UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියත් රජරට අභිමානයත් මුළු ලොවට විදහා දැක්වීම තව දුරටත් පෝෂණය කරන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර අනුරාධපුර පින් බිමේදී පැවැත්වේ.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව පෙරහරක අවශ්‍යතාවය බොදු හදවත් තුළ ඇතිවීම පටන් ගත් නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය මගින් එක් දින දිවා පෙරහරක් සුළු වශයෙන් පවත්වන ලදී. (අනතුරුව උතුරු මැද ප්‍රධාන අමාත්‍ය හා කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිවංගත බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ පින්බර සංකල්පයක් මත මෙම පෙරහර 1997 වසරේදී එක්දින රාත්‍රි පෙරහරක් ලෙසට පූජානගරය කේන්ද්‍ර කරගෙන අපවත් වී වදාළ අටමස්ථාන නා හිමියන් ගේ අනුශාසනා පරිදි ආරම්භ කරන ලදී.

එතැන් සිට වසර තුනකට පසුව දින දෙකක් රාත්‍රි පෙරහරක් ලෙසටම අනුරාධපුර පූජා නගරයට අමතරව නව නගරයද කේන්ද්‍ර කරගෙන පැවැති මෙම ශී‍්‍ර දළදා අනුරාධපුර මහ පෙරහර ප්‍රධාන පෙරහරක් ලෙසට පත්ව ඇත. ස්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසනා මත, ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ජයන්ති විහාරාධිපති, නුගේතැන්න පඤ්ඤානන්ද, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන යන නායක හිමිවරුන් ප්‍රධාන අටමස්ථානයට අයත් විහාරාධිපති හිමිවරුන්ගේ තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන මෙම පෙරහර උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා ප්‍රධාන පළාත් සභාවේද , ප්‍රධාන ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ප්‍රධාන පළාතේ රාජ්‍ය ආයතන, කලායතන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවලද සහාය මත මෙය සංවිධානය කර ඇත.

කාලිංග දේශයේ රජවරු ගරු බුහුමන් පෙරදැරිව දළදා වහන්සේ ආරක්ෂා කළත් බුදු දහමට එරෙහි වූවෝ ගුහසීව රජු පාලන කාලයේදී දළදා වහන්සේ විනාශ කර දැමීමට උත්සාහ කළේය. ඒ නිසාම ගුහසීව රජු දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා ලක්දිවට වැඩම කර වීමට කටයුතු කළහ.

එදා අනුරාධපුර රාජධානියේ මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව. 301- 308) දඹදිව කළිඟු රට රජකළ ගුහසිහ රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.

අනුරාධපුරයේ වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය දැක සුදු අසුන් යෙදු විශේෂ පූජනීය පෙරහරකින් ඇතුල්නුවරට වැඩම කරවා එහි ඉදිකළ මාලිගාවක වඩා හිඳවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට භාරදී පෙරහර පැවැත්වූ බව ජිනකාලමාලි, පූජාවලිය යන ග්‍රන්ථවලින් මෙන්ම මහා වංශයෙන්ද පෙන්නුම් කර ඇත.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශී‍්‍ර දළදා පෙරහර වංශ කථාවේ නව පිටුවක් පෙරළමින් අනුරාධපුර ශුද්ධ නගරයේ ප්‍රථම පෙරහර 1997 ජූලි 18 වන දින පැවැත්විණි.

එම පෙරහර එවකට සිටි අපවත්වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතනනායකහිමියන්ගේ අනුශාසකත්වයෙන් දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම පෙරහර සාර්ථක කරගැන්මට පෙරමග ගමන් කරුවන් ලෙසට කටයුතු කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා, එවකට හිටපු දිසාපති ජයම්පති හෙට්ටිආරච්චි, සංවිධායක කමිටු ලේකම් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි, යන මහත්වරු මෙහිලා සිහිපත් කළ යුතුය.

මෙම පෙරහරේ විශේෂත්වය වනුයේ සියලුම අංග පෞරාණික සංස්කෘතියට හානියන් නොවන ලෙස පැවැත්වීමයි.

ඉතිහාසයේ පැවැති පෙරහර සම්බන්ධව අලියකු පිට නැගුන පණිවිඩකරුවකු විසින් රටවැසියාට පෙරහර ගැන දැනුම් දීමක් කළ ද අද අණබෙරකරුවකු හෝ වත්මන සමාජ රටාවට අනුව විවිධ මාර්ග ඔස්සේ ජනතාවට දැනුම් දෙනු ඇත. (එසේම එදා පෙරහරේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූලක් ගෙන යන ලදී. අද පිරිත් සජ්ඣායනා රථයක් පෙරහරේ ගමන් කරවයි. මෙම පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස තැනින් තැන ජාතක කථා නර්තනයන් එදා ප්‍රදර්ශනය කළ අතර අද එය පෙතිකඩවල ජාතක කථා චිත්‍රයට නංවා පෙරහරේ ගෙන යනු ඇත.

අලි ඇතුන් කොඩි සේසත් පංචතූර්ය නාද උඩරට පහතරට නැටුම්, සබරගමු සම්ප්‍රදායික නැටුම්, හේවිසි, පන්තේරු, වෙස්, සවරන්, කසකරුවන්, රබන් හා ගිනිබෝල කැරකැවීම්, ලී කෙලි, කෝල්මුර කණ්ඩායම් , දවුල් තම්මැට්ටන්, මල් බයිසිකල්කරුවන්, වඩිග පටුන,ඇතුළු කලායතන නැටුම්වලින්ද මෙම පෙරහර වර්ණවත් කරන අතර අලංකාර ලෙස නිමාකළ රන්සිවි ගෙය තුළ තැන්පත් කළ සධාතුක කරඬුව රැගත් හස්ති රාජයා පෙරහරේ ගමන් කරවනු ඇත. ඒ සමඟ දේවාල පෙරහර ගමන් කරවන අතර නිලමේවරු පෙරමුණේ රාළ ඇතුළු ඉතිහාසය හා එහි ප්‍රෞඩත්වය පිළිබිඹු කරන සංස්කෘතික අංග සිය ගණනකින් මෙවර පෙරහර අලංකාරවත් ලෙස පැවැත්වේ.

පෙරහරේ ප්‍රථම දිනය වන 30 වන දින මහ බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අසලදී නා හිමිවරුන්ගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හස්ති රාජයා පිට රන්සිව් ගෙය තුළ සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසුව පෙරහර ආරම්භ වේ.

පෙරහර මහ බෝ සමිඳු වටා ඇති පෙරහර මාවතේ ගමන්කර රුවන්මැලි මහ සෑ රදුන් අභියසින් පෙත්මග දිගේ ගමන් කර පැරණි රෝහල් මංසන්ධිය දක්වා ගමන් කරනු ඇත. අනතුරුව කරඬුව රැගත් හස්තිරාජයා ඇතුළු පිරිසක් ඇතුල්නුවර සංඝමිත්තා මාවතේ පිහිටි පැරණිම දළදා මාලිගාවට ගොස් එම ස්ථානයේදී අභයගිරි විහාරාධිකාරි කල්ලංචියේ රතනසිරි නායක හිමියන් මෙහෙයවන විශේෂ පූජාවකට සහභාගි වී නැවත රෝහල් හන්දියට පැමිණ මහ පෙරහරට එක්වී, ථූපාරාමය අභියසින්, අනුලා මාවත, වයි හන්දිය හරහා අභයගිරි ව්‍යාපෘති කාර්යාලය අභියසින් ගමන් කර, අභයගිරි විහාර මළුවට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ. දෙවන දින (ජූලි 31) පෙර පරිදිම නැගෙනහිර වාහල්කඩ අභියසින් ආරම්භ කරන පෙරහර බෝ සමිඳුන් වටා පෙරහර මාර්ගයේ ගමන්කර, ශී‍්‍ර මහා බෝධි මාර්ගයට පිවිස සිංහකණුව වටරවුම, දුම්රිය නගරය, මාර්කට් පෙදෙස, මෛත්‍රිපාල සේනානායක මාවත ඔස්සේ බැංකු පෙදෙස වටරවුමෙන් දකුණට හරවා ලේක්හවුස් මන්දිරය අභියසින් මධ්‍ය මහා විදුහල් වට රවුමෙන් දකුණට හරවන ජයන්ති මාවත යුද හමුදා රෝහල අභියසින් නැවත සිංහ කණුව වට රවුමෙන් වමට හරවන ශී‍්‍ර මහා බෝධී මාවත ඔස්සේ මහ බෝ මළුවට ගෙවදීමෙන් 2015 අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නිමාවට පත්වේ.

පෙරහර අවසානයේ රන්සිවි ගෙය මුදා හැරීමෙන් පසු එය පෙහෙරේ රැගෙන ගිය හස්ති රාජයා බෝ සමිඳුන් වෙතට ගොස් නමස්කාර කිරීම සෑම වසරක මෙන්ම මේ වසරේද සිදුවනු ඇතැයි දැක්ම බැතිමතුන් ගේ සුවිශේෂ බලාපොරොත්තුවකි.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]