගත හැකිය. උන්වහන්සේ පිරිනිවීයද ඒ උතුම් බුදුගුණ සිහි කිරීමෙන් පවා කුසල් සිදුවන බැවින් ඉතා මැනවින් බුද්ධ වන්දනා සිදුකර, බුද්ධ පූජාවන් පුජාකර අපට කුසල් උපදවා ගත හැකි බැවින් එම කටයුතු පින් උපදවන ලෙස සිදුකරමියි යන සිතින් තුන්සිත පහදා බුදු පා කමල වැඳ වැඳ පළමුව බුදුසරණ යමු.

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]