UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විෂම වූ ලෝභය එපා

විෂම වූ ලෝභය එපා

සුපසන් ජීවිතයක් සඳහා මාතෘකාව යටතේ අද කතා කරනු ලබන්නේ දැඩි වූ ලෝභය එනම් අභිජ්ඣාව පිළිබඳවයි. අභිජ්ඣාව එනම් විෂම වූ ලෝභය පිළිබඳව සඳහන් කොට එයින් අත්මිදී යහපත් වූ ජීවිතයක් පවත්වාගැනීම පිළිබඳවයි, සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ.වත්ථූපම සූත්‍ර දේශනාවෙහි එනම් වස්ත්‍රයක් උපමාකොට දේශනා කළ මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. එහි දී සිත කිළිටි කරන උප ක්ලේශ ධර්ම දහසයක් පෙන්වා දී තිබෙනවා. ඒ උප ක්ලේශ ධර්මවල අභිජ්ඣා විෂම වූ ලෝභය යනුවෙන් වචන දෙකක් සඳහන් කළත් අප මෙහි දී අභිජ්ඣා කියන වචනයේ තේරුම ම විෂම වූ ලෝභය හැටියට අරගෙන එකක් හැටියට සඳහන් කරනවා. එවිට අභිජ්ඣා, විෂම වූ ලෝභ යන වචන දෙකින් ම අප සඳහන් කරන්නේ විෂම වූ ලෝභයමයි.

එනම් තමා කෙරෙහි පවත්නා වස්තූන් කෙරෙහි ඇති දැඩි ආශාවයි. ඒ වගේ ම තමා සතු නැති අන් අය සතුව පවත්නා වස්තූන් කෙරෙහි ඇතිවන්නා වූ ද හෝ ඇති කරගන්නා වූ ආශාවයි. යහපත් වූ චරිතයකට මෙම විෂම වූ ලෝභය මහත් වූ මානසික පීඩාවකි. තමාගේ ජීවිතයේ දියුණුවට බාධාවක් පවුල් පරිසරයේ සතුටට සමගියට බාධාවකි. එපමණක් නොවේ එවැනි පුද්ගලයකුට නිවහනෙන් බාහිර තැනකදී ඇතිවන්නේ බොහෝ ම දුෂ්කරතායි. රැකියා කරන අයාතනයක දී වෙන්නට පුළුවන් ඉගෙන ගන්නා අධ්‍යාපන ආයතනයක දී වෙන්නට පුළුවන්, මඟතොටකදී, බස් රථයේ දී, දුම්රියේ දී වෙන්නට පුළුවන්, සමාජ ආශ්‍රයේ දී වෙන්නට පුළුවන්, දැඩි වූ ආශාවන් තිබෙන පුද්ගලයා මහත් මානසික පීඩාවකට ලක්වන අතර ඔහුගේ ඒ දැඩි ආශාව හේතුකරගෙන අන් අයගෙන් ද ඔහුට ඇතිවන්නේ බලවත් වූ පීඩාවක් සහ උපද්‍රවයන් අශ්‍රැතවත් පෘතග්ජන ජීවිතවල ඡන්දය හෙවත් කැමැත්ත ඇතිවීම ස්වභාවිකයි. බෝධිසත්ව උතුමන් නිවන අරමුණු කරගෙන බලවත් වූ කැමැත්තෙන් ඒ වෙනුවෙන් කටයුතු කළා. නමුත් එය කාමච්ඡන්දයක් හැටියට පැවැත්වූයේ නැහැ.

මෙහි දී කාමච්ඡන්දය යැයි සඳහන් කරන්නේ ප්‍රිය අරමුණක් මගේය, මම වෙමි, මගේ ආත්මය හෙවත් මගේ වසඟයෙහි පවතිනවායි කියන අදහසින් සිතින් දැඩිව අල්ලාගැනීමයි. එපමණක් නොවෙයි ඒ වස්තුවට සිතේ බලවත් වූ කැමැත්තක් ඇති කර ගන්නවා. සිතේ ඒ කෙරෙහි ආශාවක් ඇතිකර ගන්නවා. ඒ වගේ ම ඒක ප්‍රිය වශයෙන් නිමිති ගන්නවා. එහි රසයක් මනසින් ලබනවා. ඒ වගේ ම සිතෙහි අල්ලා ගැනීමක් තද වශයෙන් ඇලීමක් ඇති කර ගන්නවා. ඒ අරමුණ ඔස්සේ සිත වඩ වඩා සතුටු කර ගන්නවා. මෙන්න මෙතන දී තමයි යම් වස්තුවකට හෝ අරමුණකට ඇතිවන බලවත් වූ කැමැත්ත කාමච්ඡන්දයක් හැටියට දක්වන්නෙ.

අශ්‍රැතවත් පෘතග්ජන ජීවිතවල දී ඒ ජීවිත පැවැත්වීම සඳහා කැමැත්තක්, මනාපයක්, ඇතිකර ගැනීම අවශ්‍යවෙයි. ඒ වගේ ම ඕනෑ ම ජීවිතයක ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් අරමුණු ගැනීමත්, අරමුණු පැවැතීමත් ස්වභාවිකයි. එහි දී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට හෝ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක ස්වභාවයට පත්වීමට අදහස් කරන පුද්ගලයා විසින් අනුගමනය කළ යුත්තේ මේ ආකාරයටයි.

එනම් කායික, වාචසික සංවර්ධනය නම් වූ ශීලයේ පිහිටා ධර්මානුකූලව තමාගේ කැමැති අරමුණ සම්පාදනය කර ගැනීමයි. නිදසුනක් මේ වගෙයි, පාසල් යන දරුවෙකුට අධ්‍යාපනය, විභාගය, අනාගතය ගැන සැලසුමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් කැමැත්තෙන් වෙහෙස මහන්සිවෙලා කැපකිරීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. එසේ කටයුතු කිරීමේ දී තවත් කෙනෙකුට කරදර කිරීමක් හෝ සොරකම් කිරීමක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ පළිගැනීමක් හෝ වෛර කිරීමක් හෝ නොකළ යුතුය. තමාගේ හැකියාවෙන් උත්සාහයෙන් යහපත් වූ අරමුණ නම් වූ අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. මැනවින් ඉගෙනගෙන සද්පුරුෂ මනුෂ්‍යයෙක් වී තමාටත්, පවුල් පරිසරයටත්, රටටත්, ලොවටත් වැඩදායී පුද්ගලයෙක් වෙනවා කියන යහපත් වූ කැමැත්තක් ඇතිකරගෙන ක්‍රියාකාරීමයි.

එය බුදු දහමේ වරදක් හැටියට පෙන්වා දෙන්නෙ නැහැ. ඒ වෙනුවෙන් පොළඹවන බව සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, මංගල ආදී සුත්‍ර දෙස බලනවිට ඉතාම පැහැදිළියි. රැකියාවක් කරන යම් වූ ද අයෙක් ඒ රැකියාව කළ යුත්තේ මෙසේයි. එනම් රැකියාවක් කිරීමකින් බලාපොරොත්තු වන්නේ තමාගේ ජීවිතය යහපත්ව පවත්වා ගැනීම පිණිස මුදලක් හෝ ධනයක් උපයා ගැනීමයි. මෙහි දී ධර්මයේ පැහැදිලි කළේ මෙලෙසිනුයි. විශේෂයෙන් ම “පත්ථ කම්ම” නම් සූත්‍ර දේශනාවේදී එය මෙසේ පැහැදිලි කොට තිබෙනවා.

උට්ඨාන විරියා දි ගතේ හි
භෝගයේහි බාහා බල පරිචිතේ හි
සේදා වක්ඛිත්තේ හි ධම්මිකේ හි
ධම්ම ලද්දේ හි යනුවෙනුයි.

එනම් උට්ඨාන වීර්යයෙන් යුක්තව ඒ වගේ ම බාහු බලයෙන් දහඩිය මුගුරු වගුරුවා දැහැමි පිළිවෙතක ධර්මානුකූලව ම ඒ භෝග සම්පත්තීන් උපයාගත යුතු බවයි.

එහෙම නම් තමා කැමැති ප්‍රිය අරමුණ පවතිනවා, එනම් මනා වූ ප්‍රසන්න ඉඩ ඇති, ප්‍රමාණවත් ගේ - දොර හදාගැනීම, තමා කැමැති ආකාරයෙන් ප්‍රසන්න ලෙස ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම, හැකියාවක් තිබේ නම් කුඩා වූ හෝ යාන – වාහනයක් ලබාගැනීම, ගිලන්වන විට දී කරදරයකින් තොරව එසේ නොමැති නම් අනුන්ට අත නොපා ඒ වෙනුවෙන් බෙහෙත් හේත් ලබා ගැනීම. ඒ වගේ ම තමන්ගේ දෙමාපියන් රැකබලා ගැනීම තමාගේ ස්වාමි භාර්යා දරුවන් වෙනුවෙන් යුතුකම් කිරීම ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් කළහැකි යමක් වේ නම් ඒ දේ කිරීම දහමට අනුගතව හැසිරීමට හැකි අයුරින් ඥාති හිතවතුන්ට උපකාර කිරීම, පිනකට දහමකට යෙදවීම ආදී වශයෙනුයි.මාගේ ජීවිතය තමාට මෙන් ම අන් අයටත් කරදරයක්, විපතක් නැතිව, හැකි ආකාරයෙන් පහසුවත්, සුවපත්වත් ගතකරනවා කියන අදහසින් ධර්මානුකූලවම මිල මුදල් හෝ ධනය උපයනවා. එහි දි පස් පව් දස අකුසලයකට යොමුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ දැහැමි මාර්ගය බුදු දහමින් අනුමත කරනවා. ව්‍යාපාරයක් තමන්ගේ පුද්ගලික වෘත්තියක් කරන අයෙක් වුවත් දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ආරම්භ ධාතු, පටන්ගත යුතුයි. නෙක්ඛම ධාතු පටන් ගත් ඒ දේ ඉදිරියට කරගෙන යා යුතුයි. පරාක්‍රම ධාතු පටන්ගෙන ඉදිරියට කරගෙන යාමේ දී ඒ කෙරෙහි කුමන කරදර බාධක පැමිණියත් ධෛර්යමත්ව ඒවාට මුහුණ දෙමින් තම යහපත් වූ අරමුණ ඉටුවන තෙක් පවත්වාගත යුතුයි.

මේ ලෙසින් ධර්මානුකූලව ස්වල්ප වූ ලාභයක් ලබාගනිමින් අන් අය තලා පෙලා අන් සතු ධනය, අසාධාරණ හා අධාර්මික ලෙස ලබා නොගනිමින් තම වෘත්තිය හෝ ව්‍යාපාරය කළ යුතුයි. ඒ වගේ ම භාණ්ඩ මැණීමෙන්, කිරීමෙන්, නිෂ්පාදනයෙන්, සොරකම්, වංචා නොකළ යුතුයි. අයුතු ලාභ නොලැබිය යුතුයි. ඒ වගේ ම පරිභෝජනය කරන පිරිස වංචාවෙන් රැවටීම නොකළ යුතුයි. තමාට කළ හැකි උපරිම ආකාරයෙන් යහපත් වූ දෙයක් හා අවංකව ම විශ්වාසයෙන් ම ඒ දේ කළ යුතුයි. එය ධර්මයේ පෙන්වාදී තිබෙන්නේ මෙලෙසිනුයි.

“වම්මිකෝ වුපචීයතී – එනම් වේයා තුඹස බඳින්නා සේය. “බඹරස්සේව ඉරියතෝ” බඹරා එනම් මී මැස්සා මලට හානියක් නොකොට රොන් එකතු කරන්නාක් මෙනි. මෙය කෙටියෙන් විස්තරකොට දකින්න.

යහපත් වූ අරමුණක් වෙනුවෙන් තම ජීවිතයේ ධර්මානුකූල දියුණුව සැපත පිණිස තමාගේ ම වෘත්තියක් ව්‍යාපාරයක් සිදුකරනවා කියන අදහසයි. එහි දී අවංකවත් සාධාරණවත් ඒ දේ කළ යුතුයි. වේයා විශාල තුඹසක් බඳින්නේ නමුදු මහපොළවටත් නොදැනෙන ලෙස, වැලිකැට හෝ පස් කැට රැගෙන එනු ලබයි. මහ පොළොවේ හැරීමක් පවතින්නේ නැත. ඒ වගේ අනුන් තලා පෙලා නැතිව හොර කපටිකම්වලින් තොරව සාධාරණව ධනය උපයාගත යුතුයි. මලට හානියක් නොකොට රොන් ගන්නා මී මැස්සා සේ අන් අයගේ ධනය අසාධාරණයෙන් හා වංචාකිරීමෙන් හෝ රැවටීමකින් තොරව ගැනීම සිදුනොකොට ධර්මානුකූලව ම ධනයක් ලැබිය යුතුයි. පාරිභෝගිකයනට ඒ භාණ්ඩ අලෙවි කළ යුතුයි. මෙන්න මේ ලෙසින් වෘත්තියක් පවත්වන අයකුට එක රාත්‍රියකින් ලක්ෂපතියෙක් හෝ කෝටිපතියෙක් වන්නට නොහැකි වුණත් ඔහුගේ හෝ ඇයගේ ධර්මානුකූල ජීවිතය ස්වල්ප වශයෙන් නමුත් භෝග වැඩෙන්නේ නමුත් මනසේ ඇතිවන ආර්ය ධනය බොහෝමයි. රැස් කරගන්නා වූ භෝග ඕනම වෙලාවක ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් හෝ රජයේ බලපෑමකින් විනාශ විය හැකි අතර තමාගේ සිතේ ඇති කරගන්නා වූ ආර්ය ධනය සැමදා තමා සමඟ පවතිනවා.

තවත් කොටසක් 27 වන බිනර පුන් පෝදා

 - දීපා පෙරේරා

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]