UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්‍රෝධය අපට වධ දෙන හැටි

ක්‍රෝධය අපට වධ දෙන හැටි

අපේ සිතට බලවත් ලෙස වද දෙන සිතට පවිටු අදහස් ගලා එන මෙම පාප ළාමක චෛතසිකය බුදුදහමේ ‘කොධන” සූත්‍රයෙන් මැනවින් විස්තර වෙනවා. ක්‍රෝධය යන වචනයේ තේරුම් වෛරය, ද්වේෂය, ප්‍රතිඝය යන වදන් රාශියකින්මත් හඳුන්වා දෙන්නට පුළුවනි. මෙම චෛතසිකය නිරන්තරයෙන්ම අපේ සිතට වද දෙනවා. ඒ විතරකුත් නොවෙයි අපේ සසර දිග් කරනවා.

බුදුරජාණන් වහන්සේ මෙම වෛරය නැත්නම් ක්‍රෝධය පිළිබද එහි යම් යම් සිතිවිලි නිර්මාණය කරන ආකාරය පිළිබඳ ඉතා වැදගත් අදහස් රාශියක් අපට පෙන්වා දී තිබෙනවා. මෙම වෛරී පුද්ගලයාට වෛරී සිතිවිල්ලක් ඇති වුණාම ඔහුට හෝ ඇයට පි‍්‍රය මනාප ඔහුට හොඳයි කියා සිතෙන කරුණු හතක් පිළිබඳ අපට පෙන්වා දී තිබෙන ආකාරය දැන් අපි විමසා බලමු.

ක්‍රෝධයෙන් පෙළෙන අයගේ හිත වැඩ කරන හැටි

වෛරක්කාරයා තමන්ට හතුරු යැයි සිතෙන අය ගැන මෙන්න මේ ආකාරයෙන් හිතනවා. ඔහු තම සතුරාගේ සිරුර වර්ණවත්ව පැහැපත්ව කාගේත් සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් පවතිනවට කැමැත්තක් දක්වන්නේ නැහැ. හතුරා විරූප වෙන තරමටයි කැමැත්ත, මෙහි විපාකය ඔහුම හෝ ඇයම අත්විඳිනවා. ඒ අනුව ඔහු හෝ ඇය ස්වභාවයෙන්ම කොතරම් හොඳට නාගෙන සුදු වර්ණ හෝ වෙනත් විසිතුරු වර්ණ රෙදිපිළි ඇන්දත් හොඳ පාට වර්ග, සුවඳ වර්ග, ආලේප කළත් හිතේ හෝ ශරීරයේ ප්‍රසන්න බවක් වෙනත් අයෙකුට පෙනෙන්නේ නැහැ. මේකයි ස්වභාවය. මේ තත්ත්වය නිර්මාණය කරලා තිබෙන්නේ වෙන කවරෙකු විසින් වත් නොවේ. ඔහුගේ ක්‍රෝධ සහිත සිතිවිලි නිසාය. ඔහුට ලැබෙන විපාකයි ඒ.

දෙවනුව තමන්ට නින්ද යන්නේ නැතිනම් ඔහු හිතනවා. මගේ අසවල් හතුරාට හොඳට නින්ද යනවාද කියලා. මොකද? තමන්ගේ හතුරාගේ සුව නින්ද ඔහු කෙසේවත් පි‍්‍රය කරන්නේ නැහැ. මෙම සිතිවිල්ලට හේතුව ඔහුගේ ක්‍රෝධ සහිත ගතිය යි. ක්‍රෝධයෙන් පෙළෙන තැනැත්තාට බොහොම සුවපහසු උඩුවියන්, පාවාඩ ඇතිව ගන ලෝම සහිත අගනා ඇතිරිල්ලක නිදා ගන්නට සැලැස්සුවත් ඔහුට එහි සුවසේ නින්ද යන්නෙත් නැහැ. එය එහෙම වෙන්නේ අනිකක් නිසා නොව ඔහුගේ සිතේ පවතින ඇවිස්සුණු හෙවත් විසිරුණු ස්වභාවයයි.

තෙවනුව තම හතුරා පිළිබඳව නිරන්තරයෙන් වෛරීව ක්‍රියා කරන පුරුෂයා හෝ ස්ත්‍රිය හතුරාට ලැබෙන සැප සම්පත් ගැන පසු තැවිල්ලට පත් වෙනවාය .අහෝ! මගේ හතුරාට ලැබෙන මේ සැප සම්පත් වෙන කාට ලැබුණත් කමක් නැහැ. මොහුට නොලැබී කියා නිතර හිතනවා. මේ තැනැත්තාට මෙහිදී ඇතිවන තත්ත්වය ඉතාමත් අහිතකර වෙනවා. මොකද? ඔහුට හොඳ දේ හැම විටම නරක විදියටයි පෙනෙන්නේ. යහපත් දේ අයහපත් විදියටයි දැනෙන්නේ. සද්පුරුෂයා අසද්පුරුෂයෙකු කොට ඔහුට වැටහෙනවා . මිතුරා හතුරෙක් ලෙස පෙනෙනවා. අපේ සමාජයේ එවැනි අය අපට බොහොමයක් දකින්නටත් ලැබෙනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ ස්වභාවය ගැන තම සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳව මේ ආකාරයෙන් තමන්ටම හිතා ගන්නටත් පුළුවන්. ඒ නිසා තමන් තුළ මේ ගති ලක්ෂණ තියෙනවා නම් ඒවායින් ඉවත් වෙන්නට යොමු වෙන්නට ඕන. මේ සම්බුදුදහම “ඒහිපස්සික” ගුණයෙන් යුක්ත වන බව තමන් නිතර නිතර හිතට ගැනීම බොහොම වටිනවා.

සිව්වෙනුව තමන්ගේ හතුරා පිළිබඳව වෛරී තැනැත්තා හෝ තැනැත්ති හිතන මතන තවත් ආකාරයක් තිබෙනවා. ඒ තාම තමන්ගේ හතුරාට ලැබෙන යම් යම් භවභෝග සම්පත් ගැන කිසිසේත් රුචි නොවෙනවා පමණක් නොව මෙම භවභෝග විනාශ වෙනාව නම් හොඳයි කියා අතිශයින් සතුටට පත් වෙනවා. නිදසුනක් වශයෙන් යම් හෙයකින් සශ්‍රීකව සස්‍ය හෝ භෝග වැඩුණු පැහුණු හතුරාගේ කුඹුරක් හෝ හේනක් දුටුවහම අනේ. මොහුගේ කුඹුර හෝ හේන ජල ගැලීමකින් හෝ වෙනත් උවදුරකින් විනාශ වෙනවා නම් කොච්චර හොඳද? කියා ප්‍රාර්ථනා කරනවා . එම සස්‍ය දකින හැම විටම ඔහු හෝ ඇය මහත් අසහනයට, වේදනාවට පත් වෙනවා. මේ ආකාරයෙන් ඔහුගේ හෝ ඇයගේ වෛරී සිතිවිලි නිරන්තරයෙන් ක්‍රියා කරනවා. ඔහුගේ හෝ ඇයගේ මේ වෛරී සිතිවිලි නිසා ඔහුට හෝ ඇයට නින්ද යන්නෙත් නැහැ. කෑම බීම පිළිබඳ රුචියකුත් නැහැ. නිරන්තරයෙන් අසහනකාරි බවක් සිතට දැනෙනවා. මේ නිසා අවසානයේ දී කුමක් ද සිදුවන්නේ ? ඒ තැනැත්තා හෝ තැනැත්ති හරිහම්බ කළ ධනය, වස්තුව පමණක් නොවෙයි මහන්සියෙන් දහඩිය වගුරුවා දෑතේ වීර්යයෙන් රැස්කළ කිසිදු අධාර්මික බවක් නොමැතිව හරිහම්බ කළ සස්‍ය හෝ ධනය වස්තුව රජයේ භාණ්ඩාගාරයට හෝ කිසිදු හේතුවකින් තොරව පවරා ගන්නටත් පුළුවනි. එසේත් නැතිනම් ස්වාභාවික විපතකින් විනාශවෙලා යන්නටත් පුළුවනි. මෙයින් අදහස් කරන්නේ මේ ක්‍රෝධ සිතිවිලි නිසා මිනිස් සන්තානයේ හටගත් ද්වේෂ සහගත පවිටු අදහස් තමන්ටම අවසානයේ අහිතකරව පවතින අයුරු අපට දැකබලා ගන්නටත් පුළුවනි.

පස්වෙනුව තමන්ගේ හතුරාගේ උගත්කම හරි, බලවත්කම හරි, පවුල් පසුබිම හරි, පෙනුම නිසා හෝ වෙන යම් කරුණක් නිසා සමාජය තුළ කිසියම් කීර්තියක් යසසක් පැතිරී තියෙනවා නම් එයට ද ක්‍රෝධ සිතිවිලිවලින් තෙරපෙන වෛරී පුද්ගලයාගේ සිතේ බලවත් අකමැත්තක් හට ගන්නවා. සමහර විට ඔහු එවැනි අවස්ථාවල එම කීර්තිය අකාමකා දමන්නට නොයෙක් උපක්‍රම යොදන්නටත් පෙලඹවෙනවා . මේ නිසා මෙලොවදීම ඔහුට විපාක විඳින්නට සිදු වෙනවා. ඒක තමා මෙම වෛරී තැනැත්තා හෝ තැනැත්ති කොහොම හරි ඉතා ස්වල්ප වූ හෝ යසසක් කීර්තියක් ඇතිව සිටියා නම් එයිනුත් ඔහු හෝ ඇය පිරිහී යනවා.

සය වෙනුව තමන්ගේ හතුරු පුරුෂයෙකුට හෝ කාන්තාවකට මිතුරු පිරිස් ඇතිවෙනවාට මෙම පුරුෂයා හෝ කාන්තාව කිසිසේත් රුචියක් දක්වන්නේ නැහැ. නිතරම ප්‍රාර්ථනා කරන්නේ තමා වගේ සමාජයේ අනිකුත් බොහෝ දෙනා තම හතුරාට වෛරයෙන්, ක්‍රෝධයෙන් පසුවෙනවා නම් තමා හොඳ කියා. මේ නිසා තම හතුරා මොන ක්‍රමයෙන් හරි ඔහුගේ හෝ ඇයගේ විරද්ධකාරයන්ගෙන් පහර කනවාට , හිංසා පීඩාවන්ට ලක් වෙනවාට වඩ වඩාත් කැමැත්තක් දක්වනවා. මේ නිසා මෙලොව වශයෙන්ම මේ ක්‍රෝධයෙන් පෙළෙන වෛරී සිතිවිලි ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා තමන්ට යම් පමණකට හෝ සමාජයේ හිතවත්කමක් ඇති රුචියක් ඇතිව යම් සුළු හෝ පිරිසක් හිටියා නම් මේ තත්ත්වය යටතේ තවදුරටත් ඒ ඒ අය අතර පවා ඒ තත්වයෙන් සිටිය නොහී තම ඤාතිමිත්‍රාදීන්ගෙන්ද තවදුරටත් ඇත් වෙනවා. තමන්ගේ විපතකදී පවා අනේ අපොයි කියා දුක් වෙන, කනගාටු වෙන කෙනෙක්වත් නැතිව යනවා තමන් තනි වෙනවා.

අවසාන වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වෛරීව, ක්‍රෝධයෙන් තෙරපි තෙරපි කාලය ගත කරන අය සිතන තවත් දෙයක් ලෙස ඒ අයට මෙහෙම සිතනවා වෙන්නට පුළුවන්. ඒක තමා හතුරු තැනැත්තා හෝ තැනැත්තිය මැරුණට පස්සේ අපායේ වැටිලා අප්‍රමාණ දුක් විඳ විඳ ඉන්නවා නම් ඒකම ප්‍රාර්ථනා කරනවා. මෙහි අදහස තමා මෙලොව ජීවත් වෙන කාලයේ පමණක් නොව මැරුණට පස්සෙත් තමන්ගේ හතුරු අය පිළිබඳ ඇති කරගන්නා ක්‍රෝධ සහගත අවැඩකාරී සිතිවිලි ඒ තැනැත්තාට කොපමණ දුරට බලපවතිනවා ද කියන එකයි අප මෙහිදී තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. තමන්ට සෙයින් ලැබෙන අනර්ථකාරි ප්‍රතිඵලය තමා අනිවාර්යෙන් මෙලොව ජීවත් වන කාලයේදීත් පරලොව දීත් අනන්ත අප්‍රමාණ දුක් ගොඩක් විඳිමින් කල් ගත කරන්නට තමන්ට සිදු වෙනවා කියන මේ කාරණ ය. මෙහි එන මේ අදහස්වලින් ධර්මානුකූලව මෙම ක්‍රෝධයේ හැටි විස්තර වෙනවා.

ක්‍රෝධය .තමන්ටම විපාක ගෙන දෙයි.

ක්‍රෝධය, ද්වේෂය, වෛරය කියන මේ සිතිවිලි මොන තරම් අවැඩක් ජීවිතයට ඇති කරනවාද කියලා අපට දැන් තේරුම් ගන්නට පුළුවනි. ඒ විතරක් නොවෙයි ඒ පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ රුව නපුරු පෙනුමක් ගෙන දෙනවා. කවර ආකාරයෙන් සැරසුනත් ප්‍රසන්න බවක් නැහැ. සමාජයේ පිළිකුලට පත් වෙනවා. කයින් වචනයෙන් තම ක්‍රෝධය ප්‍රකාශ කිරීම නිසා කිසිවක් උපයා සපයා ගැනීමේ ශක්තියක් ද නැතිව යනවා. අපකීර්තියට පත් වෙනවා. තම නෑ හිතමිතුරන්ගෙන් ඈත්වෙනවා. එවැනි අයට හොඳ නරක යහපත අයහපත හඳුනා ගැනීමේ ශක්තියක් නැහැ. ලජ්ජාවක්, බියක් ඔවුන්ට දැනෙන්නේ නැහැ. මේනිසා සමාජයෙන් හැම විටම ඈත්වෙනවා. තනි වෙනවා. ඔහුට හෝ ඇයට තමන්ගේ වචන පිළිබඳ ශාරිරික ක්‍රියාකාරකම් පිළිබඳ සිහියෙන් හරි අසිහියෙන් හරි බොහෝ පහත් වැඩ කරනවා. බොහොම අසැබි වදන් කියනවා . මේ නිසා ඔහුගේ හෝ ඇයගේ පවුල්වල සාමාජිකයන්ට පවා මහත් ලජ්ජාවක් දැනෙනවා. ඔවුන්ගේ දරුවන්ට පවා සමාජයට මුහුණ දීමට බරපතළ අපහසුතාවක් දැනෙනවා.

දරුවන්ගෙන් දෙමාපියන් ඝාතනයට ලක්වෙන අවස්ථා

මේ කිපීම කොතරමි. දැඩිද කිවහොත් තමන්ගේ අතින්ම අම්මා, තාත්තා මරා දැමෙනවා. තම සහෝදර සහෝදරියන් පවා අමු අමුවේ මරා දමන අවස්ථා ඇති වෙනවා. අද අප දිනපතා කියවන බොහෝ පුවත්පත් දිහා බලනවිට මේවාට කොතෙකුත් නිදසුන් තිබෙනවා. මේ කෝපය, ක්‍රෝධය කොපමණ දරුණු ආකාරයෙන් ක්‍රියා කරනවාද කියතොත් අවසානයේදී තමන්ට වෙඩි තබාගෙන, පිහියකින් ඇන ගෙන හෝ වස විස පානය කරලා හරි, බෙල්ලේ වැලලා ගෙන හරි තමන්ගේ ජීවිතයත් විනාශ කර ගන්නවා. දැනට තිබෙන සොයා ගැනීම් අනුව ලංකාව සමස්ත ලෝකයේම සිය දිවි නසා ගන්නා ජනතාව සිටින රටවල අතර යම් ස්ථානයකට පැමිණ තිබීමෙන් කියන්නට වෙන්නේ මේ රටේ කොච්චර බණ කීවත්, මේ ආකාරයේ ධර්ම පති‍්‍රකා දහම් පොත පත, පුවත්පත් ලියා ජනතාවට දැන ගන්නට සැලැස්සුවත් සිය දිවි නසා ගන්නා අය අතරට පැමිණ තිබෙනවා කියන මේ කාරණය නම් මේ බෞද්ධ රටටත් මහත් ලැජ්ජාවක් .ක්‍රෝධයෙන් වෛරයෙන් ජීවත්වන්නවුන් මුළුමහත් සමාජයටම පිළිකුලක් නොවන්නේද? මේ සිතිවිල්ලට ඇති විසඳුම කුමක්ද කියලාත් බුදුහාමුදුරුවෝ අපට පෙන්වා දී තිබෙනවා. ක්‍රෝධය සංසිඳවන හැටි බුදුදහමෙන්

මෙහි පළමු හේතුව තමා තමන්ගේම මරණය පවා ඇති කරන මේ සිතිවිල්ලේ ස්වභාවය තේරුම් නොගැනීම, එහෙම නම් ඒ සිතිවිල්ල සිඳ බිද දැමිය යුතු වෙනවා. ඒකට කළ යුතු වෙන්නේ පළමු වෙන්ම මෙහි ස්වභාවය තේරුම් ගැනීමට තම ප්‍රඥාව හෙවත් නුවණ වැඩි දියුණු කර ගන්නට ඕන. තම ඉන්ද්‍රියන්ගේ ස්වභාවය හා එම ඉන්ද්‍රියයන් දමනය කර ගැනීමේ උත්සාහයක යෙදෙන්නට ඕන. ඒ සඳහා වීර්යය වැඩිය යුතු වෙනවා. කල්‍යාණ මිත්‍රයෙකුගේ උපදෙස් අනුව කටයුතු කර තම චරිත ලක්ෂණවලට අනුව කර්මස්ථාන ලබා ගෙන සිත ප්‍රසන්නභාවයට පත් කර ගෙන විදර්ශනා භාවනාවට හෝ වෙන්නට ඕන. මේ හැමවිටම කල්‍යාණ මිත්‍රයෙකුගේ අනුශාසනාව ඉතා වැදගත් වෙනවා. කියා තමන් තේරුම් ගන්නා තත්ත්වයට මනස දියුණු කර ගැනීමේ බරපතළ උත්සාහයක නිරත වෙන්නට සිදු වෙනවා.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]