UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කර්මානුරූපී කර්ම ශක්තිය

කර්මානුරූපී කර්ම ශක්තිය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ උන්වහන්සේ හොඳීන් දන්නා හඳුනන රජතුමෙකු ජීවත් වුණා. ඒ කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ ඉතාමත්ම මිත්‍රශීලිව, සමීපව කටයුතු කරනු ලැබුවා.රජතුමාගේ ජීවිතය හා සම්බන්ධ බොහෝ ගැටලු රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ නිතරම ප්‍රකාශ කළා. රාජ තාන්ත්‍රික ගැටලු, මැති ඇමතිවරුන් හා සම්බන්ධව ගැටලු රටවැසියාට බලපාන ගැටලු, විසඳීමට අවශ්‍ය ප්‍රශ්න කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. මෙම කාරණා බුදුරජාණන් වහන්සේ හා සමඟ ප්‍රකාශ කරනු ලැබුවේ එම කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දරන අදහස දැනගැනීම සඳහායි.

රජතුමාට සිටින පුරෝහිතයන් දෙනු ලබන උපදෙස් කරණු කාරණා පිළිගනු ලබන රජතුමා ඒ අතරතුරම රජතුමාගේ ජීවන ගැටලු, රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් බුදුපියාණන් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් සාකච්ඡා කරනු ලැබුවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ හා කොසොල් මහ රජතුමා සමඟ ඉතාම දැඩි සමීප සබඳතාවයක් පැවතුණ වග සූත්‍රානුගත, ත්‍රිපිටකගත කරුණු කාරණා තුළින් පැහැදිලි කරගත හැකියි.

සංයුක්ත නිකායේ කෝසල සංයුත්තය නමින් කොටස් අඩංගු වෙලා තියෙනවා. කෝසල සංයුත්තය නමින් හදුන්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ සමඟ කොසොල් මහ රජතුමා සාකච්ඡා කරනු ලැබූ එම ගැටලුයි. එහි අඩංගු වුණු දේශනාමය කරුණු කාරණා ප්‍රමණාත්මක වශයෙන් ඉතා විශාල වු නිසා සංගීති කාරක භික්ෂූන් වහන්සේලා එක ස්ථානයකට ගොනුකර කෝසල සංයුත්තය නමින් නම් කර තිබෙනවා.රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ සමීපව කටයුතු කරන්නා සේම, බුදුරජාණන් වහන්සේත් රජතුමාගේ පැමිණීම ඇසුර කතාබහ ගැටලු සාකච්ඡා කරමින් සතුටු සාමිචියේ යෙදීමට පි‍්‍රයතාවයක් දක්වනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට රජතුමා ටික දවසක් පැමිණුනේ නැහැ. දින හතක් පමණ කාලයක් රජතුමා නොපැමිණි නිසා දින හතකට පසුව එක දවසක් කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණුනා. රජතුමා ඒ පැමිණුන අවස්ථාවත් සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලා දැකීමට එන වෙලාවක නොවෙයි. බුදුන් වැඳීමට, පන්සලට යාමට , භික්ෂූන් වහන්සේලා හමුවීමට යන දවස තුළ සාමාන්‍යයෙන් එයට ගැලපෙන වේලාවල් තියෙනවා. වෙනත් වෙලාවක පන්සලට පැමිණුන විට සාමාන්‍යයෙන් පන්සලේ හාමුදුරුවොත් විමසනු ලබන්නේ දායක මහත්මයා අවේලාවේ ආවේ ඇයි ද? කියායි. එවැනි අවස්ථාවක පන්සලට යනු ලබන්නේ තමාට හදිස්සි ප්‍රශ්නයක් පැන නැගුණොත් පමණයි.

බුදුරජාණන් වහන්සේගේ එම පුරුද්ද භික්ෂූන් වහන්සේලාටත් පිහිටල තියෙනවා. බුදුරජාණන් වහන්සේත් කොසොල් මහ රජතුමාගෙන් විමසනු ලැබුවේ මහරජතුමනි, අවේලාවේ පැමිණුනේ ඇයිද? යන්නයි. කොසොල් මහරජතුමාත් පන්සලට පැමිණීමට නොහැකි වුණ කාරණා කාරණා මොනවාද කියලා පැහැදිලි කරමින් ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. ඒ පැහැදිළි කිරීමත් සමඟ අපට දැනගන්නට ලැබෙන්නේ අපුත්තක සිටාණන්ගේ කතාව, අපුත්තක සිටාණෝ කියලා කියන්නේ. දරුවන් නැති බොහෝ ධන සම්පත් ඇති පුද්ගලයෙක්. ඒ සිටාණන් සිටු තනතුරෙහි පිහිටියේ තනතුරකට ප්‍රමාණාත්මක වු අධික ධනයක් තිබූ නිසයි.

එතරම් අධික ධනයක් මෙම සිටුතුමාට තිබුණත් මේ සිටුතුමාට දරුවන් නැහැ. දරුවන් නැති සිටුතුමා කියන අදහසින් අපුත්තක සිටාණෝ යන නම මෙම සිටාණන්ට පට බැඳුණා. මෙම සිටුවරයා අධික ධනයක් තිබුණ කෙනකු වුණාට අසීමිත ලෙස දුක් විඳපු කෙනකුයි. කෑම ගන්නා අවස්ථාවේදී වුවත් දුප්පත් අයෙකු ආහාර ගනු ලබන පිළිවෙළ අනුගමනය කළා. ඇඳුමක් පැළඳුමක් අදිනු ලබන විට වුවත් කිළිටි වුණ පරණවී දිරාගිය ඇඳුමක් ඇඳීමට පුරුදුව හිටියා. යාන වාහනයක ගියත් අඩුම මිල තිබෙන වාහනයක් ගමන් බිමන් සඳහා පාවිච්චි කරනු ලැබුවා. සිටුවරයාට තිබුණ ධනය පරිභෝජනය කිරීමේදී සිටුවරයා දරපු අදහස එවැනි ආකාරයක් ගනු ලැබුවා. සමහර වෙලාවට දරුවකුත් නැති නිසා දේපළ ආරක්ෂා කිරීමට කෙනකු නොමැති කල්පනාව නිසාත් ජීවිතය පිළිබඳව තෘප්තියකින් තොරව සිටියාද ? දන්නේත් නැහැ. එම සිටුවරයා තමාගේ වස්තුව අවම වශයෙන් පරිභෝග කරමින් බොහොම කාලයක් ජීවත්වෙලා , බොහොම කාලයක් දුක් විඳල මරණයට පත්වුණා. එම සිටුවරයා මරණයට පත්වූවාට පසුව එම සිටුවරයා සතුව තිබුණ අසීමිත ධනයට හිමිකම් කියන්නට දරුවෙක්, මල්ලෙක්වත් නැති නිසා සිටුවරයාගේ සියලුම දේපළ රාජසන්තක වුණා. රාජසන්තක වෙනවාය යනු රාජ්‍යයට හා රජතුමාට අයිති වනවාය යන්නයි.රජතුමාට අයිති වූවාට පසුව රජතුමා සේවකයන් යොදවලා අපුත්තක සිටාණන් සතුව තිබූ මහා ධනය රජමාලිගාවට ගෙනෙන්නට නියම කළා. එම සේවකයන් දින හතක් තුළ දිවා රාත්‍රි නොබලා සිටාණන් සතුව තිබු දේපළ වටිනා බඩු බාහිරාදිය නිධන් ගතව තිබූ ධනය ආදිය රාජ භාණ්ඩාගාරයට රැගෙන ගියා. රජතුමා මේ පිළිබඳව අධික්ෂණයක යෙදෙමින් සිටි. නිසාම රජතුමාටත් වෙනත් ගමන් බිමන් යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අවස්ථාව විමසිලිමත් වීමට යාම නිසාම එහි ප්‍රතිඵලයක් වශයෙන් රජතුමාට බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යාමටවත් අවස්ථාවක් නොලැබුණේ රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට නොපැමිණීමට හේතුව විමසා සිටි අවස්ථාවේ රජතුමා මෙම කාරණා සිද්ධි දාමය රජතුමා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන්නට යෙදුනා. මෙම සිටුවරයාගේ සිදුවීම අසා සිටි බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙම කාරණාව පැහැදිලි කරනු ලැබුවා. රජතුමනි, අපුත්තක සිටාණෝ බොහෝ ධන සම්පත් ඇතිව සිටියේ පෙර සංසාරයේ ඔහු කරපු පින් දහම් නිසා . මහරජතුමනි, අපුත්තක සිටාණන්ට දරුවන් සිටියේ නැත්තේ ඔහුගේ තිබුණ කර්මානුරූපී කර්ම ශක්තිය නිසයි. මහරජතුමනි, තමන්ට තිබුණූ ධනය තමන් සතුව තිබුණ උපභෝග පරිභෝගයි. උපභෝග සම්පත්තිය යනු කෙනෙකුගේ ජීවනෝපාය සඳහා ඇතිකර ගත යුතු මූලික අවශ්‍යතා වන කෑම්බීම් ,ඇඳුම් පැළදුම් ආදියයි. ඊළඟට යෙදෙන පරිභෝග යන වචනයෙන් විස්තර කරන්නේ ගෙවල්, දොරවල් ,වතුපිටි යානවාහන, රත්තරං බඩු ආදියයි. මේවා භුක්තිවිඳීමට තරම් පිනක් මෙම සිටුවරයාට තිබුණේ නැහැ. එහෙම භුක්ති විඳීම අවශ්‍ය නැහැ යනුවෙන් ඔහුට සිතුණෙත් ඔහු පෙර කළ කර්මානුරූපි සම්බන්ධය නිසාය යන කාරණාව බුදුරජාණන් වහන්සේ කොසොල් මහරජතුමාට පැහැදිලි කර දුන්නා .

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]