UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නා හිමි

අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ හාරිස්පත්තුව අධිකරණ සංඝනායක, පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමාධිපති මිනිවන්ගමුවේ රතනසාර නාහිමිපාණන්ගේ ජූලි 15වෙනි දාට යෙදී ඇති 86වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් නාහිමිපාණන්ට දිඝායුෂ ප්‍රාර්ථනා කිරීම් වස් එදින සවස පූජාපිටිය බෝධිමලුව, වල්පොලපිටිය රජමහ විහාරය, නාත්තේගොඩ පුරාණ විහාරය සහ උඩමුදුන ශ්‍රී පූර්වාරාමය යන විහාරස්ථාන මුල්කරගෙන ආසිරිවාදාත්මක පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව විධි විධාන යොදා ඇත.

දශකයකට අධික කාලයක් ආගමික හා ශාසනික සේවාවන් මුල්කරගෙන ප්‍රදේශයේ පොදු දියුණුව වෙනුවෙන් සමාජ සද්කාර සේවාවන් රැසක් ඉටුකර ඇති රතනසාර නාහිමියෝ ශ්‍රී පූර්වාරාම දහම් පාසල් හතළිස් වසරකට අධික කාලයක් ප්‍රධානාචාර්ය ධුරය දරමින් දහස් සංඛ්‍යාත සිසු පිරිසක් යහපත් පුරවැසි පිරිසක් ලෙස අනාගතයට සකස් කර ඇත. අනූවසරක් අඛණ්ඩව මිහිඳු පෙරහර පැවැත්වීමට දශක හයක කාලයක් අනුශාසකත්වය ලබාදුන් රතනසාර නාහිමියෝ දශක දෙකක් පූජා පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් ද දහම් පාසල් දියුණුවට විශාල ආගමික සේවාවක් ඉටුකර ඇත. රතනසාර නාහිමිපාණන්ගේ ශාසනික, ආගමික ජාතික සේවාවන් අගයමින් නාහිමිපාණන්ට දිඝාසිරි පතා අභිනන්දන ග්‍රන්ථයක් ද මෙදින එළි දැක්වීමට ශ්‍රී පූර්වාරාම දායක සභාවේ ක්‍රියාකාරී විශ්‍රාමික විදුහල්පති ගාමිණි සේනාරත්න මහතා කටයුතු යොදා ඇත. මිනිවන්ගමුවේ රතනසාර නාහිමිපාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.


ලේනව මංගල හිමි

මහනුවර අස්ගිරි මහා විහාරයීය කර්මාචාර්ය ඓතිහාසික බම්ඹා රජමහ විහාරයේ භාරකාර සමස්ත ලංකා සාමදාන විනිසුරු ලේනව මංගල හිමි අස්ගිරි මහා විහාරයීීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට පත්කර ඇත.

1985 මැයි 07වැනි දා ඇඹුල්අඹේ රතනපාල ඇඹුල්අඹේ පියදස්සි, කුඹුක්කදවල, පුඤ්ඤසාර හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි ජීවිතයට ඇතුළත්ව 1982 ජූලි 03 අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබා ගත් මංගල හිමියෝ අස්ගිරි මහා විහාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා මල්වතු මහා විහාරයේ සංඝරාජ පිරිවෙනින් උසස් පිරිවෙන් අධ්‍යාපනය ලබාගත්හ. මංගල හිමියෝ 1991, 1989 වර්ෂවල ශ්‍රී දළදා සමිඳු තේවාව සිදුකර ඇත. 1987 දී අස්ගිරි මහා විහාරයේ කර්මාචාර්ය පදවියකින් පිදුම් ලැබූ මංගල හිමියෝ ගලේවල බම්ඹා රජමහ විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ප්‍රතිසංවිධානය කර වත්මත් යුගය දක්වා අංග සම්පූර්ණ ඇසළ පූජෝත්සවයක් වශයෙන් පවත්වාගෙන යෑමට මූලික වූහ. දෙස් විදෙස් රටවල් ගණනාවක ධර්මදූත මෙහෙවරේ යෙදී ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ ධර්මධර, විනයධර සංඝ පීතෘවරයෙකි.


කදන්කැටියේ පඤ්ඤාදස්සි හිමි

පැපිළියාන සුනේත්‍රාමහාදේවී පිරිවෙනේ හා පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණේ ධර්ම විනය හැදෑරූ කදන්කැටියේ පඤ්ඤාදස්සි ස්වාමීන් වහන්සේ කැප්පෙටිපොල කලබුළුලන්ද පුරාණ විහාරස්ථ සීමාමාලකයේදී 2015 ජූලි 25 දා උපසම්පදා සිල් ලබා 26 වෙනි ඉරුදින රාත්‍රී පිළියන්දල සුවාරපොල, බුද්ධාලෝක මහා විහාරස්ථානයේ දී මඟුල් බණ දෙසති.

මුන්වහන්සේ ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා වැලිමඩ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේද ශිෂ්‍යයෙකි.

 


මොරගොඩ මේධාලංකාර හිමි

නැසීගිය එම්. මෙන්ඩිස් අප්පු මහතාගේ හා මැදවච්චිය, මොරගොඩ, ඇටවීරගොල්ලෑවේ පදිංචි ඒ.චාන්දනී කුමාරි මහත්මියගේ පුත්‍ර මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමාධිපති ආනේකට්ටියේ ශ්‍රී කවිධ්‍ය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා පූනෑව ආනේකට්ටිය ශ්‍රී ආනන්දාරාමාධිපති වීරාගන්නොරුවේ මෙත්තානන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය මොරගොඩ මේධාලංකාර සාමණේරයන් වහන්සේ උගතමනා බණ දහම් සහිතව විසි වයස් සම්පූර්ණව උපසම්පදාපේක්ෂකව සිටින බැවින් අමරපුර සිරිසුමන දඩලු පරම්පරායත්ත මහා නිකායේ මහ නායක ධුරන්ධර විද්‍යා විශාරද මාතර විමලරතනාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් 2015 ජූලි මස 25 වන දා සවස කොළඹ දෙපානම පන්නිපිටියේ ශ්‍රී දෙව්රම් වෙහෙර බද්ධ සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධ උපසම්පදාව ලබති. උන්වහන්සේ පිළිගැනීමේ උත්සව හා පින්කම් මැදවච්චියේදී හා ගාල්ලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මැදවච්චිය, මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමයේ දී පිළිගැනීමේ උත්සවය හා මංගල ධර්ම දේශනාව 2015 ජූලි මස 27 වන දා සන්ධ්‍යාභාගයේදී පැවැත්වේ.

ගාල්ල දඩල්ලේ මහමුදලින්දාරාම විහාරස්ථානයේ පිළිගැනීමේ උත්සවය හා ධර්මදේශනාව 2015 ජූලි මස 31 වන පෝයදා සන්ධ්‍යාභාගයේදී පැවැත්වේ.


වඳුරඹ ඤාණාලෝක හිමි

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය, ගාල්ල, වඳුරඹ, මැදකිහිඹිය, බදුවත්ත ලිපිනයේ පදිංචි ඩී.එච්.ජයතිස්ස සහ එච්.සෝමාවතී යන දම්පතීන්ගේ පුත් දැනට කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපනය ලබන වඳුරඹ ඤාණාලෝක පොඩිහාමුදුරුවන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, කුරුවිට සරණංකරාභිධාන මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් 2015 ජූලි මස 18 වෙනි දින රත්නපුර නව නගරයේ ආනන්ද මෛත්‍රීය භික්ෂු පුහුණු ආයතනස්ථ බද්ධ සීමා මාලකයේ දී අධි සිල් ලබති.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය 2015.07.19 වෙනි දින සවස 2.00 ට ද, උන්වහන්සේ විසින් පවත්වනු ලබන මංගල ධර්ම දේශනය 2015.07.31 වන ඇසළ පුර පොහෝ දින රාත්‍රී 7.00 ට මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ දී පැවැත්වේ. එදින සවස 06.30 ට වස් ආරාධනා පින්කම ද සිදු කෙරේ.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]