UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දික්කාපිටියේ උදය නා හිමි

බදුල්ල දිස්ත්‍රික්කයේ දික්කාපිටිය ජනිත කීර්තිධරයාණන් වහන්සේ නමක් වූ දික්කාපිටියේ උදය මාහිමිපාණන් වහන්සේ උගත් පඬිරුවණකි.

එවකට දික්කාපිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ ශාස්ත්‍රවේදී දික්කාපිටියේ ධීරානන්ද මාහිමිපාණන් වහන්සේගේ හා ඌව නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දඹවින්නේ රාහුලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනම දික්කාපිටියේ උදය මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වෙති. උන්වහන්සේලා දෙනමගේ සෙවණේ අත්පොත් තබා පැවිදි වීමට අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කොට පැවිදි බිමට පත්වූහ.

මූලික අධ්‍යාපනය පන්නවෙල විද්‍යාප්‍රදීප පිරිවෙන, ගම්පහ සාමවිහාර මහ පිරිවෙන යන පිරිවෙන් දෙකින් ලබාගත්හ. උන්වහන්සේ උසස් අධ්‍යාපනය ඌවේ කීර්තිමත් පිරිවෙනක් වන කැප්පෙටිපොල ශී‍්‍ර සෝමානන්ද මහ පිරිවෙනෙන් හදාරා සරසවි වරම් ලබා ගත්හ. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේදි උපසම්පදාව ලැබූහ. දික්කාපිටියේ උදය හාමුදුරුවෝ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදි උපාධිය, පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති යන පශ්චාත් උපාධි ලබාගත්හ. නැණවත් ගුණවත් දරු පරපුරක් බිහිකිරීමේ පරම අභිලාශයෙන් මිරාහවත්ත ශී‍්‍ර දේවානන්ද මහා විද්‍යාලය,වැලිමඩ විජය විද්‍යාලය, මෙන්ම තමන් වහන්සේගේ ග්‍රාමයේ වූ දික්කාපිටිය විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසත්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසත් සේවයකොට දැනට බණ්ඩාරවෙල බිඳුණුවැව ජාතික විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් විශාල සේවාවක් සිදුකරයි.

තමන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූ දඹවින්නේ රාහුලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහාය වෙමින් පන්සලෙන් ඉටුවිය යුතු වූ ආගමික හා සාමාජික සේවාවන් ඉටුකිරීමෙහි නිරත වෙමින් ක්‍රියා කරන්නට විය. ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව දික්කාපිටිය ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති වශයෙන් පත්ව, තමන් වහන්සේගේ පැවිදි සහෝදරයාණන් වහන්සේ හා ශිෂ්‍ය පිරිස මෙන්ම දායක දායිකාවන්ට අනුශාසකයන් වහන්සේ ලෙසද කටයුතු කරමින් සිටිති.

උදය නායක හාමුදුරුවන් වහන්සේ ශාසනයටත්, රටටත් සිදුකරනු ලබන සේවාවන් අගයමින් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් සංඝපාල මංගල ශී‍්‍ර රාහුල ගෞරවනාම සම්මුතිය සහිත ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අප කාටත් ඉමහත් සතුටකි.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබු අභිනව නාහිමිපාණන් වහන්සේට ශී‍්‍ර සන්නස් පත්‍රය පිළිගැන්වීම අගෝස්තු මස 22 වෙනි දින ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේදි සිදුකෙරිණි. ශාස්ත්‍රපති, අධ්‍යාපනපති සංඝපාල මංගල ශී‍්‍ර රාහුල ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක දික්කාපිටියේ උදය අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍යෙීත්සවය අගෝස්තු මස 23 වෙනි දින දික්කාපිටියේ විද්‍යාලයේදි පැවැත්විණි. දික්කාපිටියේ උදය නාහිමිපාණන් වහන්සේට තව බොහෝ කාලයක් ලෝක ශාසනාභිවෘද්ධි වර්ධනය කෙරෙමින් වැඩවෙසෙන්නට තෙරුවන් සරණ ලැබේවා!


මැදවෙල විජයානන්ද නා හිමි

ඌව පරණගම උඩුහාවර ශ්‍රී විජයාරාම, මහා විහාරාධිපති පන්නලවෙල බ/ශ්‍රී විද්‍යාප්‍රදීප මහා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවෙණාධිපති, ප්‍රවීණාචාර්ය පූජ්‍ය මැදවෙල විජයා නන්ද මාහිමියෝ් උතුම් යතිපරපුරක් නියෝජනය කරන යතින්ද්‍රයන් වහන්සේ නමකි. වසර 1955 සැප්තැම්බර් මස 07 වන දින ඌවපරණගම මැදවෙල ග්‍රාමය ජාතභූමිකොට මෙලොව එළිය දුටු නාහිමියෝ මූලික අධ්‍යාපනය කරගහඋල්පත මහා විද්‍යාලයෙන් ලද පුරාකෘත පුණ්‍ය මහිමයත් මව්පියන් සතු ශ්‍රද්ධාවත් නිසාම එවකට උඩුහාවර ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය කුරුඳුගොල්ලේ ශ්‍රී දේවින්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්ව මූලික බණ දහම් හදාරා විදුරුපොල ශ්‍රී සුමංගලාරාමස්ථ සීමාමාලකයේදී උපසම්පදාව ලැබීය. නුවරඑළිය රත්නාලෝක පිරිවෙන, පන්නලවෙල විද්‍යාප්‍රදීප පිරිවෙන ආදියෙන් මූලික හා උසස් අධ්‍යාපනය හදාරා රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දැනුමෙන් මෙන්ම ඉගැන්වීම පිළිබඳ පුහුණුවෙන් පෝෂණය වූහ. 1979 වර්ෂයේදී පන්නලවෙල විද්‍යාප්‍රදීප පිරිවෙනට පරිවෙණාචාර්යවරයෙකු ලෙස පිරිවෙන් ගුරු සේවයට පිවිසි උන්වහන්සේ පුරා වසර 36 කට අධික කාලයක් උප ගුරුවරයෙකු නියෝජ්‍ය පරිවෙණාධිපති මෙන්ම පරිවෙණාධිපතින් වහන්සේ ලෙසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කොට නොබෝදා විශ්‍රාම දිවියට පත්වූහ. 1990 වර්ෂයේදී උඩුහාවර ශ්‍රී විජයාරාමාධිපති ධුරයට පත්ව වර්තමානය දක්වා එහි සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ නොබලා කරන කැපකිරීම අපරිමිතය. දෙමහල් සංඝාවාසය , විහාර මන්දිරය, බෝධිප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීම ආදිය මෙන්ම අභිනව තෙමහල් ධර්ම ශාලාව උන්වහන්සේගේ කැපවීමේ ප්‍රතිඵලයකි. උඩුහාවර ශ්‍රී විජයාරාමාධිපතිව වැඩවිසූ ආදිකතෘන් වහන්සේ සතු සුවිශේෂී වූ පෞරුෂයත් උඩුහාවර විහාරස්ථානයටම ආවේණික වූ අනන්‍යතාවයත් ආරක්ෂා කරමින් සිය දායකාරකාදින්ගේ කුදුමහත් සියලු කටයුතු ඉටුකරනු ලබන්නේ ශාසනලැදියාවෙනි. ශ්‍රී මේධානන්ද දහම් පාසල පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දූදරුවන් දහම් දැනුමෙන් පෝෂණය කරනවා මෙන්ම ග්‍රාමයේත් දායකයන්ගේත් උන්නතිය වෙනුවෙන් උන්වහන්සේගේ නිවැරදි මගපෙන්වීම සැමට ආශිර්වාදයකි. ආයතන පරිපාලනය මෙන්ම කළමනාකරණයෙහි සුවිශේෂී දක්ෂයකු වූ අප නාහිමියෝ මානව සම්පත කළමනාකරණයෙහි දක්වන සුවිශද බව අගය කළ යුතුය. දුරදක්නා නුවණින් මෙන්ම සමානාත්මතාවය, ඉවසීම ආදි නායකත්ව ලක්ෂණයන් නිසාම දිනෙන් දින දියුණුවන ස්ථානයක් බවට විහාරස්ථානය පත්ව ඇත. භෞතික වශයෙන් විහාරස්ථානය දර්ශනීය ලෙස සැකසීම මෙන්ම තමන් වහන්සේගේ ලෝක ශාසනික මෙහෙවර යාවත්කාලීන කරුනු පිණිස දක්ෂ ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය පිරිසක් ඇතිකර සිටීම අතිශය වැදගත් වූවකි. සැටවන වියට පාතබන මැදවෙල විජයානන්ද මාහිමිපාණන් වහන්සේට තව තවත් ලෝ සසුන් වැඩ වඩන්නට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.!


ගිලීමලේ චන්ද්‍රාලෝක නා හිමි

රත්නපුර රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානයේ නිර්මාතෘවර අපවත්වී වදාළ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ගිලීමලේ චන්ද්‍රාලෝක මාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ මහා පින්කම සැප්තැම්බර් මස 10 හා 11 යන දිනවලට යෙදී තිබිණි.

බුදුන්වහන්සේගේ වම් සිරිපා කමල පිහිටවූ සමනල ගිරිපාමුල පිහිටි සුන්දර කඳු වළල්ලකින් වටවූ පින් බිමක ඉදි වූ පින් බිමකි පුංචි දඹදිව. මෙය ලක්වැසි ජනයා පුංචි දඹදිව යන නමින් ව්‍යවහාර කරනු ලබන්නේ දඹදිව ඉන්දියාවේ සිද්ධස්ථානවලට අනුව මෙහි සිද්ධස්ථාන නිර්මාණය කොට ඇති නිසාවෙනි. විෂ්ම කර්ම නිර්මාණ ලෙස මෙහි ඉදි කොට ඇති මෙම නිර්මාණ බොදුජන හදවත් තුළ නිතර නිතර නින්නාද දෙනු ලබයි.

අපවත් වී වදාළ ගිලීමලේ චන්ද්‍රාලෝක හිමිපාණන් වහන්සේ විසින් මෙම පින් බිම ආරම්භ කරනු ලැබ ඇත්තේ 1981 අප්‍රේල් මස 14 වැනි දිනය.

මෙම පින් බිමේ නිර්මාතෘවරයාණන් වහන්සේ 1976 පැවිදි ජීවිතයට පත්විය. උන්වහන්සේ පැවිදි වූ දින සිටම තම ජීවිතය කැප කළේ අහිංසක ජනතාව වෙනුවෙනි. ඒ අතර මහා වන ලැහැබක්ව පැවති රත්ගඟ ගම් පියසට පිවිසෙන මාර්ග ආදිය පවා ගොඩනැගුවේ නාහිමිපාණෝ ය. උන්වහන්සේ මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් ගම් වැසි ජනතාවට ලබා දීමට නොගත් උත්සාහයක් නොමැත. ඕනෑම කෙනෙකුට ආහාරවේලකින් සංග්‍රහ කිරීමේ නිසඟ හුරුවක් නාහිමියෝ සතු වූහ. මෙවැනි උතුම් ගුණාංග රාශියකින් හෙබි නාහිමියන් දුර්ලභ ගණයේ මිනිස් ගුණාංගයන්ගෙන් සමලංකෘත වූ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

නාහිමිපාණෝ හදිස්සියේ රෝගාතුර වීම හේතුවෙන් 2015 ක් වූ 6 වැනි මස 11 වැනි දින අපවත් වූහ. නාහිමිපාණෝ සම්බුදු සසුනට කළ අමිල මහා මෙහෙවර තෙලිතුඩකින් සනිටුහන් කළ නොහැක. මෙම අසහාය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ 2015 ක්වූ සැප්තැම්බර් මස 11 වැනි දිනට අපවත් වී තෙමසක් ගතවේ. උන්වහන්සේට උතුම් අජරාමර නිවන්සුව අත්වේවායැයි පතමි.

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]