UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ජා

1 ප්‍රශ්නය
01. මියගිය ඥාතීන්ට පින් දුන්නාට එම පින් එම ඥාතීන් නොලබන බව සමහර අනුශාසනාවලදී පවසති. මාගේ අදහස පින් ගත හැකි ස්ථානයක සිටියහොත් පින් ලබා ගත හැකි බවයි. පහදා දෙන්න.

02. බුද්ධ පූජාව තබා පැය කිහිපයකින් අස්කළ යුතුද? දවල් 12 ට පසු අස්කලාට වරදක් නැතැයි සිතමි. පහදා දෙන්න.

පිළිතුර
දහම් පාසල්හි අවුරුදු 69 ක් ඉගැන්වීම කරන මේ මහතාට අපගේ ප්‍රසාදය හිමි වේ. දීර්ඝව විශ්ලේෂණය කළ යුතු ධර්ම කරුණක් කෙටියෙන් විස්තර කිරීමේ දී විටෙක නියම අදහස ප්‍රකාශ නොවෙයි. ඔබ කියන ස්වාමීන් වහන්සේලා මගින් මේ අදහස ප්‍රකාශ වන්නේ ඒ බැවිනි.

ඔබගේ අදහස නිවැරදියි. මෙම කරුණ පුළුල්ව විස්තර කරන අවස්ථාවක් අංගුත්තර නිකාය දසක නිපාත ජාණුස්සෝණි සූත්‍රයේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ ජාණුස්සෝණි බ්‍රාහ්මණයාට දේශනා කළ වදාළේ මිය ගිය අයගෙන් සමහරු පින් ලබා ගන්නා බවත් සමහරු එසේ නොවන බවත්ය. නිරය ගත වූවන්, තිරිසන් සතුන්, දිව්‍ය ලෝකවල උපදින්නන්, මිනිස් ලොව උපදින්නන්, දානයේ පින් නොලබති. මරණින් මතු ප්‍රේතව උපදින්නන් මෙම පින් අනුමෝදන් වෙති. පරදත්ථ උපජීවි හෙවත් අනුන්ගේ පිනින් ජීවත්වන මෙම ප්‍රේත නිකායේ වසන්නෝ පින් අනුමෝදන් වෙති.

ඔබගේ දෙවන ප්‍රශ්නය බුද්ධ පූජාව සම්බන්ධවයි. බුද්ධ පූජාව කෙටි වේලාවකින් අස් කළ යුතු වෙයි. දවල් 12 වන තෙක් ද බලා සිටිය නොහැකි අවස්ථා වෙයි. අලුයම 05 ට පිදෙන කිරි ආහාර පූජාවක් අස්කිරීමට දවල් වන තෙක් සිටිය යුතු නොවේ. එසේ වුවහොත් එම ස්ථානය කෙතරම් අපිරිසුදු වේද, ගිලන්පස පූජාව වහා අස් නොකළ හොත් කුහුඹුන් එහි පිරී මැරීයනු ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ මුත් උන්වහන්සේගේ ගුණයන් සළකා තබන පූජාවන්ට සම ආනිසංස ලැබෙන බව අපේ ඉගැන්වීමයි. එනිසා ජීවමාන බුදුරදුන් ලෙස සලකා කරන පූජාවේ දී ඉතා පිරිසුදු යෝග්‍ය උපකරණවල බුද්ධ පූජාව සැකසිය යුතුද වෙයි. අස් කරන පූජාව සතුනට ආහාර පිණිස දීම වරදක් ද නොවේ.

2 ප්‍රශ්නය
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ ආසවක්ඛ්‍ය ඤාණය ඇතුළු ත්‍රිවිද්‍යාව උපදවා ගත් බව සඳහන් වේ.

එයට පෙර සප්ත ධ්‍යානලාභි ආලාරකාලාම සහ අෂ්ට ධ්‍යානලාභී උද්දකරාමපුත්ත තවුස්වරුන්ගේ ශිෂ්‍යයකුව සිටියදී පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතුප්පාද ඤාණය නොලැබීද? අෂ්ට සමාපත්තිලාභී වුවද අභිඥා නොලැබුවේද? පහදා දෙන්න.

පිළිතුර
සිදුහත් බෝසතාණන් වහන්සේ කිං කුසල ගවේශීව විමුක්තිය අපේක්ෂාවෙන් හැසිරෙන්නේ ආලාරකාලාම තවුසාණන් වෙතින් සත්වන ධ්‍යානය දක්වා ඉගෙනුම ලැබූහ. අටවන ධ්‍යානය දක්වා උද්දකාරාම පූත්‍ර තවුසාණන්ගෙන් දහම් දැනගත් බව ඉපැරණිම වාර්තාවල සඳහන්වේ. මජ්ක්‍ධිම නිකායේ අරියපරියේසන සූත්‍රයේ මෙම විස්තර ඇත. මේ තවුස්වරු දෙනම සමාපත්තිලාභී වූවත් පංච අභිඥාලාභී බවක් සඳහන් නොවේ. පංච අභිඥා පංචම සමාපත්තියේ දී ලැබෙන තත්ත්වයන්ය.

එහෙත් ධ්‍යාන ලැබූ පමණින් නිරායාසයෙන්ම එම අභිඥා නොලැබේ. මහා බෝධිසත්වයන්ට නම් පංචම ධ්‍යානය සමගම පංච අභිඥාවන් ලැබේ.

ඊළඟ ප්‍රශ්නය අෂ්ට සමාපත්තිලාභී බෝසතුනට පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතුප්පාද ඤාණය නොතිබුණේ ද යන්නයි. පංච අභිඥා යනු සෘද්ධි විධි, දිබ්බ සෝත, පරචිත්ත විජානන, පුබ්බේනිවාසානුස්සති හා දිබිබචක්ඛු ඤාණයයි. සිදුහත් බෝසතුන් වහන්සේ වෙසක් පොහෝ දින බෝ මුලදී ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළැයි කරණ ප්‍රකාශය තුළින් ඊට පෙර උන්වහන්සේට පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතුප්පාද ඤාණය නොවී යැයි අදහසක් කෙනකුට ඇතිවිය හැකියි.

මේ ගැටලු විසඳා ගැනීමට දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය හැදෑරිය යුතුයි. බවුන් වඩන උතුමෝ සස්සත වාද, ඒකත්ත සස්සනවාද ආදී වූ දර්ශන වාද 54 ක් ඉදිරිපත් කරනුයේ යම් ප්‍රත්‍යක්ෂ දැනුම් තුළිනි. එහෙත් ඒ ප්‍රත්‍යක්ෂය පූර්ණ නැත. එවැනි උතුමාණට පුබ්බේනිවාසානුස්සති ඤාණය යම් පමණට ඇත. කල්ප හතරක් පහක් හෝ ඊට වැඩි කලක් පෙනෙන නිසා නිත්‍ය ආත්මයක් හා නිර්මාණවරයාණ කෙනෙකු දකියි. ආත්මන් බ්‍රහ්මන් සංකල්ප ගොඩනැගෙනුයේ මෙම අසම්පූර්ණ ප්‍රත්‍යක්ෂය නිසායි.

චුති උප්පත්තිය ද මෙසේ ම මෙම ධ්‍යාන ලාභීහු දකිති. මෙයට වඩා බොහෝ දුර පෙනෙන පුබ්බේනිවාසානුස්සති හා චුතුප්පාද ඤාණ, බුදුවරු සම්මා සම්බුද්ධත්වය සමග ලබති. කලක් තිබුණා යැයි කියන ආත්මය ද සදාකාලික යන බ්‍රහ්ම ද අනිත්‍ය බව දකිති. එබැවින් ධ්‍යාන සමග ලබන අභිඥාවට වඩා බුද්ධත්වය සමඟ ලබන විද්‍යාව වෙනස් වෙයි. ආසවක්ඛ්‍ය ඤාණය යනු පෙර නොඇසූවිරූ, බුදුරජාණන් වහන්සේ නමක්ම පිළිසිඳ දක්නා, ඤාණයයි.

3. ප්‍රශ්නය
සත්වයා යනු නාමරූප දෙකේ එකතුව බව ධර්මයේ කියැවේ. නාමය තනිව ගත්විට හෝ රූපය තනිව ගත්විට සත්වයා සිටිය නොහේ. එසේනම් රූපය පමණක් ඇති ලෝක සහ නාම පමණක් ඇති අරූපාවචර ලෝක සතර තුළ උපත ලබන්නේ කවුරුන්ද?

පිළිතුර
ධම්මික විසින් කලකට පෙර ලියූ පිළිතුරක් ලියමි. ‘අයිස් කැටයක් ගෙන බලමු. ද්‍රව්‍යයක් වූ එය භාජනාදී යම් වස්තුවක් ආශ්‍රයෙන් පවතී. එය දිය වී ගිය කළ ද යම් කිසි තැනකම රැඳිය යුතුයි. ඒ ජලය උණුකළ විට ඒ වාෂ්ප රැඳීමට තැනක් උවමනා නැත. ඒ වාෂ්ප මූලික ධාතු තත්ත්වයට පත් වූ විට ඇසට නොපෙනී යයි. පරමාර්ථයක් වූ සිත ද එසේම නොපෙනෙන අද්‍රව්‍ය වූ ධර්මයකි. එයද භාවනා බලයෙන් අරූපී ධ්‍යානී බවට දියුණු කළ විට රඳා පවත්නා තැනක් පැවතීම නොවිය හැකි දෙයක් නොවේ. එහෙයින් සිත පවත්නේ කයෙහිම යන නිගමනය වැරැදිය.

4 ප්‍රශ්නය
යම් කිසි කෙනකු මිය ගිය පසු ප්‍රාණවායුව වා තලයට එකතු වී නැවත උප්පත්තියක් ලබන තුරු සත් දිනක් නිවසෙත්. සත් දිනක් වත්තපිටියේත්, උප්පත්තිය ලැබීමට අවස්ථාව එන තුරු පවතින බව අසා ඇත්තෙමි. ඒ පළමු ප්‍රශ්නයයි.

දෙවන ප්‍රශ්නය නම් හදිසි මරණයක් මහමගදී සිදු වූ විට ඒ තැනැත්තා ඒ මොහොතේම නිවසට පැමිණ නිවැසියන් සමඟ කතා බහ කරන බව මතයක් පවතී. මේ කරුණු දෙක පැහැදිලි කරදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර
මරණයෙන් පසු ප්‍රාණවායුව වාතලයට මුසු වේ. එහෙත් ඒ සමග ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් හෝ සිතක් හෝ වෙනත් නාම ස්කන්ධයක් හෝ චිත්තක්ෂණයනට වඩා දීර්ඝකාලීන ගන්ධබ්බ අවස්ථාවක් හෝ වාතලයේ හැසිරෙමින් සතියක් හෝ තෙමසක් හෝ සිටිතියි අපේ ථේරවාද බුදු දහමේ නොපිළිගැනේ. මහායාන හා තන්ත්‍රයාන ඉගැන්වීම්වල එවැනි අදහස් ඇත. ඉතා සරලව කිවහොත් චුති චිත්තය හෙවත් මරණයට පත්වන අවස්ථාවේ සිත සමගම ස්කන්ධ පරම්පරාව බිඳීයයි. එහෙත් පුද්ගලයාගේ කර්මශක්තිය අනුව ඊළඟ චිත්තක්ෂණයේ ප්‍රතිසන්ධි සිතක් ඇතිවේ. ඒ ප්‍රතිසන්ධිය නිරය, තිරිසන්, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම හෝ ප්‍රේත භවයක වෙයි. මෙයින් ප්‍රේත වර්ග කිහිපයකි.

01. නිප්ඣාමතණ්භික හෙවත් ගිනිගෙන දැවෙන සිරුරු ඇති ප්‍රේතයෝ, බුදුරජාණන් වහන්සේ ද මුගලන් මහරහතන් වහන්සේ ද මෙම ප්‍රේතයන් දැක ඇත.

02. බුප්පිපාසිත හෙවත් සා පිපාසාවෙන් පෙළෙන ප්‍රේතයෝ, ප්‍රේත වස්තුවේ උදාහරණ ඇත.

3. පරදත්ථ උපජීවි හෙවත් අනුන් දෙන පිනෙන් ජීවත් වන අය.

04. පංසුසියාච හෙවත් කසල ගොඩ අසල වසන ප්‍රේතයෝ, මොනම විශේෂ සාධකයක් නැතිව ගෙවල්වල දුගඳ හමන අවස්ථාවල පෙරේත ගඳ කියා ව්‍යවහාර වෙන්නේ මෙවැනි අවස්ථායි.

මෙයින් පරදත්ථ උපජීවි ප්‍රේතයන් මිනිසුන්ට පෙනෙන්නටද පැමිණිය හැකියි. තිරෝකුඩ්ඩ සූත්‍රයේ පෙන්වා දීමේ අනුව තිරෝකුඩ්ඩ (බිත්තියෙන් පිටත) සන්ධි සිංඝාටක (සතර මං හන්දිය) ද්වාර බහා (දොර උළුවස්ස) ආදී තැන්වල මේ අය සිටිති. විටක ඇසින් දක්නට ලැබේ. මෑත යුගයේ ලියවුණු පොත්වල සාකච්ඡා වන ගන්ධබ්බයා යනු මේ පරදත්ථ උපජීවී ප්‍රේතයායි.

ඔබේ දෙවැනි ප්‍රශ්නයේ දී ප්‍රකාශ කර ඇත්තේ හදිසියේ මරණයට පත්වන අය ඒ මොහොතේම සිය නිවසට පැමිණෙනවා යන්නයි. ඉතා විශ්වාසී සැදැහැවත්හු එවන් අවස්ථා ගැන සියලු අත්දැකීම් මටද ප්‍රකාශ කර ඇත. ඒකාන්තයෙන්ම මිය ගිය අය ද පරදත්ථ උපජීවි ප්‍රේතභවය ලැබූ අයයි. ඒ කිසිවෙක් කතා බහ කරන බවක් නම් සිදු නොවේ. මේ පිරිස ඉතා සියුම් ශරීර ඇති අයයි.


“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා
“ධම්ම සාකච්ඡා”
බුදුසරණ ලේක්හවුස්
කොළඹ

ලිපිනයට යොමු කරන්න.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]