UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයක සාර්ථකත්වයට කළ යුත්තේ කුමක්ද?

ජීවිතයක සාර්ථකත්වයට කළ යුත්තේ කුමක්ද?

ආසා සහ අවශ්‍යතා යනු වර්ග දෙකක් බව අවබෝධ කරගත යුතුයි. ආසා සහ අවශ්‍යතා වෙන් වෙන්ව හදුනානොගත් පුද්ගලයකුට කවදාවත් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට හැකියාව ඇති කියලා බුදුසමය විශ්වාස කරන්නේ නැහැ.

විශේෂයෙන්ම තරුණ ජීවිත ගතකරන දරුවන්ට ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ සැලකිල්ලට ලක්කරන්නට සිදුවන කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.

ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සාධක තිබෙනවා. එහිදී බුදුපියාණන් වහන්සේ අවධාරණය කරපු ඉතා වැදගත්ම කරුණක් වන්නේ ආර්ථික සාධකයක්. “ඒක නාම කිං “ එක නම් කුමක්දැයි විමසන බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරට්ඨිටිතිකා” යන්නෙන් වදාරා ඇත. සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙන සුළුයි. එහිදී භෞතික ආහාර මෙන්ම මානසික ආහාරත් අවධාරණය වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ පැවැත්මට අදාළ කරුණු මූලික වශයෙන් අවධානයට ලක්කර තිබෙන බව . ඒ නිසාවෙන් ඔබට ආර්ථිකමය වශයෙන් සුරක්ෂිත බවක් ඔබගේ ජීවිතය තුළ ඇතිකර ගන්නේ නැතිව ඔබගේ අනෙකුත් අභියෝගයන් ජයගන්නට ඔබට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඔබ හොදින් බලන්න. ඔබ ආර්ථිකමය වශයෙන් ඉතාම දිළිදු පහළ මට්ටමක ජීවිතය ගත කරනවා නම්, අවමයෙන් ඔබට වඩා යමක් තිබුණ කෙනකු දෙස ඔබට උපේක්ෂාවෙන් බලන්නට හැකියාවක් ලැබෙනවාද? ඔබට වඩා පොහොසත් කෙනෙකුගේ හැකියාව පිළිබඳව අගය කරන්නට ඔබට නිරාමිස සිතිවිලි පහළ වනවාද? ඔබ ඉතාමත්ම බුද්ධිමත්ව සිතිය යුතුයි. ඔබ සාර්ථක පුද්ගලයෙක් නම් පමණයි. ඔබට අනෙකුත් අයගේ හෝ පුද්ගලයන්ගේ සාර්ථකත්වය දරන්නට හැකි වන්නේ. ඔබ අසාර්ථක පුද්ගලයකු නම් ඔබ ජීවිතයේ ඉතාම පහළ තලයක සිටිනවා නම්, අනෙක් අයගේ සාර්ථත්වය ඔබගේ මනස රිදවනවා. ඔබ තුළ හීනමානය ඇතිකරවනවා. ඔබ තුළ ඊර්ෂ්‍යාව උපදවනවා. එවිට ඔබගේ මානව සබඳකම ඉතාම දුර්වල අපිරිසුදු සම්බන්ධකම් බවට පත්වෙනවා. ඔබගේ ආධ්‍යාත්මික දියුණුවට පදනම සැලසෙන්නේ ඔබ ආර්ථිකමය වශයෙන් භෞතිකව සුරක්ෂිත වී සිටීම තුළින් බව ඔබ කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතුයි. බොහෝ දෙනකු බුදුසමය පුද්ගලයෙකුගේ භෞතික සාර්ථකත්වය නොසලකා හරින දහමක් ලෙස කල්පනා කරනවා. නමුත් එය වැරැදි අවබෝධයක් හා වැරැදි පිළිගැනීමක් ,බුදුසමය සෑම මොහොකකම මගපෙන්වන්නේ හැම කාරණයකම මධ්‍යස්ථ දියුණුවක් පවත්වා ගත යුතු බවයි. ආධ්‍යාත්මික සංවර්ධනයට භෞතික සංවර්ධනය සම්බන්ධ වෙනවා. භෞතික සංවර්ධනයට ආධ්‍යාත්මික සංවර්ධනය සම්බන්ධ වෙනවා.

ඔබ මෙලෙස සිතීමට පෙලඹෙන්න. සිද්ධාර්ථ කුමාරයා හරි ජනයා ජීවත්වන ඉතාම දිළිඳු පැල්පතක ඉපදුණා නම්, ඔහුට අවබෝධය කරායාම කෙතරම් පහසුවේවිද,

ඔබ එම කරුණු කාරණා දෙක පිළිබඳව සිතන්න. සිද්ධාර්ථ කුමාරයාණන්ට සැප සම්පත්, සුඛෝපභෝගී ජීවිතය, යාන වාහන, ස්ත්‍රීන් වැනි දේවල් නිසරු බව තේරුණේම එතුමන් වහන්සේ ඒවා ප්‍රායෝගිකව අත්වින්ද නිසා, කවදාවත් එවැනි දේ අත් නොවිඳපු පුද්ගලයකු කෙසේ කල්පනා කරාවිද? එවැනි දේ ලබාගැනීම පමණයි, ඔහුගේ හෝ ඇයගේ සිහිනය වන්නේ, එහි නිස්සරණය එහි ආදීනවය, එහි තිබෙන වැඩකට නැති බව, එවැනි පුද්ගලයන්ට කවදාවත් අවබෝධ කරගැනීමට හැකිවන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාණන්ට ප්‍රශ්නයක් ඇති වුණේ රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගා තුන තුළ තිබෙන්නේ කුමන සැපතක්ද? යන වග. ඔහු සැප සම්පත් විඳිමින් එහි අන්තයටම ගමන් කළා. සියලුම සැප සම්පත් විඳිනු ලැබු සිද්ධාර්ථ කුමාරයාණන් එහි අන්තයටම ගමන් කළ පසු එහි කිසිඳු අර්ථයක් නොමැති බව වටහාගත්තා. හිස් බව පමණක් වටහා ගත් පසු ඔහු තුළ අතෘප්තිය ගොඩ නැගුණා. “කිං සච්ච ගවේසී” කිං කුසල ගවේසී” මේ ලෝකය තුළ මීට වඩා ඇත්තක් නැද්ද? මීට වඩා කුසලයක් නැද්ද? යන බවට ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න නගන්නේ එතුමාණන් අත්වින්ද ජීවිතය නිසයි.ආසියාතික මිනිසුන්ට අද වන විට තිබෙනා අභියෝගය වන්නේ ධර්මය දන්නවා වුණත් ධර්මය පුහුණුවීමට ඔවුන්ට පදනමක් නැහැ. ඔවුන් දිළිඳුයි. ඔවුන් ජීවිතයේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ආකාරයට ලැබිය යුතු පහසුකම් වත් නැතිව ගෙවන ජීවිත ඔවුන් සතුයි. ඒනිසා අපගේ තරුණ ප්‍රජාවට යෝජනා කළ යුත්තේ, ඔබගේ ජීවිතයේ මුල් දශක හතර අවම වශයෙන් ඔබ අවුරුදු 40ක් හෝ අවුරුදු 50ක් වන තෙක් ආර්ථිකමය වශයෙන් ඉහළ සුරක්ෂිත බවක් ඔබ තුළ ගොඩනගා ගත යුතුයි. ඒ ගොඩ නංවා ගැනීම තුළින් එම සාර්ථකත්වය ඇතිකර ගැනීම ඔබට ඔබගේ ඊළඟ දශකය හෝ දෙක ඉතාම සාර්ථක අවබෝධයක් සහිත වැඩිහිටියකු ලෙස ඔබගේ ජීවිතයේ කටයුතු කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට කරුණාවෙන් සිහිපත් කරනු ලබන්නේ ඔබ ආර්ථිකමය වශයෙන් සුරක්ෂිත වන්න. ඔබ හැකිතරම් කැප වෙන්න. ඔබ කෙතරම් කැප වුණත්, මදි. එයට ප්‍රමාණවත් නැහැ. ඔබ කෙතරම් මුදල් හම්බ කරනු ලැබුවත් එයම ප්‍රමාණවත් නැහැ. එම උපයන ලද ධනය ඉතාම හොඳින් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමවත් එය නැවත නැවත සංවර්ධනය කිරීමටත් ඔබට කටයුතු කිරීමට සිදුවනවා. බොහෝ දෙනකු ධනය ඉපයීමට ඇප කැප වුවද, අවාසනාවකට මෙන් ඔවුන් උපයන ලද ධනය නිවැරැදිව කළමනාකරණය කරගන්නේ නැහැ. ආසා සහ අවශ්‍යතා යනු වර්ග දෙකක් බව අවබෝධ කරගත යුතුයි. ආසා සහ අවශ්‍යතා වෙන් වෙන්ව හදුනානොගත් පුද්ගලයකුට කවදාවත් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට හැකියාව ඇති කියලා බුදුසමය විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසයි සිහියෙන් ඔබගේ සිත දිහා බැලි යුතු බවට බුදුසමයට අවධාරණය කරනු ලබන්නේ. ඔබගේ සිතට එන සිතිවිලි නුවණින් හඳුනාගන්න. මෙය මාගේ අවශ්‍යතාවයක්ද? මෙය මම අනෙක් අය දෙස බලාගෙන ඇතිකරගන්නා ආසාවක්ද?

මෙම ආසාවන් සඳහා මම කරනු ලබන ආයෝජන , මා කරනු ලබන කැපකිරීම් අවසානයට මත ණයකාරයෙක් කරල මා අසහනයෙන් පිරුණූ පුද්ගලයකු බවට පත්කරල මා ඉතාම අසීරු තත්වයකට ඇද දමයිද? පිළිබඳව ඔබ බුද්ධිමත්ව සිතිය යුතුයි.

බොහෝ ආසාවන්ට යටපත් වූ අය අනෙකුත් පිරිස් සමඟ තරඟය ක් ගොඩනගා ගනියි. අනෙකුත් පිරිස් සමඟ තරග කිරීමෙන් කී දවසක් ජයග්‍රාහකයකු විය හැකිද? කී දවසක් ඔබට දිනිය හැකිද? එහෙත් ඔබ ඔබගේ තරගය ඔබ සමඟ පමණක් ඇතිකර ගතහොත් ඔබගේ සිතිවිලි ජයගැනීම ඔබ දිනීම බවට පත්කර ගතහොත් ඔබගේ හැඟීම් සමඟ ඔබ ඉතාම බුද්ධිමත්ව වැඩ කිරීම ඔබගේ ජයග්‍රහණය ඔබට ඔබ කල්පනා කිරීමට පටන් ගතහොත් උපකරණ තුළින් අනෙකුත් පිරිස් පැරදවීමට ණය වන එකක් නැහැ.

දීර්ඝකාලීන ණයකරුවකු වීම මිනිසකුට “අණන සුඛය” නැති කරනවා. අණන සුඛය හෙවත් ණය නැතිනම් මහා සැපතක් බව බුදුහිමියන් දේශනා කොට ඇත. ණය නැතිකමේ සැපත අත්විඳීන පුද්ගලයෝ හරිම නිදහස් ජීවිත ගත කරමින්, ලෝකය දිහා බලනවා. ණයක් යනු බැඳීමක්, ණය යනු ණය බරක් ප්‍රශ්නයක්, ප්‍රශ්නයක් තුළ ජීවත්වන පුද්ගලයකුට බැඳීමක් සිටින පුද්ගලයකුට සත්‍ය දැකිය හැකිවන්නේ කවදාද? ඇත්ත අවබෝධ කරගන්නම හැකි කවදාද? යම් දෙයක් පිළිබදව නිරවුල් අවබෝධයක් ලබාගන්නේ කවදාටද? ඔහු සැම විටම පීඩා විඳිමින් වද විඳිමින්, ඔහු සැම විටම වගකීමකින් සිටීමට සිදුවන නිසා ඔබ බුද්ධිමත්ව වටහා ගන්න. බුද්ධිමත්ව දේවල් අත්විඳීන්න. බුද්ධිමත්ව දේවල් තේරුම් කර ගන්න. ඔබට සිදුවන්නේ ඔබ ණයකාර ජීවිතයකින් තොර වුණ ජීවිතයක් ගත කිරීම සඳහා සුදුසු පරිසරයක් ගෙඩනගා ගැනීමට ඔබ ඔබේ ආසා සහ අවශ්‍යතා හඳුනා ගත යුත්තේ ඒ නිසයි. ඔබගේ නිවස සරල ස්ථානයක් වන තරමට බඩුමුට්ටු අඩු තැනක් වන තරමට ඔබට ශක්තිය උදාවන ප්‍රමාණය වැඩියි. ඔබ ආසියාතික රටක සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් තුළ ජීවත්වන විට ඔබට හිතෙන්නේ බඩුමුට්ටු වලින් පිරීම සාර්ථකත්ත්වයක් බවයි. එහෙත් ඔබ බටහිර වැසියන් ජීවත්වන නිවසකට ගියහොත් ඔවුන් කොතරම් දුරට අවශ්‍යතා හඳුනා ගෙන තිබෙනවා ද? යන්න ඔබට දැකගන්නට හැකියාව ලැබෙනවා වගේම ඔබට තේරුම් ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් කොතරම් දුරට තමන්ගේ ආසා තමන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තිබෙනවාද, ඒ නිසාම ඉතාම හොඳ ආර්ථික කළමනාකරණයකින් යුක්තව ඔවුන් තමන්ගේ ජීවිත ගත කරනවා දැකගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මා ඔබට මෙහිදී අවධාරණය කරන්නේ ඔබගේ සාර්ථකත්වය ඔබගේ ජයග්‍රහණවලට ඔබගේ ආර්ථිකය බලවත් ලෙස ගොඩනගා ගැනීම අවශ්‍යයයි. ඒත් ඔබ එම ජයග්‍රහණ වෙනුවෙන් ණය නොවී හොඳ කළමනාකරණයකින් කටයුතු කිරීම අවශ්‍යයයි.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]