UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තලෝවිට ශ්‍රී සංඝමිත්තා දහම් පාසල

තලෝවිට ශ්‍රී සංඝමිත්තා දහම් පාසල

 

සබරගමු පළාතේ බෙලිගල් කෝරළයේ කෑගලු දිස්ත්‍රික්කයේ වරකාපොල කොට්ඨාශයේ තුඹලියද්ද ග්‍රාම සේවා වසමේ තලෝවිට ශ්‍රී සංඝමිත්තා දහම් පාසල පිහිටා ඇත. මෙම ස්ථානය මහනුවර යුගයට අයත් ඉඩමකි. නැගෙනහිරින් දෙල්ගමු කඳුවැටියෙන් ද, කුකුල්පනේ කඳු වැටියෙන් ද , දොරවක කඳුවැටියෙන් ද , මුතුකෙළය කඳුවැටියෙන් ද, බස්නාහිරින් තුඹලියද්ද කඳුවැටියෙන් ද වටවී ඇති අතර අසලින් ගලාබසින ඇළ මාර්ගයකි.

එය ගලපිටමඩ සිට ගම් නියම්ගම් පසුකරමින් වරකාපොළ අඹේපුස්ස හරහා යාන්ගල් මෝදරින් මා ඔයටය මෙම බල ප්‍රදේශය පළමුවන පරාක්‍රමභාහු රජතුමාට භාරව තිබුණ බව ව්‍යවහාරයේ එන ජනප්‍රවාදයකි.

අප දහම් පාසලට නැගෙනහිරින් අසල ගමක නිදානයක් ගැනීම සඳහා වලක් කපා තිබූ අතර එය පෙනී ඇත්තේ කුකුළෙකුට නිසා ‘කුකුල්පනේ’ නමින් එම ගම් ප්‍රදේශය හැඳින්වෙන අතර එවකට සිටි පළමුවන පරාක්‍රමභාහු රජතුමාට මල් කැඩීම පිණිස මානෙල්, ඔිලු පිරි තටාකයක් තිබුණ බවද එම මානෙල් ඕලු පිරි වල නිසා ‘මායින්නොළුව” යන නමින් එම ගම් ප්‍රදේශය ද හැඳින්වේ. තවද කහවනු පිරි ලියද්දක් පැවැති නිසා එම ප්‍රදේශය “තුඹලියද්ද” යන නමින් ද තල වැපිරූ ඕවිටක් තිබුණ බැවින් “තලඕවිට” යනුවෙන් හැදින්වුණ අතර එය පසුකලක තලෝවිට නමින් ප්‍රසිද්ධ විය.

මෙසේ ක්‍රමයෙන් ගම ජනාවාස වෙමින් දිනෙන් දින දියුණුවට පත් වූවත් ගමේ පන්සලක් හෝ ආගමික සිද්ධස්ථානයක් නොතිබූ හෙයින් ආගමික කටයුතු කිරීමට ආගමික ස්ථානයක අවශ්‍යතාවය දැනෙන්නට විය. මෙය අවබෝධ කරගත් බී.ටී . පීරිස් අප්පුහාමි මහතා සිය දයාඹර මෑණියන්ට අයත්ව තිබූ දැනට දහම් පාසල පවත්නා පර්චස් 45ක පමණ බිම් කොටස ආරාමය සැදීමට ලබාදුන් අතර එවකට මායින්ගොළුව විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ ඩී.එන් ස්වර්ණලතා මහත්මිය හා බී.ටී. පීරිස් අප්පුහාමි මහතා, කුරුදානේ තෙලේනිස් හාමිනේ මහත්මිය, බෙලිගහවත්තේ ලේකම් හාමිනේ යන නියමුවන්ගේ ප්‍රධානත්වයෙන් පොල් අතු සෙවිළි කළ කුඩා පියසක් ගොඩ නගා 1944දෙසැම්බර් මස 20 වන දින අම්පිටියේ සීලවතී සිල් මාතාවට පූජා කළ බව අතීත තොරතුරු විමසා බලන විට පෙනී යයි.

මෙම ප්‍රදේශයට පමණක් නොව ගමට , රටට, මුළු වමහත් ජනතාවට කීර්තියක් හා ආලෝකයක් ගෙන දෙන තලෝවිට ශ්‍රී සංඝමිත්තා දහම් පාසල 1945 සැප්තැම්බර් මස 25 වන දින ඇසිලින්, ඥානවතී, උපමාලිකා යන ශිෂ්‍යාවන් තිදෙනෙකුගෙන් ආරම්භ කර ඇති අතර මෙම දහම් පාසලට නව ඇරැඹුමක් වූයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලියාපදිංචි දහම් පාසලක් බවට පත් වූ විටය.

ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ නිර්මාතෘ අම්පිටියේ සීලවතී සිල් මාතාවගේ නොපසුබට උත්සාහය කැපවීම නිර්භීත බව හා -වීරෝදාරත්වයෙන් රට දැය වෙනුවෙන් කළ සේවය අප්‍රමාණය.

සීලවතී මෙහෙණින් වහන්සේගේ අපවත්වීමෙන් පසුව ප්‍රධානාචාර්ය ධූරයන් දැරූ ශිෂ්‍ය රත්නය වූ අඹගල නන්දශිලා, ඇහැලියගොඩ උත්පලවණ්ණා සිල් මාතාව ද අහංගම සුජීවා සිල් මාතාව ද වර්තමානයේ වෑඋඩ ධම්මදින්නා සිල් මාතාව හා ගුරු භවතුන්ගේ උත්සාහය මත දැනට දියුණුව කරා පා තබති.

දැනට නිස්සරණයෙන් ගුරුභවතුන් 15ක් පමණ සේවය කරන අතර දරු දැරියන් 450ක් පමණ දහම් දැනුම ලබන මෙම විදුපියස මේ දක්වා අභිමානවත් ගමනක යෙදෙමින් වරකාපොල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පැරැණිතම දහම් පාසලක් ලෙස විරාජමානව බැබලෙන දම්පියසක් බව සිහිපත් කරනුයේ සාඩම්බරයෙනි.

2015 සැප්තැම්බර් 25 වැනි දිනට යෙදෙන 70වන වසර සැමරීම නිමිත්තෙන් මේ මස 23 දින සහ 24 වන දෙදින තුළ බෝධිපූජා, ධර්මදේශනා, පිරිත් සජ්ඣායනා , සීල සමාදාන, අළුයම හා දහවල් පිණ්ඩපාත චාරිකා යනාදිය ඇතුළු විවිධ ආගමික වැඩසටහන් දියත් කෙරේ. විශේෂත්වය දුර බැහැරින් ස්වාමීන් වහන්සේලා , සිල් මාතාවන් වඩම්මවා නේවාසිකව දෙදින පුරාම මෙම ස්ථානයේ වැඩ විසීමට සැලැස්වීමයි.

අවුරුදු 70ක ඉතිහාසයක් ඇති ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ දරුවන්ට, දායක කාරකාදීන්ට, සහ ප්‍රදේශවාසීන්ට, ලෝවාසීන්ට ගුණ දම් සුවඳ විහිදවමින් නැණ නුවණ දියුණු කර නොසැලී ආ ගමන අභිමානවත් පාරමී මාර්ගයකට තෝතැන්නක් වේවා යනු අපගේ ප්‍රාර්ථනාවයි.

 දහම් දැනුම ලබන සිසු සිසුවියන්

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]